English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් කුරුසපත් කිරීමට පෙර

“බටහිර ලෝකයේ අලු‍ත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් කියන කාරණය. මේ මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේදා. හරියටම අලු‍ත් සොයාගත්තු පුදුමාකාර දෙයක් වගේ, ඔලු‍ව උඩ තියාගෙන ඕක තමයි හැම තිස්සේම අපට කියන්නේ, මානව හිමිකම්, මානව හිමිකම්. ඒ උනාට විශේෂයෙන්ම අපේ රටේ ජනතාව ආගම් අදහන්න ගත්තේ අවුරුදු ගණනාවකට කලින්, ශතවර්ෂ ගණනාවකට කලින්. අපේ රටේ සමහර අය කතා කරනවා අනාගමික සමාජයක් ගැන. අනාගමික සමාජයක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිතය, කෑම, බීම, ඇදුම්-පැළදුම්, සහ සැප විහරණය පමණක් නෙවෙයි. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න ඕන නැහැ…” 

mangala

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පසුගිය දිනෙක කළ මෙම ප්‍රකාශය සමාජයේ අන්දෝලනයට තුඩුදුන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවිඩයක් මගින් මෙම ප්‍රකාශයට සිය විරෝධය පළ කරමින් අදහස් දැක්වීමත් සමගය. ඒ සමගම නැවතත් සුපුරුදු ලෙස හිටපු ජනාධිපතිවරයාගේ සිට විමල් වීරවංශ, බොදු බල සේනා, හිරු තරු මාධ්‍ය කාදිනල්වරයාගේ පැත්ත ගෙන මංගල පතුරු ගසන්නට විය. 

ආගම් සහ මානව හිමිකම් අතර ඊනියා සමානාත්වයක් පෙන්වීම අප වැනි සමාජයක දී භාවිත වන්නේ පසුගාමී අර්ථයෙනි. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අය නිරන්තරයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කොන්දේසි විරහිත පෙනී සිටිමක් කරන විට ආගමික සංස්ථා වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උල්ලංඝනය කිරීම්වලට අනුබල දෙනු සුලබව දකින්ට ඇත. අනෙක් අතින් මානව හිමිකම් තුළින් ආගම, කුලය, ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය අනුව සිදුකෙරෙන බෙදීම් ප්‍රතික්ෂේප කෙරෙන විට ආගම් තුළින් මෙකී විෂමතාවයන් විශද කෙරෙන හැසිරීම් පෙන්වා ඇත. මුස්ලිම් ආගමේ බාල වයස් විවාහයන් ආගමික සංස්ථාව විසින් පිළිගන්නා විට එය ප්‍රතික්ෂේප කරන්නේ මානව හිමිකම් අර්ථයකිනි. වෙනස් ලිංගික තෝරාගැනීමක් සහිත අයට සමාන පිළිගැනීමක් ලැබීම මානව හිමිකම් අර්ථයකින් සාකච්ඡාවට පැමිණෙන විට මේ අගරදගුරුතුමාද ඇතුළු පිරිස් ආගමේ නාමයෙන් එයට එරෙහි වන්නේය. කුලය මත පදනම්ව වෙනස්කොට සැලකීම මානව හිමිකම් නාමයෙන් බැහැර කරන විට පැවිද්ද ලැබීමේදී කුලය තීරණාත්මක සාධකයක් වී ඇත. 

dav

මෙකී සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අගරදගුරුවරයා කළ මෙම ප්‍රකාශය අරඹයා ආගම සහ මානව හිමිකම් පිළිබඳ වඩා විද්වත් විවෘත සාකච්ඡාවක් රටට අවශ්‍යව ඇති බව පැහැදිලිය. පසුගිය 02 වැනි දා සමාජ හා සාමයික කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලදුව ‘කතෝලික සභාව හා මානව හිමිකම්’ මැයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු, රීච් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමන් සහ ඈන්මරී ද සිල්වා අදහස් දැක්වීම් කළ අතර කතෝලික පියවරුන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ. 

මෙම සාකච්ඡාව තුළ ආගම සහ මානව හිමිකම් අතර ඇති සම්බන්ධයත් හුදෙක් ආගම මඟින් ඇති කරන සීමාවන් ඉක්මවා යමින් මානව හිමිකම් පුද්ගල අයිතීන් සුරක්ෂිත කරමින් වඩා ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් රටක් තුළ නිර්මාණය කිරීම කෙරෙහි බලපාන බව පෙන්වා දෙනු ලැබිණි. විශේෂයෙන්ම කතෝලික ආගමික නායකයන් මානව හිමිකම් පිළිගෙන තිබෙන ආකාරය උදාහරණ ගෙනහැර පාමින් පැහැදිලි කිරීමට මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු සමත් විය. දෙවන ජුවන් පාවුළු පාප්තුමා විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය අරඹයා, මෙය මානව වර්ගයාගේ සදාචාරාත්මක වන ඉදිරිගමන් ම`ගේ ප්‍රධාන සංධිස්ථානයක් වන බවත් මනුෂ්‍ය හෘදය සාක්ෂියේ ඉහළම ප්‍රකාශනයක් බවත් පෙන්වා දී තිබුණි.  

වත්මන් ෆ්‍රැන්සිස් පාප්තුමා මේ වසර මුලදී ප්‍රකාශයක් නිකුත් කරමින්, මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය නිර්මාණය කරපු අයගේ හදවතේ ආධ්‍යාත්මිකයේ ක්‍රිස්තියානි මූලධර්ම ඇතැයිද කිසිවෙකුගේ පුද්ගල උවමනාවට මානව හිමිකම් ඉවත් කළ නොහැකි යැයිද පැවසීය. “විශේෂයෙන්ම ෆ්‍රැන්සිස් පාප්තුමා සංස්කෘතික සම්ප්‍රදායන්ට වඩා මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයට ඉහළ තැනක් ලබා දෙනවා. 2017 වසරේදී ලංකාවේ සියලුම කතෝලික අගරදගුරුවරු එක්ව ප්‍රකාශනයක් නිකුත් කරනවා. එහි මානව හිමිකම් පරිච්ජේදයක් ඇතුළත් වගේම යම් මානව හිමිකම් උල්ලංඝනය වීමක් වාර්තා වූ විට ඒ පිළිබඳ සොයා බැලීම වැදගත් බව මෙහි සඳහන් වෙනවා. නමුත් අගරදගුරුතුමා මේ සම්බන්ධයෙන් දක්වා තිබෙන අදහස මීට සපුරා වෙනස්. කතෝලිකයන් වශයෙන් අපි එය ප්‍රශ්න කළ යුතුයි. මුල්ලිකුලම් ගම හමුදාවෙන් නිදහස් කර ගැනීම සඳහා වන සටනේදී විශාල වශයෙන් කතෝලික පූජකතුමන්ලාගේ සහය ඒ මිනිස්සුන්ට ලැබුණත් අගරදගුරුතුමා ගෝඨාභාය රාජපක්ෂ ඇතුළු පිරිසක් සමග මේ ජනතාව හමු වෙන්න ගිහින් ඔවුන් වෙත දක්වා තිබූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් මුල්ලිකුලම් වැසියන්ට තිබෙන්නේ දැඩි අප්‍රසාදයක්. මේවා ගැටගැහෙන්නේ පෙර කිව්ව පරිදිම ආගම සහ මානව හිමිකම් සමඟයි. මෙම සාකච්ඡාවෙහි අදහස් දක්වමින් රුකී ප්‍රනාන්දු සඳහන් කළේය. 

‘කතෝලික දහමත් මානව හිමිකම්වලත් මූලධර්ම, ආයතන සහ භාවිතය අතර ඇතැම් විට පරස්පර විරෝධීතා තිබෙනවා. ලංකාවේත් ආසියාවේත් පියතුමන්ලා විශේෂයෙන්ම තිස්ස බාලසූරිය පියතුමන් ඇතුළු පිරිස් විශාල උත්සාහයක් දැරුවා කතෝලික දහම බටහිර ග්‍රහණයෙන් මුදවා ගන්න සහ එය ලංකාවට ආදේශ කිරීමට. මානව හිමිකම් ක්ෂේත්‍රය ගත්තත් මෙය පොදුයි. අද මානව හිමිකම් ගැන වැඩිපුර කතා කරන්නේ බටහිර රටවල්. ආසියාවේ අප්‍රිකාවේ රාජ්‍ය මට්ටමින් ඒ පිළිබඳ කතා කරන්නේ අඩුවෙන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවට වන යෝජනාවක් සම්මත කරගන්න මූලිකත්වය ගත්තේ බටහිර රටවල්. නමුත් මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47න් බටහිර සහ නැගෙනහිර යුරෝපියානු රටවල් තිබෙන්නේ 13යි. මේ 13ට යෝජනාවක් සම්මත කරන්න බැහැ. ඒකට ලතින් ඇමරිකානු, ආසියානු, අප්‍රිකානු රටවල සහය අවශ්‍යයි. ඒ නිසා යම් විදියකින් මේ සාකච්ඡාව අපේ අතට ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. මෙය විවාදාත්මක කාරණයක් වුනත් අපි මෙය විවෘතව කතා කළ යුතුයි. ඒ අභියෝගය අපි සතුව තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු සිය අදහස් දක්වමින් පැවසීය. 

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් සිදුකරන ප්‍රකාශය සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බි්‍රටෝ ප්‍රනාන්දු ද සමබිමට අදහස් දැක්වූහ. ‘පසුගිය කාලයේ ජීඑස්පී ප්ලස් සහනය ලංකාවට අහිමි කළ අවස්ථාවේ යුරෝපා කොමිසම ලංකාවට කිව්වා වධහිංසාව- අතුරුදන්කිරීම් තුරන් කරන්න සහ මානව හිමිකම් රටේ ප්‍රවර්ධනය කරන්න කියල. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එයට එකඟ වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු නියෝජිත පිරිසක් යැව්වා යුරෝපා කොමිසම හමුවට, වධහිංසා අතුරුදන්කිරීම් තුරන් නොවුනට කමක් නැහැ අපිට ජීඑස්පී ප්ලස් සහනය දෙන්න කියල. මේ කියන නියෝජිත කණ්ඩායමේ කෙනෙක් මේ අගරදගුරුතුමා. එදා තමයි අපි ඔහු ගැන හරියටම දැනගත්තේ. මානව හිමිකම් වැඩක් නැතැයි කියන අගරදගුරුතුමා ආගමේ නාමයෙන් හෝ අතුරුදන් කරනු ලැබ සිටින ජින් බ්‍රවුන් පියතුමා, පැටි්‍රක් ජෝශප් පියතුමා, ජෝන් බැස්ටියන් පියතුමා සහ සැකසහිත මරණයකට උරුමකම් කී කටානේ කෝන්ගොඩමුල්ල පල්ලියේ ශ්‍රීලාල් පියතුමා සම්බන්ධයෙන් සොයාබැලීමට මෙතෙක් උනන්දු නොවන්නේ ඇයිද කියලත් අපි ප්‍රශ්න කළ යුතුයි.’ ආගම සහ මානව හිමිකම් අතර බෙදුම් රේඛා සලකුණු කර ගැනීමට වඩා මෙවැනි කාරණා දෙස අගරදගුරුතුමාගේද අවධානය යොමු වන්නේ නම් එය වටී. ■

ජයනි අබේසේකර විසින් 492 වන සමබිම ඉරිදා අතිරේකයට ලියන ලද ලිපියකි.                                                              උපුටා ගැනීම - සමබිම වෙබ් අඩවිය



2018-10-08
Advertisement

Find us on Facebook