English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අරුවක්කාරුවේ නොදුටු පැත්ත!
පුත්තලම නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ දුරින් එළුවන්කුලම ගෙඟ්වාඩිය මාර්ගයේ මඳ දුරක් ගිය විට මෙම කසල රඳවන පිහිටා ඇත. හොලිසිම් සිමෙන්ති කර්මාන්ත ශාලාවන් හුණුගල් ලබාගැනීම සඳහා හුණු ලබාගත් වළවල් කිහිපයක් ආශ‍්‍රයෙන් ඉදිවන මෙම කසළ රඳවනය සඳහා අක්කර 200 ක පමණ ඉඩම් ප‍්‍රමාණයක් අත්පත් කර ගෙන අවසන්ය. එමෙන්ම මෙම කසල රඳවනයට මීටර් 200 ක් පමණ ඈතින් ජීවත්වන සේරක්කුලිය ගමේ ජනතාවට පවසන්නේ මෙම කසල රඳවන නිසා තමන්ගේ ජීවන පැවැත්වමට අභියෝග එල්ල වන බවයි. ඔවුන් පවසන්නේ එල්.ටී.ටී.ඊ අභියෝගයන් මැදින් ගම ආරක්ෂා කරමින් ගමේ ජීවත්වූ ඔවුන්ට මෙම ව්‍යාපෘතිය නිසා ගම අත්හැර දමා යාමට සිදුවන බවයි.

එමෙන්ම මෙම ගම්වැසියන් අප සමග සඳහන් කළේ, ඔවුන් කිසිම දිනෙක රජයෙන් යමක් ඉල්ලා නැති බවයි. තමන්ගේ ගමට රජයෙන් කිසිම දෙයක් ලැබී නොමැති බවයි. මෙම ව්‍යාපෘතියෙන්ද කිසිඳු රැකියාවක් හෝ ඔවුන්ට ලැබී නොමැත. ව්‍යාපෘතියේ කිසිඳු දෙයකට ඔවුන් සම්බන්ධකම් නොමැත. ධීවර රැකියාවෙන් ජීවත්වෙන ඔවුන්ට ව්‍යාපෘතිය නිසා එයද අහිමි වි යා හැකියයි බියක් ඇත.

ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනයක් සඳහා අණාවරණ වැඩසටහනක් සඳහා එම ව්‍යාපෘතිය සිදු කෙරෙන වැඩ බිම සහ ඔවුන්ගේ කාර්යාලය වෙත ගිය අවස්ථවේදී මෙම තොරතුරු අණාවරණය විය. එහිදී ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමන්, ප‍්‍රධාන ඉංජිනේරු චන්දන ගුණවර්ධන මහතා ව්‍යාපෘති කාර්යාලයේදී අප වෙත තොරතුරු ලබාදීමට එක් විය. අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ රඳවනයේ ප‍්‍රධාන කාර්යාලයට ගිය අපට ඔවුන් විසින් පවසන ලද තොරතුරු සංක්ෂිතව මෙසේය.

        

කොහොමද කසළ රඳවනයට කසළ රැගෙන එන්නේ ?

කොළඹ සිට කැළණිය දක්වා එකතුවන කසළ කැළණිය තෙක් රැගෙන එනු ලබනවා. එසේ රැගෙන එනු ලබන කසළ විශේෂයෙන් සකස් කරනු ලබන දුම්රිය මැදිරිවල ගෙන එනු ලබනවා. ඒවා සීල් තබා රැගෙන එන අතර කිසිඳු අප ද්‍රව්‍යයක් අප වැටීමක් සිදු නොවෙයි. අරුවක්කාලූ තෙක් පැමිණෙන දුම්රියෙන් ගොඩබාන ලබන කසළ ට‍්‍රක් රථ මගින් කසළ රඳවනය තෙක් රැගෙන එනු ලබයි.

මොකක්ද මේ කසල රඳවන තුළ සිදුවෙන්නේ ?

තැන තැන කසළ ගොඩගසවා වෙනුවට, මනා ලෙස කළමනාකාරිත්වයකින් යුතුව, විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව පරිසරයට වන හානිය අවම වන ලෙසට කසල තැත්පත් කරන ස්ථානයකටයි සනීපාරක්ෂක කසළ රඳවනය කියන්නේ. කොම්පොස්ට් කර ඉතිරිවන අවශේෂ කසළ නැවත පාවිච්චි කරන්න බැරි රබර් කෑලි , වලං කෑලි , ලී කැබලි , ඇගලූම් කර්මාන්තයෙන් ඉවත් කරන කරන ලද රෙදි කැබලි, ලී කුඩු වගේ උපද්‍රවකාරී නොවන දේවල් මෙහි බැහැර කරනු ලබයි. මෙම කසළ රඳවනය කොටස් වලට බෙදා, එක කොටසක පමණයි කසළ බැහැර කිරීම සඳහා භාවිතා කරන්නේ. සෑම දිනකදීම, කසල තැන්පත් කර ක‍්‍රමවත්ව තුනී කර, ඒ මතට පස් තට්ටුවක් දමා වැස්මක් සිදු කරන නිසා දුගඳ හැමීම පාලනය වෙයි. මෙම භූමියට කසළ රැගෙන එන ට‍්‍රක් රථ එම භූමියෙන් පිටවීමේදී, ඒවායේ ටයර් මත තැවරී ඇති කසළ කොටස් පිටත ප‍්‍රදේශවලට යාම වැලැක්වීම සඳහා ටයර් සේදීමට භාජනය කරනවා. සතුන්ට ඇතුළුවීමට නොහැකි වන සේ ආරක්ෂිත වැටක් ඉදි කරනවා.

භූගත ජලය මූලාශ‍්‍රවලට හානියක් වෙනවද ?

මෙම සනීපාරක්ෂක කසල රඳවනයට යාබඳ නිරීක්ෂක ළිං කිහිපයක් ඉදි කර පොළොව තුළ ඇති භූගත ජලය පරීක්ෂාවට ලක් කරනවා. ලොවම පිළිගත් තාක්ෂණික ක‍්‍රමවේද අනුගමනය කරමින් කසළ? රැඳවුම් කලාපය වට වන සේ නියමිත පරතරයකින් යුක්තව ශාක වගා කර ස්වාරක්ෂක කලාපයක් ද ඇති කරනවා.

අපදියරවලට වන්නේ කුමක්ද?

අපදියර ප‍්‍රතිකර්මය පද්ධතියක් වෙත යොමු කර ඉතාමත් පිරිසිදු ජලය බවට පත් කරනවා. මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ මාර්ගෝපදේශනයන්ට අනුව කටයුතු කරන නිසා මේ ජලය ඉතාමත් පිරිසිදුයි. පරිසරයට එකතු වුනාට කිසිම හානියක් නෑ.

නිපදවෙන වායු වර්ග වලට මොකද වෙන්නේ ?

ඒ සඳහා රැඳවුමේ නියමිත ස්ථානවලින් වායු හුවමාරු නල පද්ධතියක් සකස් කර අවශ්‍ය අවස්ථාවලදි නිපදවෙන වායූන් දහනය සඳහා විශේෂ උපක‍්‍රම යොදා ගැනෙනවා.

කොපමණ කාලයක් මෙම ස්ථානය භාවිතා කරන්න පුළුවන් ද?

කසළ රඳවනයේ විශාලත්වය සහ දිනකට බැහැර කරන කසළ ප‍්‍රමාණය මත තමයි කාලය තීරණය වන්නේ, කොහොම වුනත් අවුරුදු 10 ක් පමණ කාලයක් මෙය භාවිතා කරන්න පුළුවන්.

කසළ රඳවනය භාවිතයෙන් පසුව කුමක්ද කරන්නේ ?

බොහෝ රටවල මෙවැනි ස්ථාන භාවිතා කර උද්‍යාන, ක්‍රීඩා පිටි, නිර්මාණය කර තිබෙනවා.

දැනට ලංකාවේ මෙම ක‍්‍රමය ක්‍රියාත්මක වෙනවද ?

දැනට ඉතාමත් සාර්ථකව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් දොම්පේ ප‍්‍රාදේශීය සභා සීමාව තුළ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිකර තිබෙනවා.

වෙනත් රටවලත් මේ ක‍්‍රමය භාවිතා කරනවාද? මේ නිසා පරිසරයට හානියක් නොවන බව සනාථවෙලා තිබෙනවද?

මෙම සනීපාරක්ෂක කසළ රඳවන තාක්ෂණය කොරියාව, චීනය, ජපානය, වැනි දියුණු රටවල්වල ක්‍රියාත්මක වන සාර්ථක ක‍්‍රමවේදයක් වගේම මෙම ක‍්‍රමය මගින් පරිසර හිතකාමී ලෙස කසළ බැහැරලීමට අවකාශ සැලසෙනවා.

ව්‍යාපෘති නිලධාරීන් විසින් අප වෙත සපයන තොරතුරු වලට අමතරව පැන නැගුණු ප‍්‍රශ්න කිහිපයක් විය. එම ප‍්‍රශ්න ගම්වැසියන් නගන ලද ප‍්‍රශ්නය.

අපජලය කලපුවට එකතුවෙනවද ?

අපජලය ඔවුන් විසින් ප‍්‍රතිචක‍්‍රීය කිරීමෙන් අනතුරුව කසළ රඳවනයේ කාර්යයන්ට භාවිතා කරනු ලබයි. ඊට අමතරව ඔවුන් ඉදි කිරීම් සිදුකරන ගොඩනැගිල්ල අවට පරිසරයේ පළ කරනු ලබන ගස්වැල් සඳහා භාවිතා කරනු ලබනවා. වැසි ජලය පුරුදු විදියට කලපුවට ගලා බසිනු ඇත. ඊට කිසිසේත් අප ජලය එක් නොවෙයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරය අවට ජනතාවගේ ඉරණම මොවුන්ටත් අත්වේවිද?

නොරොච්චෝලේ විදුලි බලාගාරය නිසා ඇති වී තිබෙන පාරිසරික ගැන මේ ජනතාව හොඳින්ම දැනුවත්. ඔවුන් විසින් ඒවා එකිනෙක විස්තර කරමින් විමසා සිටියේ එවැනි හානියක් තම ප‍්‍රදේශවලට ඇති වේදැයි සැකයකිනි. අපජලය කලපුවට එක් නොවන නිසාත්, ගෑස් විශාල වශයෙන් නිපදවීමක් සිදු නොකර නිසාත්, ඒවා ඒ අවස්ථාවේදීම ගිනි තබා විනාශ කරන නිසාත්, කසළ රඳවනය සකස් වන්නේ කිසිඳු කාන්දුවීමක් ඇති නොවන අයුරුන් වන නිසාත් ඔවුන්ට හෝ ඔවුන්ගේ ජීවන වෘත්තිය වූ ධිවර රැකියාවට කිසිඳු බලපෑමක් සිදු නොවන බවයි.

ජනතා ගැටළුවලට පිළිතුරු දෙන ක‍්‍රමය කුමක්ද ?

ජනමාධ්‍යවේදීන් විසින් දිගින් දිගටම ව්‍යාපෘති නිලධාරීන්ගෙන් ජනතාව විසින් පවසන ලද ගැටළු ගැන ප‍්‍රශ්න කර සිටියේය. එහිදී ව්‍යාපෘති නිලධාරීන් විසින් අපට පැවසුවේ ජනතාව දැනුවත් කිරීම සඳහා විශාල වශයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් පවත්වා ඇති බවයි. එමෙන්ම මෑතදී පැමිණි විරෝධතාවයන් හේතුවෙන් ආගමික නායකයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ගමේ ප‍්‍රභූන් ඇතුළත් කර උපදේශක කමිටුවක් පිහිටා ඇති බව පැවසුවේය. ඊට අමතරව ඔවුන්ගේ දැනුවත් කිරීම් ව්‍යාපාරයන්ගේ ඇති අඩු පාඩු සකස් කොට ඉදිරියට යාමට බලාපොරොත්තුවන බවත් පැවසුවේය.

ජනතා අපේක්ෂාවන් සඳහා අවශ්‍යතාවයන් සඳහා ඉදිවන අරුවක්කාලූ කසළ රඳවන තුලින් තවත් ජනතාවගේ අයිතිවාසිකම් හා ජීවන වෘත්තීන්වලට ගැටළුවක් නොවන සේ සිදුකිරීම රජයේ හා අදාල ව්‍යාපෘති නිලධාරීන්ගේ වගකීමවක් බව අවධාරණය කරනු කැමැත්තෙමු. නොරොච්චෝලේ වැනි අත්දැකීම් තුළින් ජනතාව මේ දෙස බැලීම සාධාරණය ය. වීමට යන දේ පිළිබඳව ඔවුන්ට පෙර අත්දැකීමක් නොමැත. ඒ නිසා සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියා කිරීම බලධාරීන්ගේ වගකීමකි.

අරුවක්කාරු සංචාරයෙන් පසු සකසන ලද වීඩියෝව පහතින්...

 




2018-09-29
Advertisement

Find us on Facebook