English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහ පොළොවත් ජීවියාත් රකින්නට වැය වු ඔහු යන්න ගිහිං !

"මම මේ දිනවල මගේ ජීවිතයේ අන්තිම දවස් කරා ලං වෙමිනුයි සිටින්නේ. මගේ භෞතික සිරුර තව අවුරුදු කීපයකින්, සමහර විට ඉතාම ඉක්මනින් එහි පැවැත්මේ අවසානයට ලඟා වේවි. නිසා මගේ සිත තුල පවතින අන්තිම බලාපොරොත්තු ගැන ලියා තැබීමට මෙය සුදුසු කාලයයි."

වසර ගණනාවක සිය සමාජ මෙහෙවර සිහිගන්වමින් සිය චරිතාපදානයෙහි එසේ ලියා තැබු ඔහු, සරත් ප‍්‍රනාන්දු වු අව්‍යාජ, සැබෑ සමාජ ක‍්‍රියාධරයා, ජීවිතයේ් හරි අඩක් ගෙවා දමමින් තමන් සැබවින්ම ආදරය කළ, සුවපත්කරන්නට, ආරක්‍ෂාකරන්නට වෙර දැරු මහ පොළවේ ස්පර්ශය හිමිකරගන්නට සුදානම් වී සිටියි. ඒ, ඊයේ (සැප් 07) සවස් භාගයේ දි හදිසියේ ඇතිවු අසනීප තත්ත්වය හේතුකරගෙන, වසර 72ක් ජිවත් කරවු සිය දිවියෙන් සමුගැනීමයි. 

අවසන් වරට ඔහු තම දායකත්වය ලබාදුන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් යෝජිත නව බීජ පනත මගින් දේශීය බීජවලටත් ගොවියාගේ මුලික අයිතිවාසිකම්වලටත් සිදුවන්නට යන විනාශය වෙනුවෙන් විරෝධය පාන්නටය. ඒ්, පසුගිය ජුනි මාසයේ 24 වනදා (2014-06-24) බත්තරමුල්ලේදී පැවති ආණ්ඩුවේ බීජ පනත සඳහා වු දැවැන්ත උද්ඝෝෂණයේදීය.


ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙවත් මොන්ලාර් හි නිර්මාතෘ වු සරත් ප‍්‍රනාන්දු මහතා ශි‍්‍ර ලංකාවේ ගොවි ජනතාව මුහුණ දුන් ඉඩම් හා කෘෂිකාර්මික ගැටළු පිළිබඳව මහා දැනුමකින් හා මහා උද්යෝගයකින් යුතුව විසඳුම් සෙවීමෙහි ලා නිරත වු අතර ඒ සඳහා අරගල මාවත ද තෝරාගත් සටන්කාමියෙකු විය. ඊට පෙරහුරුව ලැබුවේ ඔහුගේ විශ්වවිද්‍යාල දිවියේදි 71 කැරැල්ලේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු ලෙසින් සමාජ පෙරළියකට පණ පොවමිනි. එහි ප‍්‍රතිඵලය ලෙසට, සිවිල් ඉංජිනේරුවරයෙකු වන්නට විශ්වවිද්‍යාලයට ගිය ඔහුට වසර පහක සිර ඳඩුවමකට යටත්වන්නට සිදුවිය. අවසානයේදි උපාධිය පසෙකටලා , සමස්ත ලංකා ගොවි සම්මේලනයට බැඳි පූර්ණකාලිනව දේශපාලන කටයුතුවල නිරත විය. ඒ, එවකට සමාජ පරිවර්ථනයක් ගෙන ඒම සඳහා ගොවීන් ප‍්‍රබල ඡන්දදායකයින් කොටසක් යැයි ඔහු  විශ්වාස කළ නිසාය.

මානව හිමිකම් ක‍්‍රියාධරයෙක්, පරිසරවාදියෙක්, එමෙන්ම ඔහු සමාජ-ආර්ථීක ගැටළු පිළිබඳව ද මාහා දැනුමකින් යුතුව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළෙඳ සංවිධානය ආදි ජාත්‍යන්තර සමුළු ඉදිරියට ගොස් පිඩිත ජනතාව වෙනුවෙන් හඬ නැගුවේය.

එවකට, 40 වසරක පමණවු ඔහුගේ ගොවි කටයුතු මෙහෙවර ඇගයීමට ලක්කරන, බැංගලෝරයේ මහාචාර්ය එම් ඞී නජුන්දාස්වාමි පදනම වසර 2011 පෙබරවාරි 13 වෙනිදා  ජීවිත කාලයට ම හිමි මහාචාර්ය එම් ඞී නජුන්දාස්වාමි සම්මානයෙන් තුඩුගල මුදලිගේ ජස්ටින් සරත් ප‍්‍රනාන්දු මහතා පුදනු ලැබුවේය. මේ අවස්ථාව සඳහා ගොවීන් මෙන්ම ගොවි නායකයින් පන්දහසක් සහභාගි වු බව එම පදනම සටහන්කර තිබුණි. (මේ එදින ගනු ලැබු ඡයාරූපයයි.)

එමෙන්ම, ඉඩම් අරගලයේදි කැපීපෙනෙන දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ආසියානු ගොවි හවුල මගින්ද 2013 දෙසැම්බර් මාසයේ 04 වන දා ඉන්දුනීසියාවේ බාලි දුපතේදි ඔහු සම්මානයෙන් පුදනු ලැබූහ.

මා දන්න දා සිට (1993) ඔහු සමීපයේ ඉතාම කුළුපඟ මිත‍්‍රයෙකු සිටියේය. ඒ මිත‍්‍රයා ඔහුට නැතිවම බැරි විය. පළල් බුද්ධියක් , මහා චින්තනයක් තිබු ඔහුට ඒ මිත‍්‍රයාගෙන් සිදුවන විනාශයේ තරම වටහා ගන්නට බැරි විය. වටහා ගත්ත ද මිත‍්‍රයා ව අමතක කරදමන්නට, විසිකර දමන්නට ඔහුට සිත් දුන්නේ නැත. ඒ තරමටම මිත‍්‍රයා වෙත ඇබ්බැහි වී සිටියේය. අවසානයේදි, දැනුමෙන් පොහොසත්, වටිනා, සුන්දර මිනිසෙකුගේ ජිවිතය කෙටිකර දැමිමට තරම් ඒ මිත‍්‍රයා බලවන්ත විය. එවන් සුන්දර මිනිසෙකුව නතුකර ගන්නට තරම් බලවන්ත වු ඒ සිගරැට්ටුව ගැන මම කම්පා වෙමි. ලැජ්ජා වෙමි. මන්ද, වටිනාම මිනිසෙකුගේ දිවි නැසු නිසාත් , එසේ නැසුණේ ,  වයසින් ද දැණුමෙන් ද බොහෝ දුර සිටිය ද ඔහු  ඕනෑම වේලාවක තමන් නියැලි සිටින විෂයයෙහි, ක්‍ෂේත‍්‍රයෙහි  ඕනෑම ප‍්‍රශ්නයකට පිළිතුරු දෙන්නට, අදාළ තොරතුරු කියා දෙන්නට, ලියා එවන්නට මෙන්ම උපදෙසක් ලබාදෙන්නට තරම් වු නිහතමානි වු ආදරණිය සරත් අය්යා වීමත් .  

එළඹෙන බදාදා දින සවස් භාගයේදි යකල්ල ඉබ්බාගමුවේ දි සිය අවසන් අපේක්‍ෂාවද ඉටුකරගන්නට සරත් අය්යා සැරසෙන්නේ නිරුපද්‍රිත සිරුර මිහිදන් කිරිමෙන් සිරුරේ සාරයද පසට මෙන්ම ගහ කොළවලට උරාගන්නට කවදා හෝ ඉඩ දෙනවා යැයි කියා ගිවිසා ගෙන තිබු පොරොන්දුව   ඉටුකරමිනි. ඉතිං, ජීවත් වු සරත් අය්යා තවදුරටත් ජීවත්නොවන සරත් අය්යා මේ මහ පොළොවට නම් ණයගැත්තෙකු නොවෙයි !

ඡායාරූප සහ සටහන - මෙලනි මානෙල් පෙරේරා



2014-09-08
Advertisement

Find us on Facebook