English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


නාගානන්දගේ බළළා කලින්ම එළියට....

මේ දිනවල රජයේ වාරණයට හසුවී තිබෙන මාලක දේවප්‍රියගේ කනට පාරක් ගුවන් විදුලි නාටක මාලාව බුද්ධ සාසන අමාත්‍යංශය විසින් තහනම් කර ඇති අතර, ඒ සම්බන්ධව කලාකරුවන් අතර ද, විද්වතුන් අතර සංවාදයක් මතුව තිබේ. මේ නාට්‍ය ගුවන් විදුලියෙන් විකාශනය සම්බන්ධයෙන් වගකීම දරණ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ සංහිඳියා කාර්යංශය විසින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ප‍්‍රකාශයක් නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් තවත් විවාද සම්පන්න චරිතයක් වන නීතිඥ නාගානන්ද කොඩිවක්කු මහතා ලිපියක් ලියමින්,

“අද රට පාලනය කරන්නේ කිසිඳු දහමක් ගරු නොකරන කිසිඳු චාරයක් නැති නමට පිරිමින් වූ නිවටුන් පිරිසක් විසිනි. මොවුන්ගේ අරමුණ කුමක්දැයි පැහැදිලිය. නාගානන්ද පැහැදිළිවම සෑම දහමක්ම ගරු කරන අතර මෙම ක්‍රියාව චේතාන්විතවම බෞද්ධ දර්ශණය හෑල්ලූ කිරීමක් මෙන්ම බෞද්ධයන් අපහසුතාවයකට සිදු කරන ලද පහත් ක්‍රියාවක් වන්නේය. මෙය වසර 10ක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම කළ හැකි අපරාධ වරදක් වන්නේය.”

එහෙයින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පහත් වැඩේ නවත්වන ලෙසට මෙම ක්‍රියාවට වගකිවයුතු සියලූ දෙනාට නාගානන්ද මෙයින් අවවාද කරන අතර, එය දින 07 ක් තුළ ඉවත් කිරීමට ක්‍රියා නොකළහොත් , කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන බව මෙයින් තරයේ දන්වා සිටිනු ලැබේ.”   සඳහන් කළේය.

නාගානන්ද මහතා නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින විද්වතෙක් ලෙස පෙනී සිටියි. නමුත් මෙම ලිපිය මගින් ඔහු දැඩි ඒකාධිපතිවාදී, අන්තවාදී අදහස් දරන්නෙකු ලෙස පෙනී සිටින අතර, කලා නිර්මාණයන් ගැන අබැටකඳු තරම් වත් අවබෝධයක් නැති බවත් පැහැදිලි කරයි.

මෙම ලිපියට ප‍්‍රගතිශීලී අදහස් දරණ භික්ෂුවක් ලෙස ප‍්‍රකට ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගෙන් පැහැදිලි පිළිතුරක් ලැබී ඇත. එම පිළිතුරේ ඇති වටිනාකම සලකා අප සම්පූර්ණ පිළිතුර මෙලෙස පළ කරන්නෙමු. එතුමන් මෙහිදී නාගානන්දගේ වචනාර්ථයට වඩා ඔහු නියෝජනය කරන පූර්ණ ව්‍යාපෘතියේ ස්වභාවයට ආමන්ත‍්‍රණය කර ඇත.

“මේ රටේ කපටි දේශපාලකයින් තම රක්ෂාස්ථානය ගොඩනගා ගන්නේ බුදු දහම රකින්නන් සේ පෙනී සිටීමෙන්. මේ වන විට මෙහි සාකච්ඡාවට බඳුන්වන නාට්‍යවල නම් මුල් කරගෙන එබඳු දේශපාලකයින් ගණනාවක්ම බුදුදහම බේරා ගැනීම සඳහා ඉදිරිපත්ව සිටිනවා.

වෙනසක් කරන්නට එන්න හදන ඔබතුමාත් ඒ වාහනයට ගොඩවුණා දැක්කම කම්පනයක් ඇති වුනා. පළමු ප‍්‍රශ්නෙ මේ නාට්‍යවල අන්තර්ගතය නොසලකා ම ලේබලය දෙස පමණක් බලා බරපතල දඩුවම ගැන කතා කරන්න ඉදිරිපත් වීම ඔබ වැනි අතිශය භාරධුර කටයුත්තක් කරන්න යන කෙනෙකුට ඉක්මන් වැඩි නැත්ද?

ආගමට අදාළ ප‍්‍රශ්න ආගමික අයට සුදුසු නීති මගින් ලිහා ගන්නට ඉඩ දී දේශපාලනයේ යෙදෙන්නන් රාජ්‍ය තාන්ත‍්‍රික ලෙස කටයුතු කළොත් නේද මේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්.

ඔබට ආගමක් තිබිය හැකියි. නමුත් එය පෞද්ගලිකයි. එය දේශපාලන කාරණාවලට අදාළ නෑ නේද?

ඔබ එක තැනක මෙහෙය කියා තිබෙනවා. ප‍්‍රගතිශීලි යන්නෙහි තේරුම සද්ධර්මය, කිතු දහම, මොහොමද්තුමාගේ දහම, හෝ හින්දු දහමට නිගා කරන අය කියලා. දැන් මෙතන කියන සද්ධර්මය මොකක්ද? එහෙම ආගමක් නැහැනේ?. අනෙක මෙතන දක්වා තියෙන අනෙක් ආගම් අසද්ධර්මය ද ?

මම බෞද්ධ භික්ෂුවක්. මට මා පිළිගත් දහම සද්ධර්මයයි. ඒත් මට කියන්න අයිතියක් තියෙනවද මා පිළිගත් දහම සද්ධර්මය සහ අන් ආගම් නිකම්ම ආගම් කියා.

මේ නාරා වලෙන් රට ගොඩගන්න හදන කෙනා මීට ගොඩාක් ඉහළින් හිතන්න පුළුවන් කෙනෙක් වෙන්න  ඕන කියන එකයි මගේ අදහස.

මගේ දහමේ අපහාස ඉදිරියේ කටයුතු කළ යුතු ආකාරය විස්තර වෙන්නේ මෙහෙමයි. කෙනෙකුට දෙන්න ගෙනියන තෑග්ගක් අදා පුද්ගලයා බාර නොගතහොත් එකී තෑග්ගේ අයිතිකරුවා වන්නේ එය රැගෙන ගිය පුද්ගලයා වන්නා සේම අපහාස කරන්නාගේ අපහාසය බාර නොගෙන ඉන්න කෙනා. එවිට එකී අපහාසය අපහාස කළ පුද්ගලයාටම අයිති වත්කමක් වනු ඇත.

මේක කිව්වේ බුදුදහමේ මෙසේ උගන්වා ඇති බැවින් එසේ කරන්නට කියන්න නොවෙයි. රාජ්‍ය තාන්ත‍්‍රිකයින් රාජ්‍ය තාන්ත්‍රීකභාවය අමතක කොට පහළ මට්ටමට බැස කටයුතු කරද්දී ඇතැම්විට ආගම තුළ ඊට වඩා රාජ්‍ය තානත්‍රීක පිළිතුරු ඇති බව පෙන්වා දීමටයි.”

නාගානන්ද මහතා ගල්ගන්දේ ධම්මානන්ද හිමියන්ගේ පිළිතුරෙන් යම් ආලෝකයක් ගෙන ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී පියවර ගැන නැවත සිතා බැලූවොත් එය ඔහුගේ අනාගත දේශපාලන ව්‍යාපෘතියේ යහපත සඳහාම වනු ඇති බව අයිතියේ විශ්වාසයයි.




2018-08-27
Advertisement

Find us on Facebook