English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"මාධ්‍ය නිදහස තිබුනත් මහජනයාට වගකියන මාධ්‍ය සංස්කෘතියක් නෑ." දීපිකා උඩගම

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස බොහෝ දුරට තහවුරු වී ඇතත්, මහජන යහපත උදෙසා එය පරිනත ලෙස යොදාගන්නා ජනමාධ්‍ය සංස්කෘතියක් නොමැතිවීම කණගාටුදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ප‍්‍රකාශ කරයි.  

පසුගිය වකවානුවේ මහජනතාවගේ ජයග‍්‍රහණ ලෙස සැලකිය හැකි වැදගත් සන්ධිස්ථාන ගණනාවක් ඇති වූ නමුත් ජනමාධ්‍ය ඒවා ප‍්‍රමුඛ වැදගත්කමක් සහිතව වාර්තා නොකළ බවද, තොරතුරු අයිතිය නීතිගත කිරීම, උතුරේ හමුදාව භාරයේ තිබූ ඉඩම් හිමිකරුවන් වෙත ලබාදීම හා මහජන අයිතිවාසිකම් තහවුරු කළ ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ඊට උදාහරණ ලෙස දැක්විය හැකි බවද ඇය අවධාරණය කරයි.

ආචාර්ය උඩගම මේ බව ප‍්‍රකාශ කළේ අගෝස්තු 21 වෙනි දින පෙරවරුවේ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී පැවති ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස එම උත්සවය අමතමිනි.  

එහිදී ඩිප්ලෝමාධාරී සිසු සිසුවියන් සෘජුව ආමන්ත‍්‍රණය කළ සභාපතිනිය ජනාමාධ්‍යවේදීයා වගකිව යුතු වන්නේ අන් කිසිවෙකුට නොව මහජනතාවට බවත්, එම වගකීම කිසි විට අමතක නොකරන ලෙසත් අවධාරණය කළාය. ජනමාධ්‍ය නිදහස යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බව පැවසූ ඇය, මේ වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස බොහෝ දුරට පවතින බව මානව හිමිකම් කොමිසමට ප‍්‍රත්‍යක්ෂ බවද සඳහන් කළාය.  

“අතුරුදහන් වූ, පැහැරගෙන ගිය හෝ ඝාතනය වූ මාධ්‍යවේදීන් ගැන මේ වකවානුවේදී අසන්නට ලැබුණේ නැහැ. ඒක අපේත්,  රටේත් වාසනාවක්.” යැයි පැවසුවාය.

ජනමාධ්‍ය යනු මානව හිමිකම් ප‍්‍රවර්ධනය පිණිස ඉතා වැදගත් වන සංස්ථාවක් බැවින්, ජනමාධ්‍යවල හැසිරීම පිළිබඳ සිය කොමිසම නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව පැවසූ සභාපතිනිය එහිදී නිරීක්ෂණය වූ කරුණු සිය අදහස් පළ කළේ, “විවෘතව අදහස් පළ කිරීම, මානව හිමිකම් කොමිසමේ සභාපතිනියගෙන් බලාපොරොත්තු වන දෙයක් බව” අවධාරණය කරමිනි.

“මේ පුවත්පත මේ පක්ෂයේ, මේ නාලිකාව අර පක්ෂයේ කියලයි ජනතාව මාධ්‍ය දිහා බලන්නේ. යම් සිදුවීමක් තේරුම්ගැනීමට නම් නාලිකා කිහිපය ප‍්‍රවෘත්ති බලන්න සිදුවෙලා. සියලූ පැති ආවරණය කරලා වාර්තා කිරීමක් සිදු වන්නේ නැහැ. මාධ්‍ය අතර තරඟයෙන් පරදින්නේ ජනතාවයි.” ආචාර්ය දීපිකා උඩගම වැඩිදුරටත් පැවසුවාය.

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.




2018-08-23
Advertisement

Find us on Facebook