English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“අහන්න ඇහෙයිද?”

ඥානවීර දිසානායක මහතා විසින් සමබිම පුවත් පතට ලියු ලිපියෙන් උපුටා ගැනීමකි.

අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් පිහිටුවා ඇති සංහිඳියා යාන්ත්‍රණ අධීක්ෂණය කිරීමේ කාර්යාලය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහය ලැබූ දිවයිනේ ප්‍රදේශ ගණනාවක් පුළුල් ලෙස ආවරණය වන පරිදි පවත්වාගෙන යනු ලබන “අහන්න” නම් වූ ජාතික සංහිඳියා ජංගම වැඩසටහන මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ සම්බන්ධීකරණ සහයෙන් මූලිකවම ඊට අනුබද්ධිත ප්‍රජා පෙලිස් ඒකකයන්හි සාමාජිකයන් ඇතුළු වෙනත් පිරිස් සහභාගී කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

පසුගිය අගෝස්තු මස 08 වැනි දින එක් කණ්ඩායමක් දෙහිවල නගරයෙන්ද තවත් කණ්ඩායමක් කඩවත නගරයෙන්ද, ගමන් ආරම්භ කර මේ වන විට ගම් නගර ගණනාවක් පසුකරමින් එම වැඩසටහන යම් සාර්ථකත්වයක් සහිතව දියත් වෙමින් තිබේ.

සංහිඳියාව තේමා කර ගත් “අහන්න” ගීතය පුළුල් තිරයක් තුළින් නරඹන්නට සලස්වමින් ඊට සමගාමීව ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් පිරිසක් අදාළ තේමාව ආශ්‍රිත වීදි නාට්‍යයක් රඟ දක්වමින් මෙම අවස්ථාවට සහභාගී වන්නන්ගේ අවධානය අපේක්ෂිත ප්‍රස්තුතය කෙරෙහි යොමු කරවා ගන්නා අතර, අනතුරුව නිදහසේ වේදිකාව සාමාජිකයන් වූ සිවිල් සමාජ ක්‍රියාධරයන් විසින් අදහස් දැක්වීමක් සිදුකරයි. ඉන් පසු සහභාගිකයන් විසින් මතුකරන ගැටලු හා ප්‍රශ්න මත පදනම්ව සංවාද මණ්ඩපයක් ගොඩනැගේ. මේ එම වැඩසටහනේ සාමාන්‍ය ස්වභාවයයි.

මෙම වඩසටහනෙහි පූර්ව සැලසුම් සාකච්ඡා දෙකකකටත් එය ක්‍රියාත්මක වූ ස්ථාන තුනක සම්පත්දායකයෙකු වශයෙනුත් සහභාගී වූ අයෙකු ලෙස අහන්න පිළිබඳ යමක් ලිව යුතුව ඇතැයි මා අදහස් කළෙමි.

මෙරට තුළ සංහිඳියාව ගොඩනැගීමට කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබේය යන්න වාද විවාදයක් නොමැති අතර, වත්මන් පාලනය යටතේ ඒ සඳහා විශාල ප්‍රයතන්යක් දරා ඇති බවද පිළිගත යුතුව ඇත. කෙසේ වූවද ඒවා පිළිබඳ රටේ මහජනතාව අතර ප්‍රමාණවත් මට්ටමේ සාකච්ඡාවක් ගොඩනැගී නැති බව ද සත්‍යය වේ.

තවමත් ජනතාව අතර එකිනෙකා කෙරෙහි විශ්වාසයක් ගොඩනොනැගී පැවතීම වරින් වර සිදුවන අමිහිරි සිදුවීම්වලින් හා ඔවුන් දක්වන මතවාදයන්ගෙන් මනාව පිළිඹිබු වේ. එවන් පසුබිමක් තුළ අහන්න වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදුවීම මහත්සේ අගය කළ යුතුව ඇත.

කෙසේ වුවද මෙම වැඩසටහන අපේක්ෂිත මට්ටමින් ප්‍රතිඵල අත්කර නොගනු ඇති බව මගේ විශ්වාසය වේ. ඒ සඳහා බලපාන ප්‍රධානම කරුණ වන්නේ මෙවැනි වැඩසටහනක් සැලසුම් කිරීමේදී හා සංවිධානය කිරීමේදී ඇති වන අසීරුතාවන් බව මුලිකව පිළිගත යුතුව ඇත. මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමේ පෙර අත්දැකීම් මඳ බවක්ද පෙනී යන තවත් කරුණකි. එසේම දැනට මෙම සංවිධාන කටයුතුවල නියැළෙන්න ඇතැම් අය තුළද ආධුනික බවක් දක්නට ඇත. 

මෙම වැඩසටහනට අදාළව දැක්විය හැකි විශේෂ කාරණයක් වන්නේ මෙහි සම්පත්දායකයන් ලෙස සිවිල් සමාජ ක්‍රියාධරයන් සහභාගී කරවීම පිළිබඳවයි. සැබෑ ලෙසම සාමය හා සංහිඳියාව වෙනුවෙන් ඉතා අවධානම් සහ දුෂ්කර තත්ත්වයන් යටතේ ඉමහත් පීඩාවන් හා අවලාද මැද එහෙත් අත් නොහැරම ඒ වෙනුවෙන් පෙනී සිටි සහ ඒ සම්බන්ධ විශාල අත්දැකීම් රැසක් ඇති පුද්ගලයන් කිහිපදෙනෙක් මෙම වැඩසටහනට සම්බන්ධ වේ. ඔවුන් මේ වෙනුවෙන් යොදා ගන්නට ගත් තීරණය ඉතා වැදගත් වන අතර එම ක්‍රියාධරයන්ගේ අතදැකීම් ඔවුන් සමඟම වියැකී යන්නට නොදී මේ ආකාරයෙන් සමාජ යහපත සඳහා උපයෝගී කර ගැනීම මහත් සේ අගය කළ යුතුය.

කෙසේ වුවද මෙම සම්පත්දායක පිරිස, මෙම වැඩසටහන සඳහා මීටත් වඩා ඵලදායක ලෙස යොදා ගන්නට විධිමත් සැලසුමක් තිබුණේ නම් වැදගත් වනු ඇත. ඒ සඳහා සිවිල් සමාජය පැත්තෙන් යම් අඩුවක් තිබූ බවද පිළිගත යුතුය.

අනෙක් කාරණය වන්නේ මෙම වැඩසටහනට සම්බන්ධ වූ පිරිස් හා නිසි සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට තිබූ වටිනා අවස්ථාවක් මඟහැරී යාමය. මෙම වැඩසටහන පැවැත් වූ ස්ථාන සහ කාලය අනුව සහභාගීකයන් සමඟ සජීවී සංවාදයකට ඇති ඉඩකඩ බොහෝදුරට ඇසිරී තිබුණි.

සජීවීව සම්බන්ධ වන පිරිස්වලට අමතරව මෙම වැඩසටහන ආශ්‍රයෙන් මාධ්‍ය හරහා තවත් විශාල පිරිසකගේ අවධානය යොමුකරවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානයක් යොමුව නොතිබූ බවද පෙනී ගිය තවත් කාරණයකි.

වැඩසටහන තවමත් ක්‍රියාත්මක වන නිසා අවසානය වෙන තෙක් නොසිට අතරමඟ කෙරෙන සාකච්ඡාවක් තුළින් යම් අඩු පාඩු නිවැරදි කර ගැනීමට අවධානයක් යෙදවිය හැකි වන්නේ නම් එය යහපත් ප්‍රතිඵල කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීමට පිටිවහලක් වනු ඇත. එසේ නොවන්නේ නම් මේ සඳහා කැපවෙන විශාල පිරිසකගේ ධනයද ශ්‍රමයද වැය කෙරෙන මූල්‍ය හා අනෙකුත් සම්පත්වලින් අවසානයේ ලැබෙන ප්‍රතිඵලය ඉතා සීමිත වනු ඇත.

- ඥානවීර දිසානායක




2018-08-20
Advertisement

Find us on Facebook