English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


OMP ය පිළිගන්න උතුර සුදානම් නැද්ද?

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරයෙකු වන නීතිඥ එස්. කේ. ලියනගේ මහතා වසර හතළිස් හතරක් රාජ්‍ය සේවයේද වසර තිස්හයක් පරිපාලන ක්ෂේත්‍රයේද අත්දැකීම් ඇත්තෙකි. විශ්‍රාම ගන්නා විට පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඔහු, ගෞරවනීය රාජ්‍ය සේවය වෙනුවෙන් 2007 වසරේ සුපිළිපන් සම්මානයෙන්ද පිදුම් ලැබීය. විවිධ සිද්ධීන් පදනම් කරගනිමින් පත් කළ විමර්ශන කොමිෂන් සභාවන් රැසක කටයුතු කළ ඔහු, වැලිකඩ රැඳවියන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට 2012 වසරේදී පත් කළ විමර්ශන කොමිෂන් සභාවෙහිද කටයුතු කළේය. 

අතුරුදන්වූවන් සැමරීමේ ජාත්‍යන්තර දිනය අගොස්තු මස 30 වැනිදාට යෙදී ඇති අතර කාර්යාලය විසින් පසුගිය කාලයේ සිදුකරනු ලැබූ අදහස් විමසීම් ඔස්සේ සකස් කෙරුණ අතුරු නිර්දේශ රජයට ඉදිරිපත් කිරීම එයට සමගාමීව සිදුකිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් සහ දැනට කාර්යාලයේ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳ නීතිඥ එස්. කේ. ලියනගේ මහතා සමඟින් “සමබිම” වෙනුවෙන් ජයනි අබේසේකර විසින් කළ සංවාදයකි.

ඔබ දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නියුතු වූ කෙනෙක්. අතුරුදන් කරවීම් සම්බන්ධ ගැටලුව ඔබට ග්‍රහණය වෙන්නේ කෙසේද ?

මම අතුරුදන් කරවීම් පිළිබඳ කාරණය දකින්නේ මානව ඛේදවාචකයක් ලෙස. මෙය ශිෂ්ට සම්පන්න සීලාචාර සමාජයකට පිළිගත නොහැකි එවැනි සමාජයක නොපැවතිය යුතු දෙයක්. අප රටේ අතුරුදන් කරවීම් කියන්නේ කිසියම් වූ පුද්ගලයන් විසින් දේශපාලනික හෝ පෞද්ගලික හෝ වෙනයම් හේතු මත සිදුකරනු ලබන බරපතළ අපරාධයක්. නමුත් මෙය කුමන තත්ත්වයක් යටතේ වුවත් සිදුනොවිය යුත්තක්. අපේ ඊළඟ පරම්පරාවට අතුරුදන් කරවීම පිළිබඳ ප්‍රශ්නයක් තවදුරටත් ඉතිරි නොවිය යුතුයි. මෙය කවුරු විසින් සිදුකළත් එහි වගකීම රජය විසින් භාර ගත යුතු බවයි මගේ අදහස. රාජ්‍ය සේවයේ නියුතු වූ සමයේත් අදත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ඉන්නේ එවැනි ස්ථානයකයි..

ඔබ අද අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයෙක්. මේ මොහොතේ කාර්යාලය මොනවද කරමින් ඉන්නේ?

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය මාර්තු මාසේ පළමු වැනිදා සිට වැඩ ආරම්භ කළේ. ඒ වන විට අපිට කාර්යාලයක් හෝ රැස්වෙන්න ස්ථානයක් හෝ තිබුණේ නැහැ. ඒ නිසාම පසුගිය කාලයේ ඒ ගැටලුව නිරාකරණය කර ගැනීම කෙරෙහි අපි අවධානය යොමු කළා. ඒ වගේම අපි මූලිකවම කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම් සම්න්ධව කල්පනා කළා. ඒ අනුව තාවකාලික කාර්ය මණ්ඩලයක් සඳහා අනුමැතිය ලබා ගෙන ඊට අදාළ පත්වීම් සිදුකරමින් පවතිනවා. මොකද වැඩකටයුතු ක්‍රමවත් කර ගැනීමට එය අත්‍යවශ්‍යයි. ඒ වගේම මහජනතාව සමඟ විශේෂයෙන්ම අතුරුදන් තැනැත්තන්ගේ පවුල්වල පිරිස් සමඟ සංවාදයක් ගොඩනඟා ගැනීමට අපි පසුගිය කාලය පුරා උත්සාහ කළා. ඒ වෙනුවෙන් මාතර, යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලට ගිහින් අතුරුදන් තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන්, සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා කරමින් ඔවුන්ගේ අදහස් ලබා ගත්තා. මේ අදහස් නිසි ලෙස ගොනු කර විමසා බැලිය යුතුව තිබෙනවා. ඒ වගේම අපි සැලසුම් කර තිබෙනවා අපගේ ප්‍රාදේශීය කාර්යාල 12ක් පිහිටුවීමට. එයින් 5ක්ම ස්ථාපිත කිරීමට සැලසුම්ව තිබෙන්නෙ උතුරු නැගෙනහිර පළාත්වල. ඒ වගේම මේ අතුරින් මාතර සහ මන්නරාම යන දිස්ත්‍රික්කවල ඉතා ඉක්මනින් ප්‍රාදේශිය කාර්යාල විවෘත කිරීමයි අපගේ අපේක්ෂාව. මන්නාරම සමූහ මිනීවළ කැනීම් කටයුතු සඳහා අපි මූල්‍යමය වශයෙන් ප්‍රතිපාදන සහ දායකත්වය ලබා දෙමින් එය අතරමඟ ඇණ හිටීම වළක්වා තිබෙනවා. මේ වන විට අපි අපේ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා අගෝස්තු 30 වැනිදාට එළැඹෙන ජාත්‍යන්තර අතුරුදන් තැනැත්තන්ගේ දිනය සැමරීම වෙනුවෙන්.

මේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිවිල් සමාජයේ චෝදනාවක් තිබෙනවා කාර්යාලයේ ක්‍රියාකාරීත්වයත් රාජ්‍ය රෙගුලාසි, අණපනත් තුළ හිරවීමට ලක්ව මන්දගාමී වී ඇති බවට.

රජයේ රෙගුලාසි අණපනත් සමඟ අපි බලාපොරොත්තු වන අන්දමේ වේගයකින් ගමන් කිරීමේ නොහැකියාවක් තිබෙනවා. එය අපට පමණක් නොවෙයි අනෙකුත් කොමිෂන් සභාවන්ට ද බලපාන තත්ත්වයක්. විශේෂයෙන්ම කාර්ය මණ්ඩල බඳවා ගැනීමේදී ඒ ඒ අයට අවශ්‍ය සුදුසුකම් ඇතුළත් කර බඳවා ගැනීම් පටිපාටිය සකස් කිරීමෙන් අනතුරුව කළමනාකරණ සේවා දෙපාර්තුමේන්තුවෙන් අනුමැතිය ගත යුතුයි. ඉන් පසුව ප්‍රසිද්ධ දැන්වීම් මඟින් අයදුම් පත් කැඳවා විධිමත් ආකාරයට සම්මුඛ පරීක්ෂණ හරහා පිරිස් බඳවා ගැනීම කළ යුතු වෙනවා. මේ සඳහා දීර්ඝ කලක් ගත වීම වැළැක්විය නොහැකියි. නමුත් මේ පවත්නා තත්ත්වය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර විශේෂ අනුමැතියක් ලබා ගෙන අවශ්‍යතාවය පරිදි බඳවා ගැනීම් කිරීමේ අපහසුවක් නැහැ. අපට ඉතාම කෙටි කලක් තුළ තාවකාලික කාර්යමණ්ලයක් බඳවා ගැනීම් අනුමත කර ගැනීමට හැකි වුණා. කෙසේ නමුත් පරිපාලනමය අර්ථයෙන් මෙවැනි ප්‍රමාදයක් තිබෙන බව සත්‍යක්. නමුත් අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මඟින් මෙම කොමිෂන් සභාවට ඉතාම පුළුල් බලතල ලබා දී තිබෙනවා. ඒ නිසාම අනෙකුත් කටයුතුවලදී ප්‍රමාදයක් සිදුනොවන බව කිව හැකියි.

කාර්යාලය උතුරේ සහ දකුණේ අතුරුදන්වූවන්ගේ සමීපතමයන් හමුවී අදහස් ලබා ගත්තා කියල ඔබ සදහන් කළා. එහිදී දකුණ දැක් වූ ප්‍රතිචාරය පිළිබඳ ඔබේ අත්දැකීම කෙබඳුද?

මේ රජය පත් වීමෙන් අනතුරුව ඍජුවම අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් කිසිදු කමිටුවක් හෝ කොමිසමක් පත් කළේ නැහැ මීට පෙර. නමුත් 2015ට පෙර විවිධ අවස්ථාවල විවිධ කොමිසම් ඔස්සේ මේ සම්බන්ධව සොයා බැලීම සිදුකර තිබෙනවා. නමුත් OMP කියන්නෙ ස්ථිර කොමිෂන් සභාවක්. මීට පෙර කොමිෂන් සභාවන්හි වාර්තාද සැලකිල්ලට ගනිමින් මේ ප්‍රශ්නය විසඳා ගැනීමයි අපේ අරමුණ. අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් ජනතාව විවිධ අදහස් මතවාද දරනවා. ඇතැම් විට ඒවා දේශපාලනික හෝ වෙනයම් අරමුණු මත පදනම්ව තිබෙන හැඩක් දකින්න ලැබෙනවා. කෙසේ වුවත් දකුණ සම්බන්ධයෙන් ගත්තොත් වින්දිතයන් මේ කාර්යාලය ඉතා කැමැත්තෙන් පිළිගන්නවා සහ ඉතා හොඳින් එහි කටයුතුවලට සහයෝගය ලබා දෙනවා. දකුණේ අපි තවමත් එක ප්‍රදේශයක පමණයි ජනතාව හමුවුණේ. එහිදී අපිව ධෛර්යමත් කරවන සුළු ප්‍රතිචාරයන් ලැබුණේ. ඒ වගේම දකුණේ තවත් කණ්ඩායම් සිටිනවා, ඔවුන් කල්පනා කරනවා හමුදා සොල්දාදුවන් අපහසුතාවයට පත් කිරීමක් මෙමඟින් සිදුවෙතැයි කියා. විශේෂයෙන්ම මේ මතයට මාධ්‍ය තුළ විශාල ඉඩක් වෙන්ව තිබෙනවා. නමුත් මේ කාර්යාලය කවරෙකුට හෝ පක්ෂපාතීව හෝ විරුද්ධව ක්‍රියාත්මක වන්නක් නොවෙයි.

නමුත් යාපනය, කිලිනොච්චිය වැනි ප්‍රදේශවලදී ලබපු අත්දැකීම් සමඟ මේ කාර්යාලය භාර ගන්න උතුර සූදානම් බවක් පෙනෙන්නට නැහැ නේද ?

මම එය පිළිගන්නෙ නැහැ. නමුත් OMP ය සම්බන්ධව උතුරේ තිබෙන්නෙ මිශ්‍ර ප්‍රතිචාරයක්. අපි මන්නාරමට ගිය විට OMP සමාජිකත්වය දරන එක් අයෙක් සම්බන්ධයෙන් ඔවුන් යම් විරුද්ධත්වයක් පෙන්නුම් කළත් විමසා බැලීමේදී අවබෝධ කරගත් දේ තමයි යම් යම් පිරිස් විසින් මේ අයට වැරදි අදහස් දී තිබුනා. නමුත් ඔවුන් අපිව කිසිදු ගැටලුවකින් තොරව පිළිගත්තා. ත්‍රිකුණාමලයේදීත් විරෝධතා දැක්වූ කණ්ඩායම ළඟට ගිහින් අපි සාකච්ඡා කළා. යාපනයේ ශාලාව පිරෙන්න අතුරුදන් තැනැත්තන්ගේ සමීපතමයන් පැමිණියා අපට කරුණු ඉදිරිපත් කිරීමට. නමුත් කිලිනොච්චියේදී ඔවුන්ගේ විරෝධතාවය සාර්ථක වුණා. OMP ට කරුණු දැක්වීමට පැමිණියේ සුළු පිරිසක් පමණයි. සමස්තයක් වශයෙන් මේ සෑම තැනකම විරෝධතාවන්ට නායකත්වය දුන්නේ එකම පිරිසක් බවයි පෙනෙන්නට තිබුණේ. ඒ වගේම පක්ෂ දේශපාලනය තුළ නිරත ඇතැම් දේශපාලනඥයන් මේ විරෝධතාකරුවන් සමඟ පෙනී හිටියා. නමුත් අපි ඇහුවේ මේ ප්‍රශ්නය OMP යත් නෙවෙයි නම් වෙන කුමන යාන්ත්‍රණයක්ද බලාපොරොත්තු වෙන්නෙ කියන දේ. ඔවුන්ගේ අදහස වුණේ මේ සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බව. නමුත් මේ වකවානුවේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කොමිසම් පිහිටුවීමක් සිදු නොවන බවයි අපේ අදහස. ඒ නිසාම මේ අයට සිදුවෙනවා OMPය සමඟ අකමැත්තෙන් හෝ යම් ගනුදෙනුවක් පටන් ගන්න. බොහෝ අයට ගැටලුව තිබුණේ මෙය තවත් රාජ්‍ය ආයතනයක්ද කියන දේ. නමුත් අපි කියන්නේ පනත මඟින් අපට ලබා දී තිබෙන බලතල අනුව මෙය ස්වාධීන ආයතනයක් සහ ඒ බලතල ප්‍රකාරව හැකි උපරිම අයුරින් අතුරුදන් තැනැත්තන් පිළිබඳ සත්‍ය සෙවීමේ කාර්යට අපි තබා තිබෙන බව.

මේ දිහා බැලුවම පේන්න තිබෙන්නෙ උතුරේත් දකුණේත් විශ්වාසය දිනා ගැනීමේ විශාල අභියෝගයක් දැන් OMP යට තිබෙන බව.

OMP යට යම් හෝ විරුද්ධත්වයක් දක්වන පිරිස දිහා බැලුුවෙත් පේන්න තිබෙන්නෙ දීර්ඝ කාලයක් තිස්සේ මේ අය මෙම කාරණාව අරඹයා දක්වන ඇල්මැරුණු ආකල්පය හේතු වූ බව. ඒසේත් නොමැති නම් යම් යම් බලවේගයන් විසින් ඔවුන්ව මෙයට විරුද්ධව හිට ගැනීම සඳහා පෙළඹවන ලද බවක්. ඒ වගේම ඇතැම් අය හිතනවා විය හැකියි විවිධ කාල වකවානුවල කොමිෂන් සභා ඉදිරියට ගිහින් තමන්ගේ දුක කියා තිබෙනවා වුනත් සිද්ධ වුණ දෙයක් නැහැ මෙයිනුත් ප්‍රයෝජනයක් නැහැ කියා. එනිසා අපි කළ යුතු වෙන්නේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට මේ දී තිබෙන පොරොන්දුව හැකිතාක් වේගයෙන් ඉටු කිරීම. ඒ හරහායි විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකි වෙන්නෙ.  

මේ ලබාගත් වින්දිතයින්ගේ/මහජන අදහස්වලට මොකද වෙන්නේ?

මේ සියලුම මහජන අදහස් ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික හැකියාවක් අපිට නැහැ. නමුත් බොහෝ අදහස් ඉතාම වැදගත් වගේම ඇතැම් අදහස් ක්‍රියාත්මකකිරීම සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න OMP යට හැකියාව තිබෙනවා. එහිදී මේ අදහස් ඇතුළත් යෝජනාවලියක් රජයට ලබා දීලා ඒවා ක්‍රියාත්මක කරන්න කියල යම් බලපෑමක් කිරීමට අපට හැකියාව තිබෙනවා. මේ වින්දිතයින් සත්‍ය වගේම වගකිව යුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වනු දැකීමත් බලාපොරොත්තු වෙනවා. බොහෝ පවුල්වල හිටපු එකම උපයන්න අතුරුදන් වීම නිසා ආර්ථීක වශයෙන් ඔවුන් ඉන්නේ දුෂ්කර තතත්වයක. එනිසාම ඔවුන් යම් වන්දියක් බලාපොරොත්තු වෙනවා. OMP කාර්ය භාර්ය ඉතාම විශාලයි. එනිසාම එයට යම් කලක් ගත විය හැකියි. නමුත් ක්ෂණිකව යම් යම් විසඳුම් ලබා දිය හැකි රැකියාවක්, නිවාසයක්, ආර්ථීකමය ගැටලුු යනාදිය තිබෙනවා. රැකියා ලබා දීමේදී මේ පවුලවල දරුවන්ට මූලිකත්වය දීම, ඉගෙන ගන්න දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, තමන්ගේ අතුරුදන් වුණ ආදරණීයයන් සැමරීමට දිනයක් වෙන් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් අපට අවධානය යොමු කළ හැකියි. අපි දැනට මේ කාරණාවලට අදාළ නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් අගෝස්තු 30 වැනි දින, ජාත්‍යන්තර අතුරුදන් වූවන්ගේ දිනයේදී රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.   

මේ කාර්යාලය තුළින් සිදුවෙන්නේ සත්‍ය සෙවීම පමණයි. ඒත් වින්දිත පාර්ශ්වයන් සත්‍ය වගේම යුක්තිය ඉටු කර ගැනීම සම්බන්ධයෙනුත් මේ කෙරෙහි බලාපාරොත්තු තැබුවා. යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් මොන වගේ ඉඩක්ද OMP යට තිබෙන්නෙ?

ඔව්, මේ කාරණාවම විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලින් මතු වෙනවා. යම් සිදුවීමකට වගකිව යුත්තන් හඳුනා ගෙන ඔවුන්ට දඬුවම් කිරීමේ නෛතිකමය බලයක් OMP යට නැහැ. නමුත් යම් පරීක්ෂණයක් සිදුකරමින් යන විට අපට අනාවරණය වෙනවා නම් මෙහි යම් අපරාධමය වරදක් සිදුවී ඇති බව එය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත දැන්වීමේ හැකියාව අපට තිබෙනවා. නමුත් ඒ ක්‍රියාමාර්ග වෙත අපි යන්නේ වින්දිතයින්ගෙන් සාක්ෂි ලබා දෙන අදාළ පාර්ශ්වයන්ගේ කැමැත්ත තිබෙනවා නම් පමණයි. මොකද අතැම් අය එවැනි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අකමැති විය හැකියි තවදුරටත් තමන්ට ගැටලු ඇති වේයැයි යන බියෙන්. අපට අධිකරණමය බලයක් නොමැති වුවත් වින්දිතයන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ හැකියි. ආර්ථීකමය ගැටලු සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් කිරීමට වගේම විශේෂයෙන්ම මානසික සහ සමාජීය ගැටලු සඳහා අවශ්‍ය කරන විශේෂඥ සේවාවන් සැපයීමේ හැකියාව අප සතුව තිබෙනවා.  

ඔබ කිව්වා වගේම වින්දිතයින් සාක්ෂි ලබා දීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව වගකීමක් දැරිය යුතු වෙනවා. වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් OMP ය ක්‍රියාත්මක වෙන්නේ රටේ දැනට තිබෙන නීතිය ප්‍රකාරවද?

නැහැ. වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් OMP යට අදාළව වෙනම නෛතිකමය බලයක් පැවරී තිබෙනවා. පනතේ 08 වැනි වගන්තිය ප්‍රකාරව මෙම කාර්යාලය තුළ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. ඒ අනුව අපට පැමිණිලි කරන හෝ අප ඉදිරිපිට සාක්ෂි ලබා දෙන තැනැත්තන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති බව අපට වැටහෙනවා නම් හෝ ඔවුන් ඒ පිළිබඳ පැමිණිලි කර තිබේ නම් හෝ ඊට අදාළව ක්‍රියාකිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම OMP යට තිබෙනවා. රටේ මීට අදාළව තිබෙන නීතියෙන් පරිබාහිරව ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව අපට මෙහිදී තිබෙනවා. දැනටමත් අපි යම් යම් සිද්ධි අරඹයා මේ බලතල ප්‍රකාරව කටයුතු කර තිබෙනවා.   

රාජ්‍ය ආයතනවලට ලැබෙන ප්‍රතිපාදන බොහෝ වෙලාවට කිසිදු වැඩක් සිදුනොවීම ආපස්සට යනවා. OMP යට සැලසුමක් තිබෙනවාද මේ ප්‍රතිපාදන නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ?

මේ අවුරුද්දේ මාස දහයක් වැනි කාලයක් තමයි දැනට කාර්යාලය ක්‍රියාත්මක වීමට පටන් ගෙන ගෙවී තිබෙන්නේ. ඒ කාලය තුළ විවිධ ගැටලුවලට මුහුණ දෙමින් අඩු පාඩු මධ්‍යයේ වුවත් අපි යම් සතුටු විය හැකි මට්ටමේ වැඩ කොටසකට අත තබා තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුළ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි මුදල් වැය කළේ. ඉදිරි කාලය සම්බන්ධයෙන් අපි යම් සැලසුමක් සකස් කරමින් පවතිනවා සහ ඊට අදාළ ප්‍රතිපාදන වින්දිතයින්ගේ යහපත සඳහා ප්‍රතිඵලදායක ලෙස සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් අප ආයතනයට අදහසක් තිබෙනවා.

සාකච්ඡා කළේ - ජයනි අබේසේකර (සමබිම)




2018-08-19
Advertisement

Find us on Facebook