English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීති විරෝධි මැතිවරණ කාර්යාල සියල්ල ඉවත් කළ යුතුයි - කැෆේ

මොණරාගල දිස්ත‍්‍රික්කය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නිත්‍යාණූකුල ලෙසට පවත්වාගෙන යන්නට අවසර ලබාදී ඇත්තේ මැතිවරණ කාර්යාල 219කට වුවද, එහි ඡන්ද අපේක්‍ෂකයින් විසින් මැතිවරණ කාර්යාල 970කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට පවත්වාගෙන යන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය ප‍්‍රකාශ කරයි. 

මොණරාගල දිස්ත‍්‍රික්කය තුළ සිදුවු මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල සංඛ්‍යාව 52ක් බවට පත්කරමින් ඊයේ රාත‍්‍රියේදි (සැප් 06) බුත්තල - කතරගම රජ මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාල දෙකකට පහර දී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

නීති විරෝධී ලෙසට පවත්වාගෙන යනු ලබන මැතිවරණ කාර්යාල හේතුවෙන් බහුතරයක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හටගෙන ඇති බැවින් මෙම නිත්‍යාණූකුල නොවන මැතිවරණ කාර්යාල වහා ඉවත් නොකළහොත් තවදුරටත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩිවනු ඇතැයි කැෆේ සඳහන් කරයි.

මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට කාර්යාල 163ක් සඳහා ද ජනතා විමුක්ති පෙරමුණට කාර්යාල 73 ක් සඳහා ද එක්සත් ලංකා පක්‍ෂයට කාර්යාල 105ක් සඳහා ද කම්කරු පක්‍ෂයට කාර්යාල 133ක් සඳහා ද තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිල අනුමැතිය ලබා දී තිබුණි. 

එහෙත් නොනවත්වා එල්ලවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තමන්ට නිත්‍යාණූකුලව ලැබුණු කාර්යාල සංඛ්‍යාවවත් පවත්වාගැනීමට අපොහොසත් වී ඇතැයි කැෆේ සංවිධානය පෙන්වා දෙයි. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මැතිවරණ කාර්යාල 970කට වඩා වැඩි කාර්යාල සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර ඉන් බහුතරය ප‍්‍රචාරණය සඳහා පමණක් යොදවා ගන්නා තාවකාලික කාර්යාල බව ද සඳහන් කරයි.

මොණරාගල දිස්ත‍්‍රික්කය තුළ එකඳු නිති විරෝධී මැතිවරණ කාර්යාලයක් පොලිසිය විසින් ඉවත්කර නොතිබුණු බැවින් මැතිවරණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් විසින් පසුගිය දෙදින තුළ දී එනම් සැප් 5 සහ 6 දිනවලදී දිස්ත‍්‍රික්කය තුළ නිත්‍යානූකුල නොවන මැතිවරණ කාර්යාල 320ක් ඉවත් කළ බව කැෆේ සංවිධානය ප‍්‍රකාශ කරයි.

අද, සැප් 07 වනදා වන විට කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 264 ක් ලැබි ඇති බවත් ඉන් 193ක් පැමිණිලි මොණරාගලින් ද 56ක් පැමිණිලි බදුල්ලෙන් ද ලැබී ඇති අතර දිස්ත‍්‍රික්ක දෙකටම පොදුවන තවත් පැමිණිලි 15ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය ප‍්‍රකාශ කරයි.

මේ අතර, ඌව පළාත් සභා මැතිවරණයේ නිරික්‍ෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේදි රාජ්‍ය සම්පත් භාවිතය , රජයේ නිළධාරීන් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වලට යොදා ගැනීම්, විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම් හා විවෘත කිරිම් මුල්කර ගනිමින් සිදුකරනු ලබන නිති විරෝධි මැතිවරණ ප‍්‍රචාරයන් දිගින් දිගටම සිදුවන බවත් එම නිති විරෝධි මැතිවරණ ප‍්‍රචාරයන් වැළැක්විමට මැතිවරණ බලධාරින් අපොහොසත් වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරික්‍ෂණ ජාලය පවසයි. 

ඡායාරූප - කැෆේ සංවිධානය
-MMP



2014-09-07
Advertisement

Find us on Facebook