English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වෛද්‍යවරුන්ට නඩුවක්!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව නඩු පවරන බව සඳහන් කරමින්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත ලිපියක් යොමු කර තිබේ.


වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අගෝස්තු 02 වෙනිදාට පෙර දින එම ලිපිය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාට යොමු කර ඇත.

මෙරට සමස්ත රෝගීන්ගේ අයිතිවාසිකම් කඩවීමත්, 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ 32 (2) වගන්තිය අනුව අත්‍යවශ්‍ය කර්මාන්ත හෝ සේවාවක වැඩ වර්ජනයක් සිදු කරයි නම් ඊට දින 21 කට පෙර සේවා යෝජකයාට දැනුම් නොදීමත් හේතුවෙන් මෙසේ නඩු පවරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ එම ලිපියේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුළු සෞඛ්‍ය සේවයේ ඉල්ලීම් මුල් කරගනිමින් රජයේ වෛද්‍යවරු අගෝස්තු 03 වැනි දා එක්දින වැඩවර්ජනයක යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පසුගිය 02 වෙනි දා පැවසීය.

තම ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බාර දුන් බවත් එහි පිටපත් අග‍්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය ඇමති සහ රාජ්‍ය පරිපාලන ඇමති යන අයටද යොමු කළ බවත්, ඊට ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹුණු බවත් ඔහු අවධාරණය කළේය.

විවිධ ප‍්‍රමාදවීම් නිසා වෛද්‍යවරුන්ගේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ ඉල්ලීම් ඉටු කිරීම කල් ගොස් තිබෙන බැවින් වෛද්‍යවරු සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එක් දින වැඩ වර්ජනයක් කැඳවා තිබුණි. ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක් අගෝස්තු 05 වැනි දා උදේ 10.00 ට ලබා දී ඇති බවත් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පැවසීය.

මේ අතර සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් වෘත්තිකයන්ට මෙන්ම රටේ ආර්ථිකයට වන හානිය පිළිබඳ පර්යේෂණ පවත්වා වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06 ක් මේ වන විට වෘත්තිකයන්ගේ සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ විභාග කිරීම මෙතෙක් සිදු කර නොමැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රාවය කරන ලද විමසුමට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළේය.

 (උපුටාගැනීම “රාවය” 2018 අගෝස්තු 05 වෙනි දින ) 


2018-08-06
Advertisement

Find us on Facebook