English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අළුත් මහාධිකරණයේ පළමු නඩුව අගෝස්තු 24 වෙනි දා
පසුගිය රජය සමයේ ”ලිට්‍රෝ ගෑස්” සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනාට චෝදනා පත‍්‍ර භාරදීම සඳහා මේ මස 24 වෙනි දින පෙනී සිටින්නැයි දන්වමින් කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය මඟින් සිතාසි නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත‍්‍ර පරීක්ෂාවට ලක් කළ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පානි ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් මෙම සිතාසි නිකුත් කිරීම සිදුකර තිබේ.

2014 වසරේ පෙබරවාරි මස 01 වෙනි දින සහ 2015 වසරේ ජනවාරි 20 වෙනි දින දක්වා කාල සීමාව තුළදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්ව ”ලිට්‍රෝ ගෑස් සමාගම” විසින් ”කැන්විල් හෝල්ඩින්ස් සමාගම” සඳහා යෙදවූ රුපියල් මිලියන 500ක මුදලක් ”සෙලින්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා” නැමති සමාගමෙහි යෙදවීම තුළින් දණ්ඩ නීති සංග‍්‍රහය සහ පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි  චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ කේ.ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් 04 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 24ක් එල්ල කර ඇති අතර නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 63 දෙනෙකු නම් කර ඇත.

නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 92 ක් ද, නීතිපතිවරයා විසින් අධිචෝදනා පත‍්‍රය සමඟ ගොනු කර තිබේ.

අලූතින් ආරම්භ කිරීමට නියමිත ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනු කෙරෙන පළමු නඩුව මෙය බවද අධිකරණ වාර්තා සඳහන් කරයි.

 

උපුටා ගැනීම - මව්බිම     




2018-08-02
Advertisement

Find us on Facebook