English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන මඤ්ඤං !
රාවූෆ් හකීම් ආණ්ඩුවේ අධිකරණ ඇමැති ය. රාජපක්ෂ පාලනය අද වර්ධනය වී තිබෙන භයංකර තත්ත්වයේ හරය සහ ස්වරූපය යන දෙකම ලබා දීම පිණිස දිවා රෑ නොබලා දර දිය ඇදි උත්තමයෙකි. අලූත්ගම මුස්ලිම් විරෝධි ප‍්‍රහාරයෙන් ඔහුගේ ඇස් ඇරැණු බවක් පෙනුණි.

ප‍්‍රහාරයෙන් සතියකට පසු එනම් ජූනි 22දා ඔහු පුවත්පතකට කියා තිබුණේ ආණ්ඩුවේ රහස් ඔත්තු සේවා අද යුද්ධ කාලයේ දීට වඩා පස් ගුණයකින් විශාල බවය. ඔහු ඒ බව කීවේ වෙන කාරණයකට නොව අලූත්ගම, බේරුවල සහ දර්ගා ටවුන්හි බහුතරය වන මුස්ලිම් ජනයාට බොදු බලසේනාව විසින් උසිගන්වන ලද ජාතිආල පිරිස් විසින් මුදා හළ ප‍්‍රචණ්ඩත්වය ගැන කතා කිරීමට ය. අමාත්‍ය රවූෆ් හකීම් ඇසූ ප‍්‍රශ්නය වූයේ මෙච්චර රහස් ඔත්තු සේවයක් තිබියදීත් එම ප‍්‍රහාරය කල් ඇතිව දැන ගන්නට නොලැබුණේ නැත්දැයි යනු ය. එසේ නැතිව පස් යුද්ධ කාලයේ දීට වඩා පස් ගුණයක් විශාල ඔත්තු සේවාවක් පවත්වා ගෙන යන්නේ ඇයි දැයි ඇසීමට නොවේ.

ඇත්තෙන්ම යුද්ධ සමයේදීට වඩා පස් ගුණයක් විශාල රහස් ඔත්තු සේවාවක් අද ශී‍්‍ර ලංකාවේ තිබෙනවා නම් ඒ අහවල් එකකටදැයි ඇසූ දේශපාලනඥයෙකු ගැනද දැන ගන්නට නැත.

එම පුවත්පත් සාකච්ඡවේදීම අධිකරණ ඇමැති තවත් බය හිතෙන කතාවක් කීවේ ය. එනම් ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන්ට අනුව අලූත්ගම දී වෙඩි තබා මරා දමන ලද මුස්ලිම්වරුන් මිය ගියේ පිහි ඇනුම්වලින් යැයි ව්‍යාජ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් දී ඇති බව යි.

කොතැනක වෙඩි තබා මරා දැමුවත් මිනිස්සු මිනිස්සුම ය. වන්නියේ කැලෑවකදී පසුගිය අපේ‍්‍රල් 10 දින වෙඩි තබා මරා දමන ලද එල්ටිටීඊ සැකකරුවන්ගේ යැයි කියන ලද මළසිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ පවත්වන ලද්දේ සහමුලින්ම නීතියට පටහැනිවය. ඔවුන්ගේ මළසිරුරු ඥාතීන්ට භාර දුන්නේ ද නැත. එවිට අධිකරණ ඇමැතිවරයා කටක් හැර වචනයක් කීවේ නැත.

ඇත්ත වශයෙන්ම නම් ව්‍යාජ මරණ පරීක්ෂණ සෙල්ලම වැඩි පුරම කි‍්‍රයාත්මක වී ඇත්තේ පොලීසිය විසින් වෙඩි තබා මරා දමන ලද විවිධාකාර සැකකරුවන්ගේ මරණ සම්බන්ධයෙනි. අලූත්ගම දී වෙඩි තබා මරා දමන ලද මුස්ලිම් වැසියන්ට සාධාරණය ඉටු නොවූයේ ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තා සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්හි සාක්ෂි විනාශ කිරීම ගැන පිළිබඳව පාර්ලිමේන්තුවෙහි දී හාරා අවුස්සා ඇසූ විට අමාත්‍ය රවුෆ් හකීම් උත්තර දෙන්නට බයෙන් වාගේ අරවා මේවා කීවේ ය. ඇමැතිවරයකු බය ගන්වා හීලෑ කර ගැනීම රාජපක්ෂ මැර තත්ත්යේ පුංචි දැතිරෝදයක් පමණ ය.

අලූත්ගම දී මුදා හරින ලද මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් අවශ්‍යයැ’යි රවුෆ් හකීම් කී බව වාර්තා කළේ ඒඑෆ්පී නම් අන්තර් ජාතික මාධ්‍ය සේවාව ය. අපට ලංකාවේ පොලීසිය ගැන විශ්වාසයක් නැතැයි ද ඔහු කියා තිබුණි. එසේ නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශී‍්‍ර ලංකාවේ යුද්ධකාලීන මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණයක් දියත් කිරීමට විරුද්ධව රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග‍්‍රසය මුස්ලිම්වරුන් පාරට කැඳෙව්වේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන බවට ඇමැති රවුෆ් හකීම් එම ප‍්‍රකාශය කළ ජූනි 18දාම ජනාධිපති රාජපක්ෂ අලූත්ගම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වී යැයි ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කළේ ය.

ඒ පරීක්ෂණය කඩදාසි කැබැල්ලක් බවටවත් පත් වූයේ නැත. වර්ගවාදී කෝලාහලය ගැන නිසි පරීක්ෂණයක් පැවැත්වෙනු වෙනුවට සිදුව ඇත්තේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොදු බලසේනා හිතවාදීන් නිදහස් කිරීමට විරුද්ධ වූ නියෝජ්‍ය පොලිස්පති වී. ඉන්ද්‍රන්ගෙන් එළව එළවා පළිගැනීම ය. තමාට මරණ තර්ජන පවා එල්ල වන බව නි.පොලිස්පති ඉන්ද්‍රන් කියනවිට ආණ්ඩුවේ ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියන්නේ මරණ තර්ජන ඇත්නම් ඒවායින් ගැලවෙන අන්දම ඉන්ද්‍රන් දන්නා බව ය.

අන්තිමේ දී මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ දී කී ලෙස මිනිසාට තමා ගැන තේරුම් ගැනීමට අවස්ථාව පැමිණ තිබුණි. රවුෆ් හකීම් නායකත්වය දෙන ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අගෝස්තු 22දා ප‍්‍රකාශයක් කරමින් කීවේ 18 වන සංශෝධනයට ජන්දය දීම තම පක්ෂය කළ වරදක් බවයි. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම සනිටුහන් කළ එම සංශෝධනය ජනාධිපති රාජපක්ෂ ව්‍යවස්ථානුකූල ඒකාධිපතියකු බවට පත් කළ බව අපි දනිමු.

එය එසේ වන බව සිය ප‍්‍රජාව අලූත්ගමදී වර්ගවාදී ප‍්‍රහාරයකට මුහුණ දෙන තුරු මුස්ලිම් කොංග‍්‍රසය දැන සිට නැත.!

දැන් අනෙක් පැත්ත ය. එනම් බෞද්ධ භික්ෂූන්ගේ පක්ෂයක් ලෙස කලඑළි බැස අවසානයේ දී දැන් අමාත්‍ය චම්පික රණවක මහතාගේ පක්ෂය බවට ප‍්‍රසිද්ධියේම පත්ව ඇති ජාතික හෙළ උරුමය යි.

විධායක ජනාධිපති ධුරයේ බලතල තීරණාත්මක තුලන සහ සංවරණයන්ට යටත් කළ 17 වන සංශෝධනයට විරුද්ධ පළමු වෙඩි මුරය තිබ්බේ ඔවුන් ය. 17වන සංශෝධනයේ යාන්ත‍්‍රණය වූ ව්‍යවස්ථා සභාව කොට උඩ යවන ලද්දේ ජාතික හෙළ උරුමය විසිනි. සුළුතර පක්ෂ විසින් නම් කරන ලද ආචාර්ය ජයදේව උයන්ගොඩ 71 කැරැුල්ල සම්බන්ධයෙන් සිරගතව සිටීම නිසා ව්‍යවස්ථා සභාවට අයෝග්‍ය බවට හෙළ උරුමය පෙත්සමක් ඉදිරිපත් කළේ ය. ව්‍යවස්ථා සභාව පත් නොකර සිටීමට ජනාධිපති රාජපක්ෂට අවශ්‍ය වූ තුරුම්පුව එය බවට පත් විය. 17 වන සංශෝධනය අහෝසි කිරීම දක්වා එම අර්බුදය ගමන් කළේ ය. ස්වාධින කොමිෂන් සභා නැති භංගස්ථාන විය.

පසුගිය 03 දා ඉංගී‍්‍රසි පුවත්පතක් හා කතාබහකට එක් වූ හෙළ උරුමයේ නායක චම්පික රණවක කියා තිබුණේ ශී‍්‍ර ලංකාව යහමඟට ගැනීමට නම් අත්‍යන්තයෙන්ම ස්වාධීන වූ කොමිෂන් සභා තුනක් අවශ්‍ය වූ බවයි. ඒවා නම් මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම සහ දූෂණ සහ චංචා පිළිබඳ කොමිසමයි.

අමාත්‍ය රණවක කියන්නේ ශී‍්‍ර ලංකාවට ද ඉන්දියාවෙහි මෙන් ස්වාධීන සහ ප‍්‍රබල මැතිවරණ කොමිසමක් අවශ්‍ය බව ය. එපමණක් නොවේ. අධිකරණ පත්වීම් නිසි පරිදි කරනු පිණිස ස්වාධීන අධිකරණ කොමිසමක් අවශ්‍ය බවත් අගවිනිසුරු පත් කළ යුත්තේ සම්පූර්ණයෙන්ම සුදුසුකම් මත පමණක් බවත් ඔහු කියයි. දූෂණ සහ වංචා පිළිබඳ වත්මන් කොමිසම ඛේදයක් යැයි පවසන ඔහු කියන්නේ රටෙහි පාලනය සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇතිකිරීමට නම් මෙම පියවර වහාම ගත යුතු බව ය.

හරි පුදුම ය. 17 වන සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට පෙරමුණ ගත් ජාතික හෙළ උරුමය දැන් මෝහන නින්දෙන් ඇහැරී ඇතුවා වත් ද?

මේ හදිසි අවදිවීමට හේතුව දන්නා කෙනෙක් ඇත් ද?


සුනන්ද දේශප්‍රිය




2014-09-07
Advertisement

Find us on Facebook