English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ව්‍යවස්ථාව රැගෙන එන බස් එක ගිහින් ඉවරයි.” - මනෝ ගනේෂන්

ජාතික සාම මණ්ඩලය විසින් ජූලි මස 24 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලවේදී පවත්වන ලද ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විසින් පවත්වන ලද කතාව පහත සඳහන් වේ

“මේ රටේ උතුරේ දකුණේ රට කඩන්නට, රට බෙදන්නට, ජාතිවාදය අවුස්සන්නට විවිධ කණ්ඩායම් උත්සාහ කරන අවස්ථාවේදී අපි වගේ මිනිස්සු ඒ කඩන අයට බෙදන අයට අභියෝගයක් වෙලා තියෙන්නේ. අපි සැලෙන්නේ නෑ. පුළුවන් තරම් කඩන්න. අපි පුළුවන් තරම් හදනවා කියන පණිවිඩය ඒ අයට අපි දෙනවා. මේ රටේ සෑම ආගමකම ඉන්නවා ජාතිවාදය අවුස්සන අය. ඉතාම සුළු පිරිසයි ඉන්නේ. නමුත් අවාසනාවකට මාධ්‍ය ඒ සුළු පිරිසට ප‍්‍රසිද්ධිය ලබාදෙන නිසා රටේ ජනතාව අතර වැරදිලා හරි විශාල පිරිසක් ජාතිවාදය අවුස්සලා ආගම නායකත්වයක් දරනවාය කියන පට්ටපල් බොරු මතය රටට ගිහිල්ලා තියෙන්නේ.

මොකද අපි මුහුණ දෙන මේ ප‍්‍රශ්නය හංගලා කතා කරන්න  ඕන නෑ. මේක දේශපාලන ගැටුමක්. ඇත්ත ඒකයි. ඒක අවබෝධ කරගත්තොත් තමයි දේශපාලන වශයෙන් අපේ ස්වාමීන් වහන්සේලා විසඳුම හොයාගන්න විදිය ගැන කල්පනා කරන්න  ඕන. දැන් නම් අපි මේ ලෙඩේ තියෙන තැන හොයාගෙන තියෙනවා. ඒ නිසා මේ රටේ අන්තවාදීන්, ජාතිවාදීන්, බෙදුම්වාදීන්, ත‍්‍රස්තවාදීන්, රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ට ඔලූව උස්සන්න ඉඩ දෙන්නේ නෑ.

අර නුවර පැත්තේ අම්පාර පැත්තේ, ගිංතොට පැත්තේ, අවාසනාවන්ත සිද්ධීන් අපේ ආණ්ඩුව කාලේ සිද්ධ වුනා. ඉතාම කණගාටුවෙනවා, ලැජ්ජත් වෙනවා. නමුත් ඒවා හුදකලා සිදුවීම්. එකක් තේරුම් කරන්න  ඕනා. මේ අපේ පාලනය යටතේ ජාතිවාදීන්ට රාජ්‍ය ආශිර්වාදය නැත. ඒක තමයි ඒ ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි තියෙන ප‍්‍රධාන වෙනස. මම කියන්නේ නෑ අපේ ආණ්ඩුව හොඳම, සුන්දරම ආණ්ඩුව කියලා. හොඳම ආණ්ඩුව කියලා දෙයක් නෑ. ඒකට වඩා මේක හොඳයි. මේකව වඩා හොඳ ආණ්ඩුවක් අනාගතයේදී එන්න පුළුවන්. දිනපතා අපේ ආණ්ඩුව දියුණු වෙනවා. අපි ආපහු යන්න කල්පනා කරා නම් එතන අපි රටක් හැටියට ඉවරයි.

දැන් නිදහස තියෙනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා, මාධ්‍ය නිදහස තියෙනවා, පොලිසිය ස්වාධීනයි, අධිකරණය ස්වාධීනයි. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා තමයි, නමුත් සාපේක්ෂව බලන කොට, අපි දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා කවදාවත් නැවතත් හැරිලා බලන්න එපා කියලා මේ වැදගත්, උත්තරීතර සභාවට කියන්න කැමතියි. අපි ඒක තේරුම් ගන්න  ඕනා. වැරදි මොනවද කියලා හොයලා බලලා, ඒවා හදාගෙන ඉදිරිය බලන්න  ඕනා.

මේ ගමන ආරම්භ කළේ පුද්ගලයෝ පදනම් කරගෙන නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න  ඕන, මනෝ ගනේෂන්ලව ඇමති කරන්න  ඕන කියලා නෙමෙයි මේ ගමන ආරම්භ කළේ. පුද්ගල පදනම් මෙතන නෑ. දෙන්න බැරි අය එළියට යන්න  ඕන. අපේ ගමන අපි යනවා. මේ ගමනට එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නැත්නම් අනෙකුත් සෙසු පක්ෂවල්, පමණක් අයිතිවාසිකම් කියන්න බෑ. සිවිල් සමාජ, ආගමික නායකයින්ගේ සහයෝගය අපිට ලැබුනා. එහෙමයි මේ ආණ්ඩුව හැදුවේ. රටේ ජනතාව තුළ අපි දකින විවිධත්වය  ඕන තරම් මේ ආණ්ඩුව තුළ තියෙනවා.

මගේ අමාත්‍යංශය තමයි මේ රටේ තියෙන ගැඹුරුම දේශපාලන විශය දරන්නේ. ඒක දේශපාලන අමාත්‍යංශයක්. දේශපාලන පක්ෂ වලට විතරක් නෙමෙයි අපටත් තියෙනවා සටන් පාඨ. ”ශ්‍රී ලාංකිකත්වය අපේ අනන්‍යතාවය”. සටන් පාඨ පළවෙනි එක. දෙවෙනි එක ”එකම රට..හැමෝටම බලය.” අපි ළග සිංහලකම, දෙමළකම මුස්ලිම්කම තියෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධකම තියෙනවා. මේ සියල්ලට වඩා ප‍්‍රධාන ශ්‍රී ලාංකිකකම කියලා අපි හිතන්න  ඕන. සමහර අය භාෂාවට දෙවෙනි තැන දෙනවා, සමහර අය ආගමට දෙවෙනි තැන දෙනවා. සමහර අය ජාතියට දෙනවා. ඒක පෞද්ගලික කැමැත්ත. ඒ ගැන අපිට ප‍්‍රශ්නයක් නෑ. පළවෙනි තැන වෙන්න  ඕන අපේ රටට. දේශයට. එහෙම හිතලා පටන් ගමු. ඒක තමයි ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය.

මේ රටේ ජනවර්ග 19 ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් කියලා. නෑ තව 16 ක් තියෙනවා. විවිධත්වය තියෙනවා මේ රටේ. විවිධත්වය තුළ සිංහල භාෂාව කතා කරන ජනතාවත්, බෞද්ධ ජනතාවත් තමයි සංඛ්‍යාවෙන් බහුතර. ඒක තමයි යථාර්ථය. ඒක වෙනස් වෙන්නේ නෑ. සිංහල භාෂාව සුන්දර ලස්සන භාෂාවක්. මම කතා කරනකොට ඒ සුන්දරබව අඩුවෙනවද? වැඩිවෙනවද කියලා මම දන්නේ නෑ.

පළවෙනි වතාවට අපි ලබන 26 වෙනිදා 4000ක් පමණ වන දූදරුවන්, පාසැල් ළමුන් දෙමළ භාෂාව ඉගෙන ගත්ත ළමයින්ට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුනුත්,  විදුහල්පතිවරුනුත් කොළඹට කැඳවනවා. ඒ, බී, සම්මාන ලබාගත් ළමුන්ටත්, ජනාධිපතිතුමා, අගමැතුමා කැඳවලා සම්මාන දෙනවා. මොකද වැඩිහිටියන් භාෂාව ඉගෙනගන්නේ නැහැ. දැන් චක‍්‍ර ලේඛන යටතේ රාජ්‍ය යාන්ත‍්‍රණයට ඇතුල්වෙන නිලධාරීවරුන් පළමුවෙනි අවුරුදු 5 තුළ දෙමළ භාෂාව ඉගෙනගන්න  ඕන. දෙමළ අය සිංහල ඉගෙන ගන්න  ඕන. නමුත් ඒ ගොල්ලන් ඉගෙන ගන්නේ නෑ. බොරු කරනවා. ඇයි ඒ? රාජ්‍ය යාන්ත‍්‍රණය නැති වුනාට පසුව වෙන වෙන වුවමනාව තිබුනා ඒ ගොල්ලන්ට. කසාද බැඳපු නැති අය කසාද බඳින්න  ඕනා. බැඳපු අය ළමයි හදන්න  ඕනා. ගෙවල් ගන්න  ඕනා. වාහන ගන්න  ඕන. සාමන්‍ය බලාපොරොත්තු ඒවා. ඒ අතරේ භාෂාව ඉගෙන ගන්න කියන එක වදයක් වෙලා තියෙන්නේ. ඒකේ වෙනසක් කරන්න තියෙනවා. චක‍්‍ර ලේඛන අනුව ඒ ගොල්ලෝ ඉගෙනගන්න  ඕනා. බොරුව කරලා සහතික ගන්නවා. සහතික දෙන කොට මම ප‍්‍රශ්න අහනවා. දෙමළෙන් ඉගෙන ගත්ත අයගෙන් දෙමළෙන් අහනවා, සිංහලෙන් ඉගෙනගත්ත අයගෙන් සිංහලෙන් අහනවා. එතකොට අහුවෙනවා. දැන් මම වෙනසක් කරන්න යනවා. එක පැත්තකින් පුහුණුවීම් පටන් අරගෙන තියෙනවා භාෂා නිලධාරීන් වරුන්. දෙමළ, සිංහල අධ්‍යාපන සුදුසුකම් තියෙන අය අපි ලබාගෙන, ඒ අයට පරිඝනක තාක්ෂණය පුහුණුවීම් ලබාදීලා පරිවර්තකයන් වශයෙන් පත්වීම් දීලා රාජ්‍ය ආයතන වලට පත් කරනවා. ඇයි ඒ අයට පරිඝනක තාක්ෂණය ලබාදෙන්නේ ?. ලබාදෙන කාරණාව අපි මෘදුකාංග තාක්ෂණය ඇති කරන්න. දෙමළ භාෂාවෙන් ලියුමක් දැම්මනම් සිංහලෙන් එනවා. සිංහලෙන් දැම්මා නම් දෙමළෙන් එනවා.

එක දවසක් යනවා කාර්යාලයෙන් දෙමළෙන් ලියුමක් යවා ගන්නට. ටයිප් කරන්න මිනිස්සු නෑ. අකුරු දන්නේ නෑ. භාෂාව දන්නේ නෑ. මොනවත් කරන්න බෑ. මේ විදියට තත්ත්වයක් ඇති කලාම ඒ අයට පුළුවන් වෙනවා දවසට ලියුම් 20, 30 ක් යවන්න. මෙච්චර දවස් මම වැඩ කරන්න හිටියේ රාජ්‍ය නිලධාරීන් සිංහල අය දෙමළ ඉගෙන ගනියි, දෙමළ අය සිංහල ඉගෙන ගනියි කියලා. ඒ බලාපොරොත්තුවෙන් සිහින දැක දැක මට ඉන්න බෑ. එහෙම පුළුවන්. තව අවුරුදු 10ක් ඉඳලා කවදා හරි මේ රටේ රාජ්‍ය යාන්ත‍්‍රණයම ද්විභාෂා හැකියාවක් ලබාගනියි කියලා හිතුවා නම් කවදාවත් වෙන්නේ නැහැ ඒක. ඒ නිසා මම වෙනසක් කලා. ඒ වගේ දැන් අපේ රටේ දිස්ත්‍රික්ක 25 ක් තියෙනවා. 335 ක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තියෙනවා. 40 ක් විතර ද්වීභාෂා කොට්ඨාශ තියෙනවා. තවත් අපි හඳුනගෙන තියෙනවා, 75ක් විතර භාෂා දෙකම කතා කරන ජනතාව මිශ‍්‍ර වෙලා ජීවත්වෙන්නේ. ඒ ද්වීභාෂා කොට්ඨාශවල රාජ්‍ය සේවයට ඇතුල්වෙන නිලධාරීන් කවුරුත් දූරයට යන්න පෙරම භාෂා දෙකම දැන ගන්න  ඕන කියලා චක‍්‍ර ලේඛනය වෙනස් කරනවා අපි ළගදිම. මගේ දිස්ත්‍රීක්කය වන කොළඹ නගරයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක් තියෙනවා. දෙකම ද්වීභාෂා කොට්ඨාශ. අනික් තැන්වලට යන අය කමක් නෑ. යාපනයට යන අය දෙමළ විතරක් කතා කලාට කමක් නෑ. දකුණේ මාතර, ගාල්ල සිංහල විතරක් කතා කළාට කමක් නෑ. ප‍්‍රමුඛත්වය දෙන්න  ඕන මේකට තමයි. එහෙම තමයි භාෂා ප‍්‍රශ්නය විසඳන්න වෙන්නේ.

ඇයි භාෂා ප‍්‍රශ්නය අවසන් කරන්නේ යන්නේ. ජාතික ප‍්‍රශ්නය අවසන් කරන්න තමයි ව්‍යවස්ථාවක් සකස් කරන්න පටන් අරන් තියෙන්නේ. ව්‍යවස්ථා සභාවේ මම ඉන්නවා. ව්‍යවස්ථා පිළිබඳ මෙහෙයුම් කමිටුවේ මම ඉන්නවා. ඒ නිසා මම ඇත්ත දන්නවා. මම ඇත්ත කියනවා. ව්‍යවස්ථාව එන පාටක් නෑ. ව්‍යවස්ථාව රැගෙන එන බස් එක ගිහින් ඉවරයි. අවුරුදු තුනෙන් පසුව උත්සාහ අරගෙන වැඩක් නැහැ. ආව නම් හොඳයි. නමුත් එන්නේ නැහැනේ. බොරු කියන්න බැහැනේ ජනතාවට. ඒ නිසා ව්‍යවස්ථාව කියන්නේ ගහේ තියෙන කුරුල්ලා. අතේ තියෙන කුරුල්ලා තමයි දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙන භාෂාව පිළිබඳ වගන්තිය. ඒක මම ක්‍රියාත්මක කරන්න යනවා. භාෂා ප‍්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මා සමග සෙල්ලම් කරන්න එපා කියලා මම කියනවා. මම කලබල කරන්නේ නැහැ. නමුත් වැඩේ කරනවා.” 


සටහන

සුදේශ් ද සිල්වා

( විශේෂ ස්තූතිය ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමනාකරු සමන් සෙනෙවිරත්න මහතාට )


2018-08-01
Advertisement

Find us on Facebook