English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ජාතික සමගිය තිබුනානම් අපිත් ලෝකයේ දියුණු රටක්” - හිටපු ජනපතිනි

ද්‍රවිඩ අයට ඒ භාෂාව පාවිච්චි කරන්න අයිතියක් තියෙනවා. ආගම හින්දු නම් ඒ විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඕනෑම තැනකට ගිහින් ඒ ආගම අදහන්න අයිතියක් තියෙනවා. මගේ සිංහල, බෞද්ධකම අඩුවෙයි කියලා මම කොහෙත්ම හිතන්නේ නැහැ. ඒ සිංහල බෞද්ධ කම තව තවත් වර්ධනය වෙලා, මට ආඩම්බරයෙන් මම සිංහලයෙක්, මම බෞද්ධයෙක් කියලා කියන්න පුළුවන් වෙනවා ලෝබ නැතුව.”

වර්තමානයේ ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ බව ප‍්‍රකාශ කළේ  ජාතික සාම මණ්ඩලය විසින් ජූලි මස 24 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලවේදී පවත්වන ලද ජාතික අන්තර් ආගමික සමුළුව අමතමිනි. බණ්ඩාරනායක මහත්මිය විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

“…ජාතික සංහිඳියාව, ආර්ථික සංවර්ධනයට බලපාන්නේ කෙසේද? කියා මම පොදුවේ අදහස් කිහිපයක් ප‍්‍රකාශ කරන්නට කැමතියි. පළමුවෙන්ම මා සඳහන් කරන්නට කැමතියි විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ලොව පුරාම, රටවල් විශාල ප‍්‍රමාණයක් අතර ගැටුම් ඇතිවෙලා තියෙනවා. අන්තර්ජාතික ගැටුම් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් එක රටක් තුළ අභ්‍යන්තර ගැටුම් ඇතිවෙලා තියෙනවා අනන්තව අප‍්‍රමාණව. ඒවා ආයුධ සන්නද්ධ ගැටුම්. පහුගිය ශතවර්ෂ භාගය හෝ ඊට වැඩි කාලයක් තිස්සේ ලෝකය පුරාම ගැටුම් ඇතිවී තිබෙන්නේ ප‍්‍රධාන වශයෙන්ම එක් ජන කොටසක් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේ සටන් තුලින්.  

අපි දන්නවා ලංකාවේ උතුරු නැගෙනහිර ගැටුම් ඇති වුනේ ඒ වගේ ප‍්‍රශ්නයකට. ඔවුන්ට ජාතියක් හැටියට සිදුවුනු අපහසුකම් ලබා ගැනීමට ඔවුන් ප‍්‍රථමයෙන් සාමකාමීව සටන් කරලා ඒ ප‍්‍රශ්නවලට විසඳුම් දිගින් දිගටම නොලැබුනු විට, යුද්ධයක් දක්වා ඇදී ගියා. අන්තිමේදී ත‍්‍රස්තවාදී යුද්ධයක් බවට පත් වුනා. අපේ රටේ මහා විනාශ ඇති වුනා. තවමත් ඒ විනාශවලින් අපි ගොඩ ඇවිල්ලා නෑ. එක පැත්තකින් ආර්ථික, සමාජීය විනාශයන්. යුද්ධය නිසා වසර තිහක් තිස්සේ ඇති වුනු විනාශ වලින් අපි ගොඩ එන්නේ දැන්. නමුත් එපමණක් නෙමෙයි එය තවත් වර්ධනය කරන්නට, සමහර රජයන් දූෂිත විදියට රට පාලනය කළ නිසා ප‍්‍රශ්න තවත් වර්ධනය වුනා. ආර්ථික විනාශයන් සිදුවුනා.

අනෙක් පැත්තෙන් සමාජ විනාශය ජාතීන් අතර විවිධ ජනකොටස් අතර ඇති වුනු ක්‍රෝධයන්, තරහවල්, එකිනෙකා සම්බන්ධයෙන් ඇතිවුනු වේදනාවල් අනන්ත අප‍්‍රමාණව අපේ රටේ තියෙනවා. ඒවා විසඳන්නට ඒවාට ප‍්‍රතිකාර සපයන්නට මම හිතන්නේ දශක ගණනාවක් ගත වෙන්නට පුළුවන්. ලෝකේ හැම තැනම බැලූවත් එහෙම සිදුවෙලා තියෙනවා. තමන්ගේ අනන්‍යතාවය තමන්ට අවශ්‍ය වෙනවා. තමාගේ භාෂාව, තමාගේ ආගම, තමාගේ සංස්කෘතික සිරිත් විරිත් අනුව තමන්ට ප්‍රෞඩත්වයෙන් ජීවත්වන්නට, නිදහසේ ජීවත්වන්නට, නිදහසේ ඒවායේ යෙදෙන්නට අවශ්‍යතාව තියෙනවා. අපේ රට දිහා බැලූවොත් ( අපේ රටේ පමණක් නෙමෙයි හුගක් රටවල මේක වෙලා තියෙනවා) එක් ජනකොටසකට තමන්ගේ යම් අයිතිවාසිකම් ලැබුනේ නැති නිසා තමයි අන්තිමට ඒවා දුරදිග ගිහිල්ලා ගැටුම් ඇති වුනේ. ඒ තමන්ගේ අනන්‍යතාවයට අවශ්‍ය තැන ලැබුනේ නැහැයි කියලා ඒ අය හිතපු නිසා.  එය හරි හෝ වැරදි වෙන්න පුළුවන්.

අපි පුද්ගලයන් හැටියට, ජනකොටස් හැටියට, රටක් හැටියට, තමාගේ රටේ ජීවත් වෙන, සියලූ දෙනාගේම, විවිධත්වය, පිළිගන්නට හැකිවෙන්න  ඕන. ඒ විවිධත්වය සමරන්නට අපිට හැකි වෙන්න  ඕන. ඒ විවිධත්වය ප‍්‍රතික්ෂේප කරන්නේ නැතුව විවිධත්වය දෑතින් අරගෙන එය සමරන්නට අපිට ශක්තියක් තියෙන්න  ඕන. එසේ කිරීමෙන් තමාගේ අනන්‍යතාවය, තමාගේ ජාතිය, තමාගේ ආගම, කිසිසේතම හානි වෙයි කියලා අපි හිතන්නේ නෑ. අපි සියයට හැටපහක් විතර ඉන්න සිංහල බහුතරය හැටියට, සියයට හැත්තෑවක් විතර ඉන්න බෞද්ධයන් හැටියට, ද්‍රවිඩ, ඉස්ලාම්, බර්ගර්, මැලේ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ඒ සියළුම අනන්‍යතාවයන් පිළිගත්තා කියලා සිංහල බෞද්ධයන්ට කිසිම අඩුවක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපි ඒ ආකාරයට අනෙක් කෙනාගේ වෙනස, ප‍්‍රතික්ෂේප නොකර බාරගත්තා නම්, එය අගය කරන්න පුළුවන් නම්, අපේ අනන්‍යතාවය තව තවත් ශක්තිමත් වෙනවා මිසක්, වර්ධනය වෙනවා මිසක් දුර්වල වෙනවා කියලා මම හිතන්නේ නැහැ.

ද්‍රවිඩ අයට ඒ භාෂාව පාවිච්චි කරන්න අයිතියක් තියෙනවා. ඇගේ ආගම හින්දු නම් ඒ විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.  ඕනෑම තැනකට ගිහින් ඒ ආගම අදහන්න අයිතියක් තියෙනවා. ඒවා පිළිගැනීමෙන් මගේ සිංහල, බෞද්ධකම අඩුවෙයි කියලා මම කොහෙත්ම හිතන්නේ නැහැ. ඒ සිංහල බෞද්ධ කම තව තවත් වර්ධනය වෙලා මට ආඩම්බරයෙන් මම සිංහලයෙක්, මම බෞද්ධයෙක් කියලා කියන්න පුළුවන් වෙනවා ලෝබ නැතුව.

අනික් පැත්තෙන් 83 කළුජූලිය වෙලාවේ වාගේ මම ගිහිල්ලා දෙමළ මනුස්සයෙකුගේ ඇගට පෙට්ට‍්‍රල් වක් කරලා ගිනි තිබ්බා නම්, ( මගේ ඇස් දෙකට මම දැක්කා ඒක වෙනවා.ස්වාමීන් වහන්සේලාත් සිවුරු දාගෙන ගිහින් දෙමළ කඩ පිච්චුවා) ඒ වාගේ මම කෙරුවා නම් මම හොඳ කළු සිංහලයෙක් කියලා ආඩම්බරවෙන්න පුළුවන් ද?. මම නම් හිතන්නේ නැහැ. කවදා හරි ඒක කැරකිලා ඇවිල්ලා මට වදිනවා. බෞද්ධයෙක් හැටියට, බෞද්ධ ධර්මය අදහන කෙනෙක් හැටියට ඒකේ ඵල විපාකත් මට විඳින්න වෙයි කියලා මට හිතෙනවා. ඒක නිසා මම හිතන්නේ අනික් කෙනාගේ විවිධත්වය, අනික් කෙනාගේ වෙනස ආදරයෙන් බාරගෙන, ආදරයෙන් පිළිගෙන එය සමරන්නට පුළුවන් නම්, ඔයා එකක්, මම එකක් නමුත් අපි දෙන්න එකතුවුනහම ඊට වැඩිය ශක්තිමත් දෙයක් කියලා ඒක අපිට සමරන්න පුලූවන් නම් ඒක අපේ ශක්තිය වෙනවා. අපි හුඟ දෙනෙක් මේ ගැන කතා කෙරුවට, දේශන කෙරුවට, මම හිතන්නේ බොහොම ටික දෙනයි ඒක පිළිගන්නේ.

මම අනන්ත අහලා තියෙනවා අඩුපඩි ගෙව්වත්  රජයේ රැකියාවක් කරන්න තමයි බොහෝ දෙනක් උත්සාහ කරන්නේ. ඊට වැඩිය දෙගුණ තෙගුණ ගෙව්වත් පෞද්ගලික අංශයේ ඒවට යන්නේ නැහැ. දැන් පෞද්ගලික අංශයේ ආයතනවල රජයේ රැකියා තරම්ම සහතික තියෙන රැකියාවල් තියෙනවා. නමුත් මේ ඇයි? හිතුන වෙලාවට වැඩට ගිහිල්ලා, වැඩ නොකර පඩි ගන්න පුළුවන්. කැමති නම් හොරකම් කරන්නත් පුළුවන්. අද මේක මේ රටේ ලොකුම ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මම ජනාධිපතිනිය වෙලා හිටපු කාලෙත් කියනවා අන්න අතන දෙමළ මනුස්සයෙක්ට රැකියාවක් දෙන්න හදනවා, අන්න මුස්ලිම් කෙනෙක්ට දෙන්න හදනවා කියලා. දැන් සිංහල දහදෙනෙක්ට දීලා එක දෙමළ කෙනෙක්ට හරි එක මුස්ලිම් කෙනෙක්ට හරි දෙන්න ගියාම මේක ප‍්‍රශ්නයක් වෙනවා. එතන හිටපු ගමන් ජාතිය එළියට එනවා, ආගම එළියට එනවා. ඇයි අපිට කියන්න බැරි සිංහල දොළොස් දෙනෙක්ට දෙනවා නම්, එක අනික් අයට දුන්නම මොකද වෙන්නේ?. ඒ ගොල්ලොත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්. රජයේ සේවයට දෙමළ, මුස්ලිම් අය අවශ්‍යයි. මේ ආකල්පය නිසා හාමුදුරුවනේ අද මම සභාපතිත්වය දරණ මේ ආණ්ඩුවෙන් සංහිඳියාව පිළිබඳ පළවෙනි වතාවට පුළුල් වැඩ පිළිවෙළක් ආරම්භ කලා. රජයේ අනුමැතිය ඇතිව. මගේ ආණ්ඩුවෙනුත් සංහිඳියාව පිළිඅරගෙන වැඩ කෙරුවට වැඩි දෙයක් කරන්න වුනේ නැහැ. පළවෙනි වතාවට ජාතික සමගිය හා සංහිඳියාව අමාත්‍යංශයක් හැදුවේ මම. නමුත් අපිට වැඩි වැඩකොටසක් කරන්න බැරි වුනා යුද්ධය නිසා. කෙසේ වෙතත් අපි ගණන් හිළව් බැලූවා ආණ්ඩුවේ ආයතනවල මොකද අපිට කොයි වෙලාවෙත් එන චෝදනාවක් තමයි කව්රු හරි දෙමළ පුරවැසියෙක් තමාගේ භාෂාවෙන් ලිපියක් ලිව්වම (රජයේ ආයතනයකට, දෙමළ පුරවැසියෙක්ට තමාගේ භාෂාවෙන් වැඩ කරන්න අපේ රටේ ව්‍යවස්ථාව අනුව අයිතියක් තියෙනවා.) හුගක් වෙලාවට පිළිතුරු එවන්නේ නැහැ. පිළිතුරු එනකොට එන්නේ සිංහලෙන්. මොන ලැජ්ජාවක්ද? මොන නිග‍්‍රහයක් ද?. මම රජයේ ආයතනකට ලිපියක් ලිව්වම මට දෙමළ භාෂාවෙන් හරි, ප‍්‍රංශ භාෂාවෙන් හරි, ග්‍රීක් භාෂාවෙන් හරි උත්තරයක් ආවොත් මම ඒ මිනිහට දමළ ගහනවා.

1983 න් පසුව යුද ගැටුම් ඇති වුනා. ජනතාව වතුකරයේ දෙමළ ජනතාව හැර අනෙකුත් දෙමළ කොටස් ලක්ෂ දොළහක් හිටියා. වතු කරයේ හිටියා තවත් ලක්ෂ දහයක් දොළහක්. වතුකරයේ දෙමළ ජනතාව හැර අනෙකුත් දෙමළ ජනතාව හත්ලක්ෂ පනස් දාහක් රට අතහැරලා ගියා. මේ අය අතර මේ රටේ වැඩිම අධ්‍යාපනය ලබපු, වැඩිම දක්ෂ, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු, විද්‍යාඥයෝ, ( සමහරු නාසා ආයතනයේ සේවය ගියා. එක් අයෙක් එහි සභාපති වුනා.) ලංකාවේ හිටියනම් අපි කොහොම දියුණු වෙනවාද?

කරන්න පුළුවන් වෙන්නේ මේ බෙදුනු කොටස් විවිධ වැඩසටහන් තුළින් ක්‍රියාකාරකම් තුලින් ඒකරාශී කිරීමයි. ඒ අය අතර පාලම් තැනීමයි. අපිට සදාකාලික සාමයක්,දිගු කාලීන සාමයක්  මේ රටේ ඇති කරන්න පුළුවන් වෙන්නේ අවබෝධය තුළින් සංහිඳියාව ඇති කිරීම, තුලින් පමණයි. නමුත් අපි එක දෙයක් කළ යුතුයි. මේ රටේ ජීවත්වන අනෙක් ජාතීන්ට, ආගමීක කොටස්වලට තමන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම නීතියෙන්, තහවුරු කරදීම. රටේ උත්තරීතරම නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා එය කළ යුතුයි. එහෙමනම් අපේ රටේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් අවශ්‍යයි. එහෙම නැත්නම් අලූත් අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ සඳහා අපි සියලූ දෙනාම හඩ නගන්න  ඕන. මේ රජය කරනවා කියලා කියනවා. ඉතාමත් හිමින් හිමින් යන්නේ. එය සිදුවුනොත් ජාතික සමගියට විශාල රුකුලක් වෙනවා. මේ රජය පත්වුනාට පස්සේ මේ වගේ වැඩ කරන ආයතන නිදහසේ වැඩ කරනවා. මේ වැඩ කටයුතු නව ව්‍යවස්ථාවක් සමග ඉදිරියට යාමට හැකි වුනොත් ලංකාව දියුණුම රටක් හැටියට ඉදිරියට යන්නට පුළුවන් වෙනවා. ලෝකයේ වැඩිම අධ්‍යාපනය ලබපු ජනගහනයක් ඉන්න රටක් මේක. ඒ නිදහස් අධ්‍යාපනය නිසා.

ලෝකයේ වැරදි මතයක් යනවා අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සාමයට විරුද්ධයි කියලා. මගේ විදෙස් ගමන්වලදී මම එය අත්දැකලා තියෙනවා. ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණවලට සාකච්ඡාවලට මම සහභාගි වෙනවා. ඒවා වලදී මට මේවා අහන්න ලැබෙනවා. සාමකාමී ආගමක්වන බෞද්ධාගමේ භික්ෂූන් වහන්සේලා සාමයට විරුද්ධ වෙන්නේ ඇයි කියලා. මම ඒ අවස්ථාවේදී කියන්නේ බහුතර භික්ෂූන් වහන්සේලා සාමයට විරුද්ධ නෑ, සාමය වෙනුවෙන් සටන් කරනවා.

 

සටහන - සුදේශ් සිල්වා

(විශේෂ ස්තුතිය - ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකරු සමන් සෙනවිරත්න)




2018-07-31
Advertisement

Find us on Facebook