English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


උතුරේ ජනතාවට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලන දරු මුනුපුරෝ දොළොස් දෙනෙක් හමුදාවේ සිටි සිංහල අම්මා

පුංචාගේ කළුමැණිකා මාතාව, පසුගිය ජූලි 4 වැනිදා ඇය පසු කළේ සිය දිවි මඟෙහි 106 වන වසරය. මැනවින් ඇස් පෙනෙන, කන් ඇසෙන, අවදි සිහියෙන් පසු වන ඇය, තනිව උයා පිහාගෙන කමින්, බස්රියෙන්-පයින් ගමන් බිමන් යමින් නිවී සැනසිල්ලේ ජීවත් වෙයි. ඇය පදිංචිව සිටින්නේ මැදවච්චිය සංගිලි කන්දරාව ගම්මානයේය. දියණියන් හය දෙනෙකු සහ පුතුන් සිව් දෙනෙකු ලෙස ඇයට දරුවන් දස දෙනෙකි. ඉන් බාල පුතු යුධ හමුදා සේවයේ යෙදී සිටියදී මියගොසිනි. ඇය, පරම්පරා තුනක දරු මුනුපුරන් 150ට අධික පිරිසකගේ සාඩම්බර මිත්තණියකි.

කළුමැණිකා මාතාව අදටත් ජීවත් වන්නේ දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා විසින් 1945 වර්ෂයේ ලබා දුන් නිවසකයි. ඇය අවස්ථා කීපයකදී මේ නිවස අලුත්වැඩියා කර ඇත.

"මම එදා මේ ගෙදරට එද්දී හිතා ගත්තා මම මැරෙන කම් මේ ගෙදරින් යන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි දරු, මුනුපුරෝ කොච්චර කතා කළත් මම මේ ගෙදරින් යන්නේ නැත්තේ. මට මේ ගේ වාසනාවක්. මම සතුටින් මේ ගෙදර ඉන්නේ. නමුත් මට මේ ගේ අහිමි වෙන ආරංචියක් දැන් දැන් ප්‍රචාරය වෙනවා. මේ ගේ උඩින් ඇළක් යනවලු. පුළුවන් කමක් තියනවා නම් මේ ඉන්න ටික දොහෙත් මට මේකෙම ඉන්න ඉඩ දෙන්න කියලයි මම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ.

ඒ වාගෙම, අපේ ගමෙත්, රටේ තැන් තැන්වලත් ඉන්නවා යුද්දෙ නිසා ගේ දොර අහිමි වුණ උදවිය. මට මේ ගේ නැති වෙන්න යද්දී දැනෙන දුක මම දන්නවා. ඒ වගේම යුද්ධය නිසා ගේ දොර අහිමි වුණ අයට මොන තරම් දුකක් ඇද්ද? මට මතක් වෙනවා මගේ තරුණ කාලේදී , හාල් සේරුවක් ශත තුනේ කාලේ යාපනේ මිනිස්සු ඒ අයගේ වගාව මෙහෙට ගෙනැත් දීලා, අපේ හාල් පොල් වගේ දේවල් එහාට අරන් ගියා. ඒ වගේ සම්බන්ධකම් ආයේ ඇති වෙන්න ඕනෑ. එහෙම වෙන්න නම් ඒ අයගේ ගේ දොර ඉඩකඩං දෙන්න ඕනෑ. ආන්න ඒක තමයි යුතුකම.

මේ ආණ්ඩුවට, අගමැති රනිල් මහත්තයට උවමනාවක් තියනවා ඒ අයගේ ගේ දොර වතු පිටි දෙන්න. අදත් උදේ රේඩියෝවේන් කියනවා ඇහුණා, අගමැතිතුමා යාපනේ ගිහින් ඒ අයගේ ඉඩම් නිදහස් කරලා දෙනවා කියලා. කිය කියා ඉදලා වැඩක් නැහැ ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕනෑ."අවුරුදු එකසිය හයක් පැරණි ඇගේ හදවත කෙතරම් පිවිතුරුද? අකුරු ශාස්ත්‍රය නූගත් නමුත් ඇය දැනුමෙන් හා දැක්මෙන් කෙතරම් නූතනද? ඇගේ අදහස් අප මවිත කරවීය. යුද්ධය ගැනත් උතුරේ මිනිසුන් ගැනත් ඇය තුළ ඇති මේ සංවේදී බවෙහි අක් මුල් තවත් පාදා බලන්නට අපට සිත් විය.

"පුතේ, මටත් ලොකු අයිතියක් තියනවා යුද්දේ ගැන කතා කරන්න. මොකද මගේ දරු මුනුපුරෝ දොළොස් දෙනෙක් හමුදාවේ වැඩ කළා. ඉන් මගේ බාල පුතා මට නැති වුණේ යුද්දේ නිසයි. ඒ වගේම මගේ මුනුපුරෙකුත් යුද්දෙන් අතුරුදහන් වුණා. ඔය පත් කරපු කොමිසමටත් මං ගිහින් කිව්වා මයෙ කොල්ලට වෙච්චි දෙයක් හොයල කියන්න කියලා. ආයේ මේ වගේ දෙයක් වුණොත් අපි වගේ අහිංසකයෝ තමයි ඒකට බිලි වෙන්නේ. ඔය තීරණ තීන්දු ගන්න ලොකු ලොක්කන්ගේ දරුවෝ මේවට බිලිවන්නේ නැහැ පුතේ .......මේ ඇත්ත හැම දෙනාම අවබෝධ කර ගත්තොත් හොඳයි මයෙ පුතේ.

මෙය මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න විසින් පුවත් පතකට ලියු ලිපියකින්  උපුටා ගන්නා ලද්දකි.




2018-07-26
Advertisement

Find us on Facebook