English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


OMPයට උතුරෙන් එන පීඩනයයි, දකුණේන් එන පීඩනයයි අතර පරතරයක් තිබෙනවා

1980 අග බාගයේ දකුණේ දී අතුරුදහන් වූවන් ගැන කිසිඳු සොයා බැලීමක් සිදුවූයේ නැත. තිස් වසරක යුද්ධයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් තොරතුරු විමසන උතුරේ, නැගෙනහිර ජනතාව වරින් වර උද්ඝෝෂණයන් පවත්වමින් සිටිනවා. ජාත්‍යයන්තර ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් රජයට විවිධ යෝජනා ගෙන ආවත්, 2018 වනතුරු ඊට සහනදායී පිළිතුරක් ලැබුනේ නැත.

මීට මාස හතරකට පෙර රජය විසින් අතුරුදහන්වූවන් සෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කරන්නට යෙදුනා. මෙම කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් දකුණේ මෙන්ම උතුරේද විවිධ අදහස් මෙන්ම විරෝධතාවයන් ද මතුවුනා. වර්තමානයේ දී එම කාර්යාලය උතුරේ මෙන්ම දකුණේ ද වින්දිතයන් හමුවෙමින් ඔවුන්ගේ ගැටළුවලට සවන්දීමක් සිදුකලා. අතුරුදහන් වූවන් සෙවිමේ කාර්යාලය විසින් උතුරේ තැබූ වැඩසටහන් වලදී කොමසාරිස්වරුන් හට විරෝධතාවයන්ටද, මුහුණදීමට සිදුවුනා. කාර්යාලයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එහි සමාජිකා නීතිඥ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය අයිතිය වෙබ් අඩවිය සමග සිදුකරන ලද සාකච්ඡාවක උදෘතයන් කිහිපයක් පහත දැක්වේ.

“ අපේ විෂය පඨය ගත්තොත් අපිට පැවරී තිබෙන වගකීම තමයි සත්‍ය සෙවීම කියන ප‍්‍රධාන රාමුව තුළ ක්‍රියාත්මක වීම. සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ලංකාවේ රජය පිහිටුවූ ප‍්‍රථම කාර්යාලය මෙයයි. තව කිහිපයක් ස්ථාපිත කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා. අපි ඒ කාරණාවට සැලකිල්ල ගත්තොත් සත්‍ය සෙවීමේ කාරණාවේදී අපට පැවරී තිබෙන්නේ අතුරුදහන් වූ කෙනාට කුමක්ද සිද්ධවුනේ කියන කාරණාව සම්බන්ධයෙන් විමර්ශනය කරන්න. ඒ විමර්ශනයේදී සාක්ෂි විමසීම, කුමක්ද සිදුවුවේ කියලා තොරතුරු සොයාගත්තයින් පසුව මේ දරුවා ඉන්නවද නැද්ද ? මෙයා පුනරුත්තාපනය කරලා නිදහස් වූ කෙනෙක්ද? යන්න යුද්ධය සිද්ධ වූ කාලය හා යුද්ධයට ආසන්නයේ කාලය තුළ අපිට සොයා බලන්න තියෙන්නේ.”

“දැන් 89 කාල වකවානුවේ සිදු වීම් ගත්තොත් මේ වන විට තිබෙන ඉල්ලීම වෙනස්. දැන් අපි මාතරට ගියාම දෙමව්පියෝ ඉතා විශාල ලෙස තම අත්දැකීම් බෙදා ගත්තා අපි සත්‍ය කොමිසමක් වගේ. වසර ගණනාවක් මේ ක්ෂේත‍්‍රයේ වැඩ කරපු මානව හිමිකම් ක්‍රියාදරයෙක් හැටියටත්, දකුණු අප්‍රිකාව සහ වෙනත් රටවල අපේ අත්දැකීම් දෙස බැලීමේදීත්, මට සිහිවුනේ ඒ අය දැන් බය නැතුව කතා කරනවා. එක අත්දැකීමක් තමයි, මම 1990 ගණන්වල ඉඳන් දන්න අම්මා කෙනෙක් හමුවුනා මේ අවස්තාවේදී. 2018 අපේ රැස්වීමේදී තමයි මම එයාගේ ඇත්ත කතන්දරය දන්නේ. එයා තාමත් පොලිසියට ගිහින් පැමිණිලි කර නැහැ. ඒ අවස්ථාවේදී මතු වූ බලහත්කාරී තත්ත්වයක් නිසා. ඒ අය කිව්වා අපිට දැන් බය නැතුව කතා කරන්න පුළුවන් කියලා. ඒ අයගේ පොදු කාරණාව තමයි අපිට කව්රුවත් වගකිව්වේ නැහැ කියන එක. "............. කිසිම රජයක්, කිසිම රාජ්‍ය නායකයෙක් වගකීමක් දැරිවේ නැහැ අපි ගැන. අපි අපේ දරුවා ගැන හෙව්ව විතරක් නෙමෙයි අපේ මුළු ජීවිතේම කඩා වැටුනා. ඉගෙන ගන්න හිටපු දරුවගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා නිසා අපි දැන් දුප්පත් වෙලා. ඉගෙන ගනිමින් හිටපු දරුවා අපිව බලාගනියි කියලා හිතුවා ඒ නිසා අද අපි අනාථ වෙලා........ ” කියල ඔවුන් කිව්වා.”

“උතුරෙ පවුල් සාමාජිකයින් කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ තිබුනු බලාපොරොත්තු නැතිවුනා විතරක් නෙමෙයි අනාගතය ගැන තියෙන බලාපොරොත්තුත් සුන්වෙලා තියෙන්නේ කියල. පවුල්වල සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳ තත්ත්වය ඉතා ප‍්‍රබලව මතුවෙනවා ඔවුන් මෙය සත්‍ය ගවේශන කොමිසමක් කියලා හිතන නිසා.  උතුරේ විශේෂයෙන්ම හමුදාවට බාරදුන් දරුවන් පිළිබඳ කාරණාවේදී, ඒක සත්‍ය සෙවීම හෙවත් බාරදුන් ළමයට මොකද වුනේ කියන කාරණාව ප‍්‍රබලව මතුවෙනවා. දකුණේ 80,90 කාලවල ඉඳලා අතුරුදහන් වූ අම්මලාගේ ඉල්ලීමවලදී අපිට එන පීඩනයයි, උතුරේ හමුදාවට බාර දුන් දරුවන් සම්බන්ධයෙන් අම්මලාගෙන් එන පීඩනයයි අතර පරතරයක් තියෙනවා. මේවා තමයි මම දකින්නේ අපි මුහුණ දිය යුතු කරුණු හැටියට.”

අතුරුදහන්වූවන්ගේ සෙවීමේ කාර්යාලය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය, 

“දැන් හැමෝම දන්නවා අතුරුදහන්වුවන්ගේ කාර්යාලයක් තියෙනවයි කියලා. මිනිස්සු ඉක්මනට වාහනයේ අංකයයි, කව්ද ආවෙයි කියලා සොයයි කියලා විශ්වාසයක් මට තියෙනවා. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම හරහාම මිනිස්සුන්ගේ පැත්ත ශක්තිමත් කරලා තියෙනවා. අනික් පැත්තෙන් බය නැතුව මැදිහත්වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවා ගැනත් අපි කල්පනා කරන්න  ඕන. නැවත ඇති නොවීම සඳහා අපි පහුගිය සිද්ධීන් බලලා අපිට තියෙනවා වගකීමක් යෝජනා කරන්න. අත්අඩංගුවට ගත්ත මිනිස්සු නැතිවෙලා තියෙනවා. බාර වුනු මිනිස්සු නැතිවෙලා තියෙනවා. ඒවා ගැන හොයලා බලන්න  ඕනා. ”




2018-07-26
Advertisement

Find us on Facebook