English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


කළු ජූලිය: 1983 දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයේ තිස්පස් වැනි සංවත්සරය (2) - ඩී.බී.එස්. ජෙයරාජ්


මදාවියන් සහ කුලී මැරයන්

බොහෝ තැන්වල මේ මදාවියන් සහ කුලී මැරයන්ව ප‍්‍රවාහණය කෙරුණේ ලංගම බස්වලින් සහ අර්ධ-රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලිනි. මොවුන්ට බත් පැකට් සේම අරක්කු ද සපයන ලදී. විනීතකමක් ඇති එක්සත් ජාතික පක්ෂ නායකයන් වූ ෂෙල්ටන් රණරාජා සහ රේණුකා හේරත් රණසිංහ නුවර සහ නුවරඑළිය පළාතේ මෙවැනි මැරවරයන්ව පොලිස් අත්අඩංගුවට පත් කිරීම සඳහා කටයුතු කළ අතර සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක මැදිහත් වී ඔවුන්ව නිදහස් කර ගත්හ. සිරිල් මැතිව් සහ ඔහුගේ දේශපාලනික ගැත්තන් මේ කෝලාහලය තුළ කළ කී දෑ කවුරුත් දනිති. මේවාට සම්බන්ධ ඇතැම්හු තවමත් දේශපාලනයේ නිරතව සිටින අතර ඉන් ඇතැමෙක් ඉහළ තනතුරු හොබවති.

1983 ජූලි මාසයේ හටගත් තත්වය ඉබේ ඇති වූ දෙයක් නොව. එය හිතාමතා ඇති කළ ජන සංහාරයකි. ජන සංහාරයක් යනු, ආණ්ඩුවේ හෝ හමුදාවේ බලධාරීන්ගේ අනුමැතිය හෝ ආශිර්වාදය ඇතිව, විශේෂිත ජන කණ්ඩායමකට එරෙහිව දියත් කොට එම ජන කණ්ඩායම ඝාතනය කරනු ලබන, ඔවුන්ගේ දේපල ඇතුළු ව්‍යාපාරික සහ ආගමික ස්ථාන විනාශ කරනු ලබන, මහ පරිමාණ ප‍්‍රහාරයකි.

කල්තියා සැලසුම් කළ කුමන්ත‍්‍රණය

83 ජූලි ප‍්‍රචණ්ඩත්වය ඇතිවීමට කලින්, දෙමළ ජනතාවගේ ජීවිත සහ දේපළ ඉලක්ක කොට රට පුරා ප‍්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් සකස්වෙමින් තිබුණි. ඒ සැලසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කෙළේ, ගිනි අවුළුවන යම් සිද්ධියක් පමණි. තිරුනෙල්වෙලි හංදියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීම, එ් සඳහා පාවිච්චි කළ හැකි මනා අවසරයක් විය. මේ ජූලි විනාශයට ටික දවසකට කලින්, වව්නියාවේත්, ත්‍රිකුණාමලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේත් දෙමළ ජාතිය ඉලක්ක කොට මෘග ප‍්‍රහාර දියත් කෙරුණු බව අමතක නොකළ යුතුය. එ් අරුතින් ගත්විට, 1983 ජූලි විනාශය වූ කලී, එ් වනවිටත් ඇතිවෙමින් තිබූ වර්ගවාදී ප‍්‍රහාර මාලාවක අවසාන අග්‍රඵලයකි.

ජේ.ආර්. ජයවර්ධන මෙය සිංහල ජනතාවගේ ඇඟේ ගැසීමට බැලුවත්, පිළිගත් දේශපාලන නිරීක්ෂකයෙකු වන, ‘නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසමේ’ සාමාජිකයෙකු වන පෝල් සියෙග්හාට්, ශ‍්‍රී ලංකාව පිළිබඳ තම වාර්තාවක් තුළ මෙසේ ලියා තිබේ: ‘මෙය සිංහලයන් තුළ තිබූ ජාතිවාදී වෛරයක පුපුරා යාමක් නොවන බව ඉතා පැහැදිළිය. එසේම, සමහරුන් කියන පරිදි, උතුරේ ඝාතනයට ලක්වූ සෙබළුන් 13 දෙනාගේ සිද්ධියට ප‍්‍රතිචාරයක් වශයෙන් ස්වාභාවිකව ඇති වු සිද්ධියක් නොවන බවත් ඉතා පැහැදිළිය. එ් සොල්දාදුවන් ඝාතන සිද්ධිය පිළිබඳ ප‍්‍රවෘත්තිය මේ මහා විනාශය හටගන්නා අවස්ථාව වනවිටත් මාධ්‍ය තුළ වාර්තා වී නොතිබුණි. එ් වනාහී, හිතාමතා සැලසුම් කළ, එම සැලසුම ප්‍රකාරව ක‍්‍රියාවට නැංවූ, වැඩපිළිවෙලකි.’

1983 ජූලි විනාශයෙන් පසුව ප‍්‍රකාශයට පත් එක් වැදගත් පොතක් තිබේ. එය ලියා ඇත්තේ එල්. පියදාස නැමැත්තෙකි. පොතේ මාතෘකාව වන්නේ ‘ශ‍්‍රී ලංකාව: මහා ජන සංහාරය සහ ඉන් අනතුරුව’ යන්නයි. එල්. පියදාස යනු රෙජී සිරිවර්ධන විය යුතු යැයි එදා මම සිතුවෙමි. පසු කලෙක මෙය මා ඔහුගෙන් විමසන ලදුව ඔහු එය ප‍්‍රතික්ෂේප කෙළේය. මෙහි සැබෑ කතුවරයා මට සොයා ගැනීමට හැකි වුණේ, ප්‍රකට ලේඛක, පර්යේෂක සහ සමාජ ක‍්‍රියාකාරී, සී.ආර්. හෙන්ස්මන් මියගිය අවස්ථාවේය. ඔහු ලියූ පොත් කිහිපයක් මා කියවා තිබූ අතර, ‘ජාත්‍යන්තර වාර්ගික අධ්‍යයන කේන්ද්‍රය’, ‘මාර්ග ආයතනය’ සහ ‘සමාජය හා සාමයික කේන්ද්‍රය’ වැනි තැන්වලදී කිහිප විටක් කොළඹදී මට ඔහුව මුණගැසී තිබුණි. එල්. පියදාස යනු ඔහු බව ඔහුගේ මරණයෙන් පසුව මට සැළ කර සිටියේ ඔහුගේ දියණිය වන රෝහිණී හෙන්ස්මන්ය. 1983 ජූලි හිංසනය පිළිබඳව, එල්. පියදාස නමින් ලියූ හෙන්ස්මන්, ඒ සංහාරයේ පූර්ණ වගකීම පවරන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවටයි.

තුච්ඡ ප‍්‍රතිචාරය

ඒ සංහාරයේ එක් කණගාටුදායක දෙයක් වන්නේ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඒ ආණ්ඩුවේ ප‍්‍රධානීන් මේ සම්බන්ධයෙන් රූපවාහිනී ඔස්සේ රට ඉදිරියේ කළ තුච්ඡ ප‍්‍රතිචාරයයි. එම හිංසාවෙන් විනාශයට පත් කිසි වින්දිතයෙකු වෙනුවෙන් අනුකම්පාව දනවන එක වචනයක් හෝ ඔවුන් කීවේ නැත. වක‍්‍රාකාරයෙන් සිංහල ජනතාවට වරද පැටවූ ජේ.ආර්. ජයවර්ධන, මෙය ඔවුන්ගේ පැත්තෙන් මතු වූ ස්වභාවික ප‍්‍රතිචාරයක් බව කීවේය. අනතුරට පත් වින්දිත දෙමළ ජනතාව වෙනුවෙන් වචනයක් කියනවා වෙනුවට ඔහු කෙළේ, බෙදුම්වාදය තහනම් කෙරෙන නීතිරීති ඉදිරියේදී ගෙන එන බවය.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස්, මීට වගකිව යුතු සැඟවුණු, විදේශ හස්තයක් ඇති බව කීවේය. සිංහල සහ දෙමළ ජනතාව අතරත්, සිංහල සහ මුස්ලිම් ජනතාව අතරත්, බෞද්ධයන් සහ කිතුණුවන් අතරත් ගැටුම් ඇති කිරීම සඳහා වන කුමන්ත‍්‍රණයක් ඇතැයි ඔහු කීවේය. ඉඩම් සහ මහවැලි අමාත්‍ය ගාමිණී දිසානායක දෙමළ ජනතාවට අනතුරු අඟවමින්, දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා ලංකාවට පැමිණීමට ඉන්දියාවට පැය 14 ක් ගත විය හැකි බවත්, අවශ්‍ය නම් සිංහලයන්ට විනාඩි 14 ක් වැනි කෙටි කාලයක් තුළ දෙමළුන්ව විනාශ කර දැමිය හැකි බවත් කීවේය. මෙහිදී, වෙළඳ සහ නාවුක කටයුතු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ශෝකයට පත්වුණේ, මේ විනාශය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා නැවත වතාවක් සාමාන්‍ය ජනතාවට පෝලිම් ගැසීමට සිදුව ඇති බැවිනි. මේ අතර, මුදල් අමාත්‍ය රොනී ද මැල්, සේන ගුත්තික ගැන ඉතිහාස දේශනයක් තිබ්බේය.

කලු ජූලිය තුළ දෙමළ ජාතිකයන් 4000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය විය. එයින් සමහරෙකු, දෙමළ ජාතික යැයි වරදවා වටහා ගත්, දෙමළ කතා කළ මුස්ලිම් ජාතිකයන්ය. තව දහස් ගණනක් තුවාල ලැබීය. ඒ අයගෙන් ඇතැමෙකු රෝහල්වලදී මියගියහ. ඒ සියල්ලන්ට අමතරව, 200,000 කට අධික පිරිසක් අනාථයන් බවට වූ අතර, ඔවුන්ගෙන් 130,000 ක් දෙනා තාවකාලික සරණාගත කඳවුරුවල ගාල් කෙරුණි. එසේම දෙමළ ජාතිකයන් සතු ව්‍යාපාරික ස්ථාන 2500 කට වැඩි ප්‍රමාණයක් විනාශ කරන ලදි. විනාශයට පත් නිවෙස් සංඛ්‍යාව හරියට ගණන් බලා නැත.

(අවසාන කොටස ඊළගට)

2018 ජුලි 21 වැනි දා, ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ, ඩී.බී.එස්. ජෙයරාජ් ලියූ, ‘Black July: Thirty Fifth Anniversary of 1983 Anti-Tamil Violence’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනයේ දෙවැනි කොටස  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.




2018-07-25
Advertisement

Find us on Facebook