English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යළි ආපස්සට රට ගෙනියන මරණ දඩුවම

මරණ දණ්ඩනය නැවත ආරම්භ කිරීම ගැන පසුගිය මාසයකට අධික කාලයක් තිස්සේ විවිධ අදහස් මතු වුනා. එසේ මතුවුනේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට මරණ දණ්ඩනය හිමිව බන්ධනාගාරගත සිටින නමුත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්ට අනුබල දෙන මත්ද්‍රව්‍ය සිරකරුවන්ට මෙම මරණීය දඬුවම දීම සඳහා ජනාධිපතිවරයා පසුගිය දා කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාව සම්මත වීමත් සමග මේ සම්බන්ධයෙන් ලංකාවේ මානව හිමිකම් සංවිධාන, සිවිල් සමාජය,  තානාපති කාර්යාල විරෝධය දක්වා තිබෙනවා. ලංකාවට ලැබී තිබෙන ජාත්‍යයන්තර ප‍්‍රසාදය මේ නිසා අභියෝගයකට ලක්වී තිබෙනවා. ලැබීමට නියමිත ආධාර වලට පවා මේ තත්ත්වය දැඩි ලෙස බලපෑමක් ඇති කරනු ඇති බවට අදහස් පළවී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නැවතත් දැඩි අදහස් දැක්වීමක් පසුගිය දා (21) වෙනි දින දක්වා තිබේ.

“සති තුනකට කලින් මට කරපු යෝජනාවක් අනුව මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අධිකරණයෙන් ලබා දෙන මරණ දඬුවමට දැන් අනුමැතිය ලැබී තිබෙනවා. ඉරිදා පුවත්පතක පළවී තිබෙනවා මරණීය දණ්ඩනය නියම කිරීමට ගත් තීන්දුව නවත්වා තිබෙන බව. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. කුමන විදියේ විරෝධතාවයන් ආවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව මම ලබන අඟහරුවාදා බන්ධනාගාර නීති සහ අධිකරණ හා අදාල ක්ෂේත‍්‍රවල ප‍්‍රධානීන් කැඳවා කමිටුවක් පත් කරනවා. මේ මරණීය දණ්ඩනයට එරෙහිව විරෝධතාවන් දක්වන අය මේ මත්ද්‍රව්‍ය නිසා සිදුවන විනාශය වළක්වා ගැනීමට කිසිම සහයෝගයක් මේ රටට ලබා දී නැහැ.”

“මත්කුඩු පිළිබඳව, මත්ද්‍රව්‍ය ජාවාරම මේ රටේ බරපතල ප‍්‍රශ්නයක්. රටේ ජනගහනයෙන් 1.4%ක් මත්කුඩු වලට ඇබ්බැහි වී සිටිනවා. සිගරට් වලට හා දුම්මැටිවලට 18%ක් ගොදුරු වී තිබෙනවා. රටේ ජනගහනයෙන් 14%ක් මත් පැන් වලට ගොදුරුවී තිබෙනා අතරේ පාසැල් හා විශ්ව විද්‍යාල දරුවන්ටද මත්පෙති නොමිලේ බෙදාහැරීම සිදුවේ “

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පොළොන්නරුවේ රුපියල් කෝටි 1200ක වියදමින් පොළොන්නරුවේ ඉදිරිකිරීමට නියමිත වකුගඩු රෝහලේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් දැක්වූ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේය.

“දේශපාලන සටන් පාඨ එකිනෙක ගිලිහෙමින් පවතිද්දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යන සටන් පාඨය ජනප්‍රිය සටන් පාඨයක් වශයෙන් භාවිතා කරන්න උත්සාහ කරනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් සාමාන්‍ය පොදු ජනතාව අතර පොදු පිබිදීමක් ඇතිවෙයි කියලා හිතනවා ඇති. මේ කාරණය පිළිබඳ උඩින් අත ගාමින් පොදු ජනතාවගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරන්නාවූ එක් අවස්ථාවක් ලෙස මැල්කම් රන්ජිත් කාදිනල්තුමා සහ විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා මරණ දඬුවම හොඳයි කියන තත්ත්වයට පත් වෙලා.”

“නීතිඥයෙකු වශයෙන් මම පැහැදිලිව දන්නවා හෙරොයින් වැටලීම්කරන්නේ කොහොමද කියන එක. එම වැටලීම් කළහම අප වෙත එන සේවාදායකයන්ගේ රහස්‍යභාවය සුරැකීම සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති නිසා අපට ඇත්ත කියනවා. අහිංසක අසරණ මිනිස්සු ගොඩක් වෙලාවට හෙරොයින් වැටලීම්වලදි අත්අඩංගුවට පත් වෙලා තිබෙන බව දැක ගන්නට පුළුවන්. අපරාධ නඩුවකදි පැමිණිලිකාර පාර්ශ්වය වන්නේ රාජ්‍ය විධායකය. විධායකයේ ආයතනයක් වන පොලීසිය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වැනි ආයතන තමයි පැමිණිල්ල වෙන්නේ. පොලිසිය, බන්ධනාගාරය, අධිකරණය වගේ දූෂිත ආයතන රාශියක් තිබෙනවා. ඒ දූෂිත ආයතන රාශියෙන් පැමිණිල්ලක් මෙහෙයවා දූෂිත අධිකරණයක් මාර්ගයෙන් දූෂිත වූ පොලිසියක් විසින් මේ කරන්නාවූ වැටලීම්, පරීක්ෂණ සහ නඩු විභාග ගැන ගැටළුවක් තියෙනවා. පොලිසිය සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වටලීමක් කරන්න කලින් ඔත්තුවක් දෙනවා අදාළ ජාවාරම්කරුවට කාව හරි ඉදිරිපත් කරන්න කියලා කියනවා රිමාන්ඩ් කරන්න. ගෙවීමක් සහිතව රිමාන්ඩ් වෙන්න බලාපොරොත්තු වෙනඅය ඉන්නවා. අපි දන්නවා ඒක. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වැටලීමක් කරන්න යනකොට නිලධාරීන් සටහන් යොදන්න  ඕනෑ. නමුත් විශේෂයෙන් මත්ද්‍රව්‍ය කාර්යාංශය වගේ ආයතනයක් වැටලීම් සටහන් යොදන්නේ වැටලීම් කර ඒ පුද්ගලයා එක්කගෙන ඇවිත්, ඒ පුද්ගලයා එක්ක වාඩිවෙලා. ඔක්කෝම කට්ටිය එකතුවුනාට පසුවයි. මේ නිසා මත්ද්‍රව්‍ය කාර්යාංශය වගේ ආයතනයකදි පරස්පරතාවයන් අඩුවෙලා ගොඩක් වෙලාවට අධිකරණයේදී තීරණය වෙන්නේ මේ පුද්ගලයා මරණ දඬුවමට නියම විය යුතුයි කියලා. ලංකාවේ නඩුවකදී හෙරොයින් ග‍්‍රෑම් දෙකකට වඩා ළග තබාගත් පුද්ගලයාටත් මරණ දඬුවම හිමිවෙනවා.”

මෙවැනි තත්ත්වයන් යටතේ නියම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වීම අවස්ථාව විරලය. ඔවුන් ඉහළ මට්ටමේ දේශපාලඥයින්, ව්‍යාපාරිකයන්, නීති ක්ෂේත‍්‍රයේ පුද්ගලයන් සමග සම්බන්ධකම් පවත්වමින් සිටියි. එසේ තිබියදී මත්ද්‍රව්‍ය හුවමාරු කරන්නන් අත් අඩංගුවට පත් වේ. ඔවුන් මරණ දඬුවම පැමිණවීම තුලින් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කළ නොහැක.

සාදාචාරත්මක බැලීමේදීත් මරණ දඬුවම යුගයට ගැලපෙන්නක් නොවේ. මරණ දඬුවම පැමිණවීම නිසා තමන්ගේ ප‍්‍රශ්න අවම කරගත් රටක් නොමැත. දේශපාලන වාසි කතා, ජනප්‍රිය වීම සඳහා මෙවැනි සටන් පාඨ මත එල්ලීමෙන් රටට වෙන සෙතක් නොමැත.  




2018-07-23
Advertisement

Find us on Facebook