English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කොන්ඩ පාවඩ මතින් පැමින එල්ලුන් ගහට ගොඩ වෙමු...


රට තුළ අත්හිටුවා තිබෙන මරණ දඩුවම නැවත සක්‍රීය කිරීමට පසුගිය ජූලි 10 වැනි දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව දැනගන්නට ලැබෙන්නේය. මෙම තීරණය ගත් කැබිනට් සාකච්ඡාවට පසුදා එනම් පසුගිය 11 වැනි දින ජනපති මයිත්‍රිපාල සිරිසේන මහතා උත්සව සභාවක් අමතමින් බොහෝ උජාරුවෙන් ප්‍රකාශ කරන්නේ මරණ දඩුවම ලබා හිරේ සිටින සහ හිරේ සිට දැනටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත රැදවියන්ට මරණ දඩුවම ලබා දීම සදහා තමන් තමන්ගේ අත්සන ලබා දෙන්නට තීරණය කළ බවය. රටේ අනාගතය ගැන සැළකීමේදී මෙය පාපයක් නොවන බවත් එහිදී ප්‍රකාශ කරන ජනාධිපතිවරයා රටේ ඉහළ යන අපරාධ රැල්ල පාලනය කිරීමට තද තීරණ ගත යුතු යැයිද කියා සිටින්නේය. මේ තත්ත්වය තුළ නැවත රට තුළ මරණ දඩුවම පිළිබදව සාකච්ඡාවක් මතුව තිබේ. මරණ දඩුවම සක්‍රීය කිරීමේ යෝජනාව ජනපති විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර අමාත්‍ය මංගල සමරවීර හැර ඉතිරි සියල්ලෝම මෙම යෝජනාවට පක්ෂ වී ඇත. මෙම තත්ත්වය තුළ මෙවර මරණ දඩුවම ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩක් පවතින අතර දැනට තිබෙන නීතිය සංශෝධනය කර ජනපති අනුමැතිය නොමැතිව අධිකරණ තීරණය ඍජුව ක්‍රියාත්මක කිරීම සදහා අවැසි පසුබිම සැකසීම කෙරෙහිද අවධානය යොමුවී ඇත.

දැන් අප ජනපතිගෙන් සහ මෙයට සහය පළකරන ඇමතිවරුන්ගෙන් ඇසිය යුතු වන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ ඇයි? යන පැනයයි. අමාත්‍ය මණ්ඩලය මෙන්ම ජනපතිද කියන්නේ මේ ප්‍රස්තුත මත් වැරදිකරුවන් ජීවිතාන්තය තෙක් හිරේ ගියත් ඔවුන් සිරගතව සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම රටේ අපරාධ රැල්ල ඉහළ යාමට හේතුවක් බවය. මෙම තත්ත්වය තුළ මෙම සිරකරුවන් එල්ලා මරාදැමූ පසු මත්ද්‍රව්‍ය ජාවාරම නතරවී රටේ අපරාධ සමනය වනු ඇති බවය. මෙම බොළද කතාවලට අපි කොතැනින් සිනාසිය යුතු දැයි නොදනිමු.

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින රැදවියෙක් සිරගතව සිට දුරකථන මාර්ගයෙන් හෝ වෙන ක්‍රමයකින් හෝ තව දුරටත් ජාවාරමේ නිරතනම් එය බන්ධනාගාර යාන්ත්‍රණයේ ගැටළුවක් ය. එයට විසදුම බන්ධනාගාරය සුද්ද කිරීම මිස සිරකරුවන් එල්ලා මැරීම නොවන බව ජනාධිපතිතුමාට මතක් කළ යුතුය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව යනු කුණු ගොඩක් ය. එම ආයතනය කුණු ගොඩක් කළේද මේ තීරණයට අත එසවූ දේශපාලකයින්මය. දේශපාලකයින් සල්ලිකාරයින් බන්ධනාගාර ගතවූ සැනින් රෝහල් ගතවීමේ සිට බන්ධනාගාරය ඇතුළත සිදුවෙන බොහෝ දේවල් අසෝභන ය. නීතියට ගැලපෙන්නේද නැත. එනිසා රජය හෝ අමාත්‍ය මණ්ඩලය වහාම කළයුතු වන්නේ බන්ධනාගාරය පිරිසිදු කර සිරකරුවන්ට එහි ඇතුළත සිට වියාපාර හෝ බාහිර සමාජය සමග මෙවැනි ගණුදෙනු කිරීමට හෝ බන්ධනාගාරය තුළින්ම ලබා දී තිබෙන පහසුකම් අහෝසි කර සිරකරුවන් සිරකරුවන් කිරීමය. දැන් සිරකරුවන් බෝඩින්කරුවන් ය.

වර්තමානයේ ලංකාව මරණ දඩුවම නීතිගත ව පවත්නා, එහෙත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නො වන රටකි. අවසාන වරට මෙරට දී මරණ දඩුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 ජූනි 23 වැනි දා ය. මේවනවිට විවිධ වැරදි සම්බන්ධයෙන් මරණ දඩුවම ලබා සිටින රැදවියන් ප්‍රමාණය 643කි. මේ පිරිසෙන් 472ක් අභියාචනා මාර්ගයෙන් නැවත ජීවිතය ඉල්ලා ඇත. මත්ද්‍රව්‍ය වැරදි සදහා මේවනවිට සිරදඩුවම් විදින ප්‍රමාණය 10535කි. මේවනවිට දැනගන්නට ලැබෙන්නේ ජනපති සහ ඔහුගේ ඇමතිවරුන් එල්ලා මරන්නට සැරසෙන සිරකරු කැටගරියට සිරකරුවන් 19 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවය. එහෙත් මෙම 19 දෙනාගෙන් 6 දෙනෙකු අභියාචනා ගොනුකර තිබෙන තත්ත්වය මත එම ලැයිස්තුවට වැටෙන ප්‍රමාණය 13 දෙනෙකි. මේ 13න් පටන් ගන්නට සැරසෙන කෙරුවාව අද ලෝකයට ගැළපෙන්නේ ද? විමසිය යුතුය.

ලෝකයේ රටවල් 142 ක් මේ වනවිට මරණීය දණ්ඩනය අත්හිටුවා ඇත. දැනට මරණ දඩුවම සක්‍රීය ව ක්‍රියාත්මක වන්නේ රටවල් 36ක පමණි. එයින් බොහොමයක් ඉස්ලාමිය ආගමික රාජ්‍යන් ය. නැතිනම් චීනය වැනි ප්‍රජාත්‍රන්තවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක නොවන රටවල් ය. ලොව රටවල් 103ක මරණ දඩුවම් සම්පූර්ණයෙන් ම අවලංගු කර තිබේ. ඒ එය නවීන ලෝකයට නොගැළපෙන අශිෂ්ට දඩුවමක් නිසාය. මෙවැනි තත්ත්වයක් තුළ මරණ දඩුවම සක්‍රීය කිරීම අප ශිෂ්ට ලෝකය තුළ හුදකලා රාජ්‍යක් වීමටද හේතු වනු ඇත.

මේවනවිට රට තුළ අපරාධ රැල්ලක් මතුව ඇති බව අප පිළිගත යුතුය. අබ වැපිරූ විට අබ මිස වී නොලැබෙන බව අප දත යුතුය. මේ අපරාධ රැල්ලේ මූලය තිබෙන්නේ ද දියවන්නාවේය. මත්ද්‍රවය ජාවාරමේ මූලයන්ද තිබෙන්නේ දේශපාලකයින් ළගය. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි යෝජනා විහිළු මිස වෙන කුමක්ද? ලංකාව යනු අපරාධ රාජ්‍යක් ය. නිදහසෙන් පසුව රට මෙම තත්ත්වයට පත්කළේ ද දේශපාලකයින්මය. නීතියේ පාලනයක් සහ සාධාරණයක් නොමැති සමාජයක් අපරාධ සමාජයක් ය. එවැනි සමාජයක් යහපත් සමාජයක් කරන්නට යැයි කියමින් අපරාධ සමාජයේම ක්‍රමයට මිනීමැරීමට නීති සක්‍රීය කිරීම ජනසංහාරයක් පමණක් ය.

එමගින් රටට හෝ සමාජයට සිද්ධවෙන අමුතු සෙතක් නැත. එනිසා හරිනම් මිනිසුන් මරන්නට කැසකවන යහපාලන මයිත්‍රී පාලන ජනපති කළයුතු වන්නේ නීතියේ ආධිපත්‍ය සහ සාධාරණත්වය නැවත සමාජය තුළ ස්ථාපනය කිරීමය. ඒ සදහා පසුගිය පාලන කාලයේදී සංවිධානාත්මකව සිද්ධ කරනු ලැබූ අපරාධ සමාජයට අනාවරණය කර චුදිතයින්ට අධිකරණය මගින් දඩුවම් (මරණ දඩුවමට මෙපිට) ලබා දිය යුතුය. අපරාධ පිළිබදව මෙන්ම යුක්තිය පිළිබදවද පුරවැසියා දැනුවත් කළයුතුය. සමහරුන්ගේ නඩු අහන්නට බැහැයි කියන නඩුකාරයින් සිටින උසාවිය පිරිසිදු කර එයට නීතියේ ආධිපත්‍ය සුරැකීමේ බලය ලබා දියයුතුය. ඒ සදහා එම ආයතන ශක්තිමත් කළයුතුය. එනිසා අවසාන වශයෙන් ජනාධිපතිවරයාට කියන්නට වෙන්නේ දැනට අත්හිටුවා තිබෙන මේ මරණ දඩුවම සම්පූර්ණයෙන්ම ඉවත්කර නීතියේ පාලනය මත පාලනය වන රටක් හදන්නට ඉතිරි කාලය වැයකරන්න කියාය.

කේ. සංජීව

Image may contain: 1 person, smiling



2018-07-12
Advertisement

Find us on Facebook