English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කල්පිටිය පොලිසියෙන් හිරිහැර, ප්‍රදේශවාසීන් උපවාසයේ!

කල්පිටිය පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් තමන්ට හිරිහැර කරන බවට රෙඩ්බානා ගම්මානයේ එක්‌දරු පියෙක් චෝදනා කරයි. පොලිස් ස්ථානාධිපතිවරයා තමාගෙන් ණය මුදලක් ලබා ගෙන ඇති බව පවසන දිලීප් කුමාර, එම මුදල් ආපසු දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ පටන් අවස්ථා ගණනාවකදී පොලිසිය සිය නිවසට පැන සෝදිසි මෙහෙයුම් දියත් කරන බවත් පවසයි.

මේ අතර දිලීප් කුමාරගේ බිරිඳ සුජන්ති පෙරේරා පවසන්නේ සිය ස්වාමිපුරුෂයා දෙමළ ජාතිකයෙකු බැවින් පොලිසිය සිතාමතාම සිය පවුල අසීරුතාවට පත් කරන බවයි.

"මට දිගින් දිගටම සිදුවන හිරිහැර කරදර වැඩයි. මම මේ ගැන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. නමුත් මට සාධාරණයක් නැහැ."

එකී හිරිහැරයන්ට විරෝධය පළ කරමින් දිලීප් සහ ඔහුගේ බිරිඳ සුජන්ති පසුගිය අඟහරුවාදා (ජුලි 03) කල්පිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. බ්‍රහස්පතින්දා කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයා පැමිණ විධිමත් පරීක්ෂණයක් පවත්වන බවට කළ දැනුම්දීම හමුවේ උපවාසය අත් හැරිය ද සාධාරණය ඉෂ්ට නොවන්නේ නම් තමන් යළි උපවාසයක් ආරම්භ කරන බව දිලීප් සහ බිරිඳ පවසයි.

තමා සතුව ගංජා ඇති බව පවසමින් අවස්ථා හතරකදී පොලිසිය සිය නිවස සෝදිසි කළ බව දිලීප් කුමාර පවසයි.

      


                                              දිලීප් කුමාර

“මා ළඟ ගංජා කිලෝ තුන්සීයක් තියනවා කියල, මාව පොලිසියට අරන් ගිහින් පැය දොළහක් තියාගත්තා. නිවස සහ වතු පිටි දින හතරක් මහා රෑ ඇවිල්ලා පරික්ෂා කළා,

මම හිතුවා අද ඉවර වෙයි හෙට ඉවර වෙයි කියලා. නමුත් මට දිගින් දිගටම සිදුවන හිරිහැර කරදර වැඩයි. මම මේ ගැන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. නමුත් මට සාධාරණයක් නැහැ. ඒකයි මේ පොලිසිය ඉදිරිපිටට ඇවිල්ල යුක්තිය සාධාරණය ඉල්ලලා හඩ නගන්න වෙලා තියෙන්නේ.”

පොලිසිය සහ මාධ්‍ය අතර සම්බන්ධකම් පවතින බවට චෝදනා කරන දිලීප් කුමාර ඒ හේතුවෙන් සිය කන්නලව්ව රටට නෑසෙන බවට ද, චෝදනා කරයි.

තමන්ට දිගින් දිගටම සිදුවූ හිරිහැර හමුවේ හටගත් කම්පනය හේතුවෙන් තම දරු ගැබ පවා ගබ්සා වූ බව බිරිඳ සුජන්ති පවසයි.

“ස්වාමි පුරුෂයා ද්‍රවිඩ වුනත් ඔහුට ද්‍රවිඩ භාෂාව හරිහැටි උච්චාරණය කරන්නත් බැහ, එදා මහ රෑ දොළහට විතර පොලිසියේ කීප දෙනෙකු ඇවිල්ලා නිදන කාමරයට ටෝච් ගැහුවා, මම සැහැල්ලු ඇඳුමක් ඇඳන් හිටියේ, එක පාර විදුලි ආලෝකය වැදුනම මට ලොකු බයක් දැනුනා, ඒ වෙනකොට මම ගැබ් ගෙන හිටියේ “යනුවෙන් ඇය කියා සිටියාය.

“මම ගොඩක් බය වුනා, ලැජ්ජාවට පත් වුනා, මට තේරුනා මගේ ශරීරයේ වෙනසක්, යුද්ධය කාලේවත් අපිව මෙහෙම චෙක් කරලා නැහැ, හිතුවෙම හොරු කියල. අන්තිමට වුනේ මගේ දරු ගැබ විනාශ වුනු එක.

ගමේ සියලුම සාමාජිකයන් ජාති භේදයකින් තොරව සමගිව දිවි ගෙවන බව උපවාසයට සහාය දැක්වූ පිරිස් කියා සිටියේය.

“අපිට සිංහල, දෙමළ, මුස්ලිම් කියල ජාති භේදයක් මෙහෙ නැහැ පොලිසියෙන් තමයි මේ භේද ඇති කරන්නේ එක වැරදයි. අපි උත්සාහ කරන්නේ කොයි මනුස්සයත් එක්ක හරි හොදින් ඉන්න.”

 

උපුටා ගැනීම - බී බී සී සිංහල පුවත් සේවය

ප්‍රසාද් පුර්ණිමල් ජයමාන්න




2018-07-10
Advertisement

Find us on Facebook