English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යාපනයේ ආරක්‍ෂක පවුර දමිළ දේව කන්නලව්වට ද තහංචි දමයි !


තමන් එදිනෙදා මුහුණ දෙන සංකීර්ණ ප‍්‍රශ්න මුලීකකරගෙන ඊයේ පස්වරුවේ (සැප් 05)පවත්වන්නට සැළසුම්කළ දේව කන්නලව් ආණ්ඩුවේ බුද්ධි අංශ විසින් දෙවන වතාවටත් නවතා දැමුවේ යැයි යාපනයේ පූන්තලිර් ගෘහ මුලීක කාන්තා එකතුවේ සාමාජිකයින් අයිතියට ප‍්‍රකාශ කළේය.

"අපේ ප‍්‍රශ්න ගැන, අපේ දෙවියන්ට කියන්නවත් අපට අද නිදහසක් නැද්ද ? අපිව මේ තරමට පගා දමන, අපිට නිදහසේ හුස්මගන්න ඉඩක් දෙන්නේම නැති පාලනය එහෙමත් නැත්නම් බලය මොකක්ද මේ ?" යැයි එම කාන්තාවෝ ප‍්‍රශ්න නගති.

ඊයේ එනම් සැප් 05 වන දා පෙරවරුවේදි ගම්මාන 04ක සහ සහන කඳවුරු 05ක ගෘහමූලික කාන්තා සාමාජිකාවන් විසින් යාපනය දිස්ත‍්‍රික්ක ලේකම්වරයා වෙත ඔවුන්ගේ් විසඳාගත යුතුව පවතින සංකීර්ණ ප‍්‍රශ්න කිහිපයක් ලිඛිත සංදේශයක් ලෙසට භාරදෙන්නට කටයුතු සළසා තිබුණත් එතුමා කාර්යාලයේ නොසිටි බැවින් එම සංදේශය දිස්ත‍්‍රික් පරිපාලන නිළධාරි කේ. කරුණාකරන් මහතා වෙත භාරදෙනු ලැබිණි. එම අවස්ථාව නියෝජනය කළේ පූන්තලිර් කාන්තා කමිටුවේ සභාපතිනිය ඇතුළු සාමාජිකාවන් විසිනි.

ඊට සමගාමිව එදිනම පස්වරුවේදි(ඊයේ-05) මෙම අවශ්‍යතාවයන් මූලික කරගනිමින් දේවකන්නලව්වක් ද පවත්වන්නට සභාපති සහන කඳවුරේ ගෘහමූලික කාන්තාවන් සැළසුම්කර තිබුණි.

"අපි දිස්ත‍්‍රික්ක ලේකම් කාර්යාලයේ ඉන්න අවස්ථාවෙදි අපිට සභාපති කෑම්ප් එකෙන් කෝල් එකක් ආවා පොලීසියේ තුන්දෙනෙකුයි බුද්ධි අංශයේ දෙන්නෙකුයි ඇවිත් පණිවුඩ එවා තිබෙනවා කියලා දේවකන්නලව්ව නොකරන ලෙසට නියෝග කෙරුවා කියලා. හදමින් හිටිය කුඩාරමත් ගලවා දමන්න කිව්වා කියලා අපිට දැන්වුවා."යැයි පූන්තලිර් කාන්තා එකතුවේ සම්බන්ධිකාරිකාවක් ප‍්‍රකාශ කළේය.

"අයිතිය" ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ළඟාවන විට, මතු සඳහන් කළ එම කුඩාරම ගලවමින් සිටිනු දකින්නට ලැබුණු අතර, එම සභාපති සහන කඳවුරේ ගෘහමුලික කාන්තා සාමාජිකාවන් කලබලයට පත්වී බියෙන් සිටිනු නිරික්‍ෂණය කරන්නට හැකි විය.

එම ස්ථානයේ සිටි කාන්තා සාමාජිකාවන් කිහිප දෙනෙකු විසින් "අයිතිය"ට අදහස් දක්වමින් කියා සිටියේ, "තැනින් තැනට අවතැන් වෙවි අවතැන් වෙවි ඉඳලා අන්තිමෙදි මෙම කඳවුරේ තාවකාලික ස්ථිර පදිංචිකරුවෝ බවට පත්වුණා. මෙතැන ඉඳගෙන අවුරුදු 15ක් තිස්සේ දුක්විඳිනවා, අපේ මුලික අවශ්‍යතාවන්වත් නිසි විධියට සැපිරෙන්නෙ නැති නිසා. අපේ දුක හැම තැනකටම ගිහිං කිව්වා, ලිව්වා. අපේ අවශ්‍යතාවයන් ගැන කියලා කියලා හෙම්බත්වෙලා .... එපාම වෙලා පහුගිය වසර දෙක  ඕනේ දෙයක් වෙච්චදෙන් කියලා උත්සාහයන් අතහැරල දාලා නිශ්ශබ්දව හිටියා. අපි නිශ්ශබ්දවෙලා ඉන්නවානම් මොන බලපෑමක්වත් නැහැ. නමුත් එහෙම ඉන්න බැහැ. ප‍්‍රශ්න උග‍්‍ර වෙනවා. අපේ පෞද්ගලීකත්වයක් කියන දෙයක් අපිට නැහැ දැන්.  මේ ඉන්න ජනගහණයේ හැටියට තිබිය යුතු මුලික අවශ්‍යතාවන් නැහැ. පානිය ජලය, වැසිකිළි පහසුකම් නිසි විධියට නැහැ. අපි ගැහැණු... නිදහසේ වස්ත‍්‍රයක් මාරුකරගන්න...නිදසේ ස්නානයකර ගන්න නිදහසක් නැහැ. අපේ දරුවෝ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා ආර්ථික අපහසුතා නිසා. ඒ නිසා ළමයි කාලකණ්නි වෙනවා, අනවශ්‍ය දේවල්වලට පැටලෙනවා. එතකොට උන් විනාශවෙලා යනවා. අපේ ආර්ථීක සහනාධාර කිසිවක් අපට ලැබෙන්නෙ නැහැ අවුරුදු දෙකක ඉඳලා. .... එතකොට මේ ප‍්‍රශ්න ගැන දෙවියන්ට කන්නලව් කරන්න යෑම වරදක්ද ? අපේ දුක, අපේ ප‍්‍රශ්න ගැන නොපෙනන දෙවියන්ටවත් මොරගහන එක වරදක්ද ? දෙවැනි වතාවටත් මේ විධියට අපිව මර්ධනය කරන්නේ, මේ දේව කන්නලව්වයි ආරක්‍ෂක අංශ අතරයි ඇති සම්බන්ධතාවය මොකක් ද ? යැයි එම ගෘහ මුලික කාන්තාවෝ ප‍්‍රශ්න කරති.

"මේ එක පීඩාවක්වත්, පීඩනයක්වත් නැහැ අපි ඉල්ලන එකම ඉල්ලීම ඉටුකරලා දුන්නා නම්. මේ කඳවුරුවල ඉන්න මිනිස්සුන්ව මුල් ගම් බිම්වලට ගිහිං අතහරින්න, අපිට පුළුවනි අපේ ජීවිකාව පටන් ගන්න." එම ප‍්‍රශ්න කිරිම්වල තිබුණේ ඉවසා ගත නොහැකි වේදනාව, කළකිරීම, කෝපය මෙන්ම බිය සැකය.


අද දවසේ තමන්ගේ රැකියාවට ද විශාල පහරක් වැදුණු බව දේව කන්නලව්ව පැවැත්වීම සඳහා කුඩාරම සැපයු පුද්ගලයා ද දෝෂාරෝපණය කළේය.

එම අවස්ථාවේදි, සී අයි ඞී (බුද්ධි අංශ) නිළධාරින් දෙදෙනෙකු එතැනට පැමිණි අතර මෙම කඩාකප්පල්කාරි මෙහෙයුම පිළිබඳව "අයිතිය" ඔවුන්ගෙන් විමසා සිටි විට ඔවුන් පැවසුවේ ඔවුන් කිසිම ආකාරයකින් මෙම කඩාකප්පල්කාරි ක‍්‍රියාවන්ට සම්බන්ධයක්  නොමැති බවත් මෙම දේ්ව කන්නලව්ව නැවැත්වීම සඳහා කිසිඳු නියෝගයක් සිදුනොකළ බවත්ය. එමෙන්ම, ඔවුන් ද සැමවිටම මෙම ජනතාව සමඟ සිටින බවත්, සැමවිටම ජනතාවගේ අවශ්‍යතාවන් සැපිරීමට සුදානමින් කටයුතු කරන බවත්ය.

එහෙත්, වර්තමානයේදිත් තාවකාලික සහන කඳවුරු රාශියක්ම, තිබිය යුතු මූලික අවශ්‍යතාවන්ගේ අඩුවකින් පසුවන බව ද දේව කන්නලව් පැවැත්විමට කටයුතු සුදානම් කරමින් සිටි මෙම සභාපති සහන කඳවුර ද එවැනිම මුලික අවශ්‍යතාවන්ගෙන් අඩුවෙන් සපිරි කඳවුරක්ව පවතින අතර ඇන්ටන් කුයින් යන අය මෙම සභාපති සහන කඳවුරේ නායකත්වය දරණ අතර ඔහු ආරක්‍ෂක අංශය සමඟ ඉතා සුහදශීලිව ගනුදෙණු කරනු ලබන නායකයෙකු බව ද "අයිතිය"ට දැනගන්නට ලැබුණි.



එහෙත්, යාපනය අර්ධද්විපයේ පමණක් නොව සමස්ත උතුරේ ම ආරක්‍ෂක පවුර කෙතරම්දුරට ජන ජිවිතය ගැන සොයා බලනවා ද විශේෂයෙන්ම අවතැන්වුවන් කෙරෙහි කෙතරම් අවධානයකින් පසුවනවා ද එමෙන්ම ඔවුන් මර්ධනයෙහිලා සිය වෘත්තිය අකුරට ඉටුකරනවාද සහ සිය කුටුම්භයා පවාදීම සඳහා කුලියට ඔත්තු සපයන්නන් එය කෙතරම් උසස් ලෙසට ඉටුකරනවාද යන්න නිරික්‍ෂණය කිරීමෙන් ම පමණක් දැනගත යුතුය.... දැනගත හැකිය...!
 
-මෙලනි මානෙල් පෙරේරා යාපනයේ සිට





2014-09-06
Advertisement

Find us on Facebook