English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නඩු කන්දට වර්ෂයකට එකතුවන නඩු ප‍්‍රමාණය දසදහසකට වැඩියි
අපගේ අධිකරණ පද්දතිය තුල කුණු කදු මෙන් නඩු කදු ගොඩගැසී තිබෙන බව අද බොහෝ දෙනා පිලිගනී. පසුගියදා අධිකරණ අමාත්‍යශය විසින් නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වා දුන්නේ 2017 සැප්තැම්බර් 30 වන දිනට ලංකාවේ අධිකරණ තුළ විසදීමට ඇති නඩු සංඛ්‍යාව 620,297ක් බවයි. එම වාර්තාව තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යාවෙන් 610,358 ක් 2016 වර්ෂයෙන් ඉදිරියට ගෙන ආ නඩු බවයි. එමෙන්ම, 2017 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා නඩු 341,775ක් ගොනුවී ඇති බවත්, ඉන් 331,836ක් විසදා ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව වර්ෂයකට ගොනු වන නඩු වලින් විසදා ගැනීමට නොහැකිව ගොඩගැසෙන නඩු ප‍්‍රමාණය 10,000 කට ආසන්න බව ද අපට පෙන්වා දේ.

අධිකරණ අමාත්‍යශය මෙම සංඛ්‍යා ලේඛන සකසා ඇත්තේ 2017 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස 9ක කාලයක ගණනය කිරීමෙන් බවත්, ඉන් දිසා අධිකරණ 82න් 72 කින් හා මහේස්ත‍්‍රාත් අධිකරණ 100 න් 80 කින් ලැබුනු තොරතුරු මත පදනම්ව බවත් සදහන් කර ඇත. ඒ අනුව තවත් මහේස්ත‍්‍රාත් අධිකරණ 20 ක දිසා අධිකරණ 10ක තොරතුරු මෙම වාර්තාවට ඉදිරිපත් වී නැත. එම අධිකරණයන් හි තොරතුරු ද ඉදිරිපත් වුයේ නම් වාර්ෂිකව ගොඩගෙසන නඩු ප‍්‍රමණය අනිවාර්යෙන් මීටත් වඩා වැඩි විය යුතුය.

පහලම ඇති මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිට ඉහලම ඇති ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා කිසි සේත්ම අසා නිම කළ නොහැකි නඩු ප‍්‍රමාණයක් දිනකට ඉදිරිපත් වේ. මහේස්ත‍්‍රාත් අධිකරණයකට එසේ දිනකට සාමන්‍යයෙන් ඉදිරිපත් වෙන නඩු ප‍්‍රමාණය 250කට ආසන්න වන බව වාර්තා වේ. එසේ නම් එම අධිකරණයක් තුල නඩු ඇසෙන උපරිම කාලය දිනකට පැය 5ක් නම් (දිනකට පැය 5ක් කි‍්‍රයාත්මක වන අධිකරණ ඉතා අල්පයකි) එක් නඩුවකට වැය කරන කාලය විනාඩි එකහමාරකට අඩු කාලයකි. මේ හේතුවෙන් දිනකට ඉදිරිපත් වන නඩු වලින් 98%ක ප‍්‍රමාණයක් කල් තබා මින් නඩු දෙකක් හෝ තුනක් දිනකට විභාගයට ගනී. මේ ක‍්‍රමය බොහෝ උසාවි විසින් කාලයක සිට අනුගමනය කරනු ලබයි.

මෙම ක‍්‍රමය දිගින් දිගටම කි‍්‍රයාත්මක වීම නිසා යුක්ති සහගත පුරවැසියන් අධිකරණ කි‍්‍රයා මාර්ගයන් කෙරෙහි විශාල අවිස්වාසයකින්  හා කලකිරීමකින් පසු වේ. එමෙන්ම බොහෝ පුරවැසියන් අධිකරණ කි‍්‍රයා මාර්ග පිළිබදව විශාල බියක් ද දක්වයි. මේ හේතුවෙන් තමුන්ට අයුක්තියක් සිදු වුවත් වරද පිළිගෙන හෝ වෙනයම් හෝ පාඩුවක විද දරාගෙන අධිකරණ කි‍්‍රයාමාර්ගයන්ගෙන් ගැලවීමට හැම විටම උත්සාහ දරයි. අධිකරණ ක‍්‍රම හරහා තමුන්ට යුක්තියක් හෝ සාධරණත්වයක් ඉටුවේය යන්න පිළිබදව බොහෝ අය සැක පහල කරයි.
 
මෙසේ නඩු ප‍්‍රමාද වීම නිසා රජයත්, එම නඩුවලට පෙනී සිටින පුද්ගලයන් විසින් වැය කරනු ලබන කාලය හා මුදල් ප‍්‍රමාණය නිවැරදිව ගණනය වුයේ නම් මහවැලි ව්‍යාපාරය වැනි තව ව්‍යාපාරයක් හා කොළඹ වරාය වැනි තවත් වරායවල් කිහිපයකුත් ඉන් ගොඩනැගීමට හැකිවනු නොඅනුමානය.

එමෙන්ම, අධිකරණයන් හි පවතින මෙම කඩා වැටීම සංවර්ධනය ව්‍යාපෘති ප‍්‍රමාද කිරීමට ද නව ආයෝජන ගලා ඒම වැලැක්වීමටද බලපා තිබේ. මින් පෙන්නුම් කරන්නේ රට සංවර්ධනය කරා ගෙනයාමට  නොහැකිවීමට ද මෙම නඩු ප‍්‍රමාදය  බලපා ඇති බවයි.

එමෙන්ම, අපරාධ වර්ධනය වීමටද මෙම නඩු ප‍්‍රමාදය සෘජුව බලපා තිබේ. ලංකාවේ අපරාධ නඩු විසදීම සදහා ගනු ලබන කාලය අවුරුදු 15 ඉක්මවන බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා පසුගිය දා වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. මේ අතර, නීතිපතිවරයා විසින් පවරනු ලබන අපරාධ නඩු වලින් සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි වන්නේ 4%ක ප‍්‍රමාණයක් බවත් ආසියානු මානව හිමිකම් කොමිසමේ වාර්තාවක සඳහන් වේ. එසේ නම් නීතිපතිවරයා විසින් පවරනු ලබන අපරාධ නඩු වලින් 96%ක් ආසාර්ථකව අපරාධ සැකකරුවන් නිදහස ලබයි.

මෙම අපරාධ නඩු ඉදිරියට ගෙනයාමට නොහැකි වීමට ඇති හේතූන් අතරින් වැදගත් සාධකයක් වන්නේ එම නඩුවේ සාක්ෂිකරුවන් සම්බන්ධ ගැටලූවයි. මීට හේතුව වී ඇත්තේ ද නඩු ප‍්‍රමාදයයි. දශක ගණනකින් නඩු ප‍්‍රමාද වීම සාක්ෂිකරුවන්ගේ දිරි බි`දී යයි. එහි ප‍්‍රතිපලයක් ලෙස සාක්ෂිකරුවන් නඩු අතහැර දැමීම සිදු කරයි. එසේ දිරි බි`දුනු සාක්ෂිකරුවෝ, විත්තිකරුවන්ගේ තර්ජන ඉදිරියේ පසුබායි. නැත්නම් විත්තිකරුවන්ගෙන් මුදලක් ලබාගෙන උසාවි නෑවිත් සිටී. සමහර සාක්ෂිකරුවන් ඔවුන් මුලින් පොලීසියට දුන් සාක්ෂියට පටහැනිව බොරු සාක්ෂියක් අධිකරණයේ දී ලබා දෙයි. තවත් සමහරුන් විත්තිකරුවන්ගේ ආධාරයෙන් රටින් පිට වේ. ඒ වගේම අපරාධ විත්තිකරුවන් රටෙන් පැන යන අවස්ථා ද වාර්තා වේ. මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ සාක්ෂි නැතිකමින් විත්තිකරුවන් නිදහස් කිරීමට සිදු වීමයි.

මේ තත්ත්වය සමාජයට විනාශකාරී ප‍්‍රතිඵල ඇති කරයි. එවැනි එක් විනාශකාරී ප‍්‍රතිඵලයක් වන්නේ රටේ දිනෙන් දින අපරාධ වැඩි වීමයි. මෙම නඩු පමාව අපරාධකාරයන්ට තව තවත් එවැනි අපරාධ සිදු කිරීමට  අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි. අද වනවිට ලංකාව අපරාධකාරයන්ගේ පාරාදීසයක්ව ඇති අතර, ආසියාවේ අපරාධකරුවන්ගේ කේන්ද්‍රස්ථානය බවට අද ලංකාව පත්වෙමින් තිබේ.  

නඩු පමාව නැති කිරීමට අවශ්‍ය පියවර ගණනාවක් ඇත. මේ සම්බන්ධව නව රජයේ යම් අවධානයක් යොමු වී ඇති බවක් පෙනේ. නඩු පමාව නැති කිරීමට යම් පියවර කිහිපයක් ද මේ වන විට ගෙන තිබේ. ඉන් වැදගත් පියවර වනුයේ පසුගියදා ඇති කරනු ලැබූ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ පිහිටුවීමේ පණත සම්මත කිරීමයි. මෙමගින් විශේෂයෙන් මුදල් විශූද්ධිකරණය වැලැක්වීම, අල්ලස් පනත යටතේ ඇති වැරදි, පොදු දේපල අයථා පරිහරනය, ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම, බැංකු හා විදේශ විනිමය පනත හා පරිඝණක අපරාධ සම්බන්ධව නඩු මෙම විශේෂ ති‍්‍රපුද්ගල අධිකරණයට ඉදිරිපත් කළ හැකි අතර, එම අධිකරණය සදහා ස්ථිර විනිසුරුවන් පත්වන අතර, ඔවුන් විසින් දිනපතා නඩු ඇසීම සිදු කරනු ලබන්නේය.

ජුලි 15 වන දින සිට මෙහි පළමු අධිකරණය පිහිටුවන බවට පසුගිය දා අධිකරණ ඇමතිවරිය විසින් ප‍්‍රකාශ කර තිබුනි. ඉහත පනත අනුව අවශ්‍ය නම් මෙවැනි විශේෂ අධිකරණ 3ක් පිහිටු විය හැක. අපගේ යෝජනාව වන්නේ ඊට වැඩියෙන් හෝ පිහිටුවා මෙම නඩු ක`දු වේගයෙන් අවසන් කර දෙන ලෙසය. එමෙන්ම, මෙවැනිම ක‍්‍රමවේදයක් අනෙක් අධිකරණයන් තුළ ද ස්ථාපිත කළ යුතු ඇත. විශේෂයෙන් මූලික අයිතිවාසිකම් හා අපරාධ නඩු සම්බන්ධව ද ඉක්මනින් නඩු ඇසීමේ ක‍්‍රමයක් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සදහා අප බලපෑම් කළ යුතුය. ඒ සදහා මැදිහත්වීමට යුක්තිගරුක ඔබට වගකීමක් ඇත.

පිලිප් දිසානායක
2018 ජුලි 04  
 




2018-07-03
Advertisement

Find us on Facebook