English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දයාන් ජයතිලකට සිවිල් සමාජයේ විරෝධය

යහපාලන රජය විසින් අචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ තානාපති ලෙස පත්කිරීම සම්බන්ධව සමාජය තුළ විශාල කතිකාවාක් නිර්මාණය වී තිබේ. ලංකාවේ සිවිල් සංවිධාන හා සිවිල් සමාජ නායකයන් පිරිසක් විසින් මෙම පත්කිරීම සම්බන්ධව තම විවේචන ඉදිරිපත් කරමින් ජනාධිපති හා අගමැතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත. එම ලිපිය පහත දැක්වේ.  

ආචාර්ය දයාන් ජයතිලක රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කිරීම පිළිබඳ ප්‍රතිචාර ඉදිරිපත්කිරීම.


රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරනු ලැබ යැවීම පිණිස ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ නම යෝජනාකිරීමට ශ්‍රී ලංකා රජය කටයුතුකර ඇතැයි පළව ඇති තොරතුරු සම්බන්ධයෙන් පහත අත්සන් කර අනුමැතිය පළකරන පුද්ගලයන් සහ සිවිල් සමාජ සංවිධාන බලවත් සේ අවධානයෙන් පසුවේ. ඉහළ නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින් දයාන් ජයතිලක මහතාගේ යටකී පත්වීමද ඇතුළත්ව තවත් පත්කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර පළකිරීමට අවස්ථාව සලසමින් 2018 12 වන දාතමින් යුතුව පළකළ ප්‍රසිද්ධ දැන්වීම ප්‍රකාරව අප අපගේ පහත ප්‍රතිචාරය ඉදිරිපත් කරන්නෙමු.

ජාත්‍යන්තර ප්‍රජාව සමග සබඳතාවයන් පවත්වාගෙන යාම විෂයෙහි ශ්‍රී ලංකාවෙහි ඉතිහාසය බොහෝ සෙයින් සාධනීය එකක් බව ආරම්භයක් වශයෙන් සඳහන් කළ යුතුය. ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ශ්‍රී ලංකාව විසින් නඩත්තු කරන ලද සුවිශේෂී ප්‍රමිතීන් සමූහයක් ඇත. එලෙසින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහු-පාර්ශවීය සංසදයන්ද ඇතුලත්ව මිත්‍ර පාර්ශව වෙතින් මේ කාරණය සම්බන්ධව මහත් ගෞරවයක් දිනාගන්නටද ශ්‍රී ලංකාව එහි ඉතිහාසය තුළ සමත්ව ඇති බව ද සඳහන් කළ යුතුව ඇත. වාර්ගික ගැටුම් මූලික කරගෙන ශ්‍රී ලංකාව තුළ ප්‍රචණ්ඩ භාවිතයන් වර්ධනය වූ 1980 දශකයේ අගභාගයේ පටන්ම එවකට පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙන්ම, පසුව යටකී කොමිසම වෙනුවට පිහිටුවා ක්‍රියාත්මක කරවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරද්දි වින්දිතයන්ගේ පාර්ශව, සිවිල් සමාජය මෙන්ම දිගින් දිගටම පත්වූ රජයන්ද එකී සාකච්ඡාවන් හා අඛණ්ඩව සම්බන්ධවීමද මේ හා සමගම සඳහන් කළ යුතුය.

මෙකී සාධනීය තත්ත්වයේ තදබල වෙනසක් දකින්නට සිදුවනුයේ සාමාන්‍ය පුරවැසියන්, සිවිල් සමාජය, ජනමාධ්‍යවේදීන් සහ සමාජයේ සෙසු මතවාදී නායකයන් ඉලක්කක කරගනිමින් පෙර නොවූ විරූ මර්දනයක් මුදා හැරි පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි විතැන්වීමක් මෙම යුගය තුළ අප හඳුනාගන්නෙමු. මෙම කාලය තුළ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රචන්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් වන සාකච්ඡා අතරතුර බරපලතල එදිරිවාදී ස්වභාවයකින් සහ ප්‍රචණ්ඩ ක්‍රියා උත්කර්ෂයට නංවන ආස්ථානයකින් කටයුතු කරනු දැකිය හැකිවිය. 2009 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට විශේෂ සැසිවාරයක් කැඳවූ අවස්ථාවෙහි ඔහු හැසිරුනු ආකාරය මෙහිලා නිදසුනක් වශයෙන් දැක්විය හැක. මෙම සැසිවාරය අතරතුර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූවන් කෙරෙහි සතුරු ආකල්පයකින් ප්‍රතිචාර දක්වන්නට ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස කටුයතු කරනුද ඔහුගේ මතය විවේචනය කළ පුද්ගලයන් සෘජුවම ඉලක්ක කරගනිමින් වාග් ප්‍රහාර එල්ලකිරීමට ආචාර්ය දයාන් ජයතිලක කටයුතු කරනු ද නිරීක්ෂණයව ඇත. ශ්‍රී ලංකාවේ යටකී ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බරපතල දෙදරවීමකට ලක්කිරීමට හේතුවූවාක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමග අතිශය රාජ්‍යතාන්ත්‍රික ලෙස ගනුදෙනුකිරීමේ පරිචය සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබූ කීර්තියද එයින්ම බරපතල ලෙස හානිවිය. එක්සත් ජාතීන්ගේ සෙසු රාජ්‍ය නියෝජිත පාර්ශව සහ එක්සත් ජාතීන්ගේ සෙසු සංවිධාන අතර ඉහත සැසිවාරය මානව හිමිකම් කවුන්සිලයේ ඒකාග්‍රතාවය සම්බන්ධයෙන් ඇතිකළ සෲණාත්මක බලපෑම මෙන්ම ගෝලීය වශයෙන් මානව හිමිකම්හි ප්‍රවර්ධනය සඳහා කවුන්සිලයේ භූමිකාව සම්බන්ධයෙන් ද බරපතල කැළඹීම් ඇතිකරන්නට ශ්‍රී ලංකාව විසින් ඇතිකළ යටකී බෙදීම සමත්විය.

යථෝක්ක විශේෂ සැසිවාරයේදී ශ්‍රී ලංකා ධුත පිරිස විසින් ගනු ලැබූ ස්ථාවරය ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන්ට හානිකර තත්ත්වයක් වශයෙන් වර්ධනය වූ බවද අප විසින් මෙහිලා සඳහන් කර තැබිය යුතුව ඇත. වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ඉතා නිරවුල් ලෙස පෙන්වාදී ඇති පරිදි 2009 මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ආචාර්ය දයාන් ජයතිලක විසින් පෙන්වූ හැසිරීම සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ යෝජනාවක් ‘ජයග්‍රහණය’ කරමින් උතුරු-නැගෙනහිර යුද්ධය සිදුකළ ආකාරය අගයකරන ස්ථාවරයකට ජාත්‍යන්තරය ගෙන එන්නට සමත්වූවායැයි ඔහු විසින් දිගින් දිගටම කළ උදම් ඇනීම්ද ඉන් පසුව කාලය තුළ ශ්‍රී ලංකාවට බරපතල ප්‍රතිඵල උදාකර ඇත. ශ්‍රී ලංකා ධූත මණ්ඩල විසින් දිගින් දිගටම මතවාදාත්මක වශයෙන් නොසලකාහැරි ජිනීවා ක්‍රියාකාරීන් බරපතල කම්පනයකට ලක් කරන්නට එකී ක්‍රියාකාරීත්වය සමත්විය. 2009 මානව හිමිකම් කවුන්සිල විශේෂ සැසිවාරය හා බැඳුණු මෙකී සිද්ධි දාමය අවසන්වූයේ ශ්‍රී ලංකාව තුළ නිසැක වශයෙන්ම බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදූව ඇත යන්නත් ඒවා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් නිසැකවම සිදුවිය යුතු බවත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු යාමෙනි. ආචාර්ය දයාන් ජයතිලක විසින් ඉදිරියට ගෙන ආ යටකී එදිරිවාදී සහ ස්වඋත්කර්ෂවත් ප්‍රවේශය බරපතල මට්ටමේ අකාර්යක්ෂම එකක් වූ අතරම 2012, 2013, සහ 2014 යන වර්ෂවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිගින් දිගටම යෝජනාවලීන් ඉදිරිපත්වන තත්ත්වයකටද එය මගපෑදීය. එලෙසින්ම පසුකාලීනව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්වූ කල්හි ආචාර්ය දයාන් ජයතිලක ඉහත සඳහන් කළ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලට පක්ෂව ඡන්දය දීමේ ප්‍රංශ රජයේ ස්ථාවරය වෙනස්කිරීමට ද අසමත්වූ බව අප මෙහිලා පෙන්වා දීමට කැමැත්තෙමු. එය රාජ්‍ය තාන්ත්‍රික ධූත මණ්ඩලයක ප්‍රධානයා වශයෙන් කටයුතුකිරීමෙහිලා ඔහු සතු නුසුදුසුභාවය පැහැදිලිකරන්නකි.

 2015 ඇතිවූ දේශපාලන වෙනසින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ යහපාලන රජය සංහිඳියාව කෙරෙහි වඩාත් නැඹුරු ප්‍රවේශයක් දක්වා නැවත ගමන්කරනු දැකීම අපගේ සතුටට හේතුවිය. අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිගැනීම මෙන්ම සංහිඳියාව ඉලක්කකරගත් පැහැදිලි ප්‍රතිසංස්කරණද මෙම කාලය තුළ ආරම්භවනු දැකිය හැකිවිය. හුදෙක් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීමේ උත්සාහයකට වඩා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් පිළිගන්නා ආස්ථානයක කටයුතු කරමින් මානව හිමිකම් පිළිබඳ ගැටලුව දේශීය ප්‍රශ්නයක් වශයෙන් ගෙන ආමන්ත්‍රණයකිරීමක් ඒ තුළ විය. ජාත්‍යන්තර ප්‍රජාව සමග සබඳතා ප්‍රතිපිහිටුවාගනිමින් කටයුතුකිරීමට ශ්‍රී ලංකාව යොමුව තිබෙනු දැකීම අතිශය වැදගත්ය. එලෙසින්ම එම ක්‍රියාකාරීත්වය තුළ රටක් වශයෙන් පොදුවේ ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට මිස තනි පුද්ගලයෙකුගේ උවමනා එපාකම්වලට මුල්තැන දීමක් සිදු නොවෙමින් තිබීමද සිවිල් සමාජය වශයෙන් අපගේ සතුටට හේතුවකි. ජපානයේ පැවති ඨ7 සමුලුව සහ 2016 වර්ෂයේ මහා බි්‍රතාන්‍යයේ පැවති දූෂණ පිටුදැකීම සඳහාවන සමුලුව වැනි ජාත්‍යන්තර සභාවන්හට සහභාගීවීමට මෙරට ජනාධිපතිවරයා වෙත ආරාධනා ලැබීම ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ශ්‍රී ලංකාවේ මෙම සුබවාදී ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාවෙහි ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන බව පැහැදිලිව ගම්‍යකරන්නකි.

සත්‍ය වශයෙන්ම ප්‍රජාතාන්ත්‍රීය, බහුවිධ සහ රටෙහි වාසය කරන සියල්ලන් සමානයන් ලෙස සැලකෙන, ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ගෞරවනීය ස්ථාවරයක් නඩත්තු කරන රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව යළි ඉදිරියට ගෙන යාමේ අසීරු ප්‍රයත්නයන්හි ගෞරවය පවා පසුගිය රජයේ වැරදිවලට වගකිවයුත්තන් වන, එපමණකටම, අද මේ මොහොත දක්වාත් එකී රජය කරවූවන් කෙරෙහි වඩාත්ම ලැදියාවකින් කටයුතු කරන්නන් යළි ඉදිරියට ගෙන ඒමේ උත්සාහයන් නිසා හානියට පත්විය හැක.

ආචාර්ය දයාන් ජයතිලක විසින් දරණ මතවාදයන් හා 2015 ජනවාරි 08 වනදා සිදුවූ වෙනස ව්‍යූහගත කළ මතවාදය යනු සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක මතවාද දෙකක්ය යන්න අපගේ පිළිගැනීමයි. යහපාලනයෙහි අතිශය හරයාත්මක මූළධර්මයන් මෙන්ම යහපාලන රජය වෙනුවෙන් පෙනී සිටින්නන්ද ආචාර්ය දයාන් ජයතිලක අතින් නිග්‍රහයට පත්ව ඇත. ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණයන් සහ සංහිඳියාව ඇතිකිරීමේ උත්සාහයන් සම්න්ධයෙන් මන්දෝත්සාහී වෙමින් ඔහු ඒවාට විරුද්ධ ආස්ථානයක සිට කටයුතු කර ඇත. අනෙක් අතට රජයේ සන්නද්ධ අංශ වෙතින් රඳවාගෙන සිටි පුද්ගලික ඉඩම් යළි ඒවායේ මුල් අයිතිකරුවන් වෙත මුදාහැරීම සහ දහස් ගණනක් වන අතුරුදහන්වූවීමේ සිදුවීම් සම්බන්ධයෙන් ස්ථාවර කාර්යාලයක් පිහිටුවීම වැනි යුද්ධය නිසා විපතට පත්වූ පාර්ශවයන් වෙනුවෙන් ගනු ලැබූ ඇතැම් පියවර සාධනීය කාර්යයන් වශයෙන් හඳුනාගත් රජයේ ප්‍රගතිශීලී අමාත්‍යවරුන් සහ සෙසු නායකයන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රකාශ නිකුත්කිරීමද ඔහු කටයුතු කළහ. ආචාර්ය දයාන් ජයතිලක යනු පැවති රජය විසින් සිදුකළ දාමරික ක්‍රියාකාරකම් වශයෙන් සිවිල් සමාජය විසින් බිය පළ කරන බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දායකත්වය මෙන්ම ඔහු විසින් නඩත්තු කළ දරදඬු ප්‍රවේශයන්ද එකසේ අගය කළ පුද්ගලයෙකි.

ආචාර්ය දයාන් ජයතිලක රාජ්‍ය තාන්ත්‍රික ධූත මෙහෙවරක් සඳහා පත්කර යවනු ලැබූ පෙර අවස්ථා දෙකෙහිදිම, එනම් ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් පත්වූ අවස්ථාවේත්, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්වූ අවස්ථාවේත් ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට රටක් වශයෙන් වඩාත්ම වැදගත් මිත්‍ර පාර්ශවයන් වෙතින් එය ඈත් කරන තරමේ ප්‍රතිවිපාක සහිත පුද්ගලික න්‍යාය පත්‍රයකි. ආචාර්ය දයාන් ජයතිලකගේ මතවාදීමය දැක්ම සමග අතිශය සමපාත ක්‍රියාකාරීත්වයක් පැවති රාජපක්ෂ රෙජීමය සමයේ පවා ඔහුගේ ක්‍රියාකාරීත්වය මේ ආකාර නම්් ජාතිකත්වය මත පදනම්වූ ඔහුගේ වර්ගවාදී මතවාදයන්ට සමීපතාවයක් පෙනෙන්නට නොමැති යහපාලන රජය තුළ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරමින් ඔහු විසින් සිදුකරනු ඇති හානීන්ගේ තරම අතිමහත් වනු ඇත.

ආචාර්ය දයාන් ජයතිලක මහතා ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් සඳහා නිරේදේශකිරීමේ පදනම අප විසින් ප්‍රශ්න කරනුයේත් එම පත්කිරීම සඳහා වන නිර්දේශය ප්‍රතික්ෂේප කරන ලෙස අප පාර්ලිමේන්තුවේ ඉහළ නිලතල පිළිබඳ කමිටුවෙන් ඉල්ලා සිටිනුයේත් මෙම පසුබිම මතය. එසේම 2015 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැවත ගොඩනැංවීම පිණිසත් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ප්‍රතිපත්තිමය පෙනී සිටිමක් සහිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමටත් යහපාලන රජය මේතාක් ගෙන ඇති උත්සාහයන් පිළිබඳ යළි හැරී බලන ලෙස අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නෙමු. එකී උත්සාහය පරිද්දෙන් ඉහතකී ආකාරයේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර සඳහා පත්විය යුත්තේ 2015 වර්ෂයේ පටන් මේ දක්වා රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසි ලෙස නියෝජනය කළ හැකි පුද්ගලයෙකු මිස එකී වැඩපිළිවෙල සිතාමතාම අවතක්සේරුවට ලක්කිරීමට කටයුතු කරන්නෙකු නොවන බවද අප විසින් අවධාරණය කරන්නෙමු.




2018-06-26
Advertisement

Find us on Facebook