English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වැරදි පුද්ගලයෙකු රිමාන්ඞ් කිරීමට එරෙහි නඩුවෙන් ජය, පෙත්සම්කරුට රු. 575,000 ක වන්දියක්
වරෙන්තුවක් ඇති බව ප‍්‍රකාශ කරමින් ආණමඩුව පොලීසිය විසින් වැරදි හදුනා ගැනීමක් මත අත්අඩංගුවට ගෙන මාස 3කට ආසන්න කාලයක් නිකරුනේ රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(1) ව්‍යවස්ථාවන් අදාල පොලිස් නිලධාරීන් විසින් උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරමින් රුපියල් පන්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් අදාල පෙත්සම්කරුට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (ජුනි 25) තීරණය කරන ලදී.

ඒ අනුව මෙම නඩුවේ 1 වන වගඋත්තරකරු වන පොලිස් කොස්තාපල් පේ‍්‍රමරත්න විසින් රුපියල් 25,000ක් ද, මෙහි 2 වන වගඋත්තරකරු වන එවකට ආණමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උපුල් පි‍්‍රයශාන්තට රුපියල් 50,000 ක මුදලක් ගෙවීමට ද, පැමිණිලිකරු වෙත තවත් රුපියල් ලක්ෂ පහක  මුදලක් රජය විසින් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කරන ලදී. මෙම මූලික අයිතිවාසිකම් නඩුව (SCFR 491/2011) 2011 වසරේ දී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ උපදෙස් මත නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා විසින් ගොනු කරනු ලැබීය.
 

මෙම නඩුවේ පෙත්සම්කරුවූයේ සූරක්කුලම, මුදලක්කුලියේ පදිංචිව සිටි ආර්.එච්.එම් කීර්තිරත්න මහතායි. කීර්තිරත්න 2010 වසරේ දී දරුණු රිය අනතුරකට මුහුණ දී සිටීම නිසා යම්කිසි රෝගී තත්ත්වයකින්ද පසු වූවෙකි. කීර්තිරත්න 2011 ජනවාරි 11 වන දින ආණමඩුව පොලීීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර, එදිනම මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2011 ජනවාරි 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුනි.

පසුව 2011 ජනවාරි 19 වන දා ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 2011 අපේ‍්‍රල් 05 වන දින දක්වා මාස තුනකට ආසන්න කාලයක් ඔහු බන්ධනාගාර ගත කර තිබුනි. මින් මසකට ආසන්න කාලයක් ඔහු රෝගීව රෝහල් ගත කර තිබුනි. මෙම කාලය තුළ පොලීසිය හෝ මහේස්ත‍්‍රාත්වරයා හෝ කීර්තිගේ අනන්‍යතා පරීක්ෂණයක් සිදු කර නැත.

නම් පැටලැවීමක් මත අත්අඩංගුට ගෙන බන්ධනාගාරගතව සිටි කීර්තිරත්න වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ සොයුරා වන සේනාරත්න මහතා සමග රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ආණමඩුව ආසනයේ සිටි මානව හිමිකම් ආරක්ෂකයන් කිහිප දෙනෙකි. ඔවුන්ගේ මැදිහත්වීම නොවන්නට කීර්තිරත්න සමහරවිට තවමත් අත්අඩංගුවේ පසුවීමට ඉඩ තිබුනි.

කීර්තිරත්න මෙසේ අත්අඩංගුව ගැනීමට එරෙහිව ගත් කි‍්‍රයාමාර්ග නිසා මාස 3කට පසුව වැරදි හදුනාගැනීමක් මත සිදුවූවක් යන්න ප‍්‍රකාශ කරමින් අධිකරණය විසින් ඔහුව වහා නිදහස් කර අතපිහිදා ගෙන තිබුනි. නමුත් මෙසේ නිකරුනේ පුද්ගයෙකු අත්අඩංගුවේ තබා ගැනීම සම්බන්ධව අධිකරණය හෝ පොලීසිය විසින් අදාල පුද්ගලයන් සම්බන්ධව පියවර නොගැනීම නිසා අවසානයේ මේ සම්බන්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. මෙම පෙත්සම ඉදිරිපත් කර මේ වනවිට අවුරුදු 7ක් ඉක්මව ගොස් තිබුන ද අද ලබා දුන් තීන්දුව තුළින් ප‍්‍රමාදවී හෝ යුක්තිය ඉටු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සූදානම් බව යුක්තිය ඉල්ලා සිටින පුරවැසියන්ට පණිවුඩයක් ලබා දී තිබේ.

එමෙන්ම, සත්වසරක් තිස්සේ නඩු ගාස්තු අපේක්ෂා නොකරමින් කැපවීමෙන් හා උනන්දුවෙන් මෙම නඩුව ජයග‍්‍රහණය දක්වා ගෙන ඒමට විශාල කැපකිරීමක් කළ නීතිඥ උපුල් කුමරප්පෙරුම ඇතුලූ මේ නඩුව වෙනුවෙන් මැදිහත් වූ නීතිඥ ප‍්‍රජාව ද සමාජයේ ඇගයීමට ද භාජනය විය යුතුය.     



 





2018-06-25
Advertisement

Find us on Facebook