English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසා කරන්නේ පොලිසිය විතරක් නෙවෙයි
ආචාර්ය දීපිකා උඩගම

ආචාර්ය දීපිකා උඩගම

වධහිංසාවට ලක්වූවන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනය ජුනි මස 26 වන දිනට යෙදී ඇත. ඊට සමගාමීව ලංකාවේ වධහිංසාවට එරෙහිව කටයුතු කරන ප්‍රධාන පෙළේ සිවිල් සංවිධානයක් වන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි සිවිල් සමාජ ජාලය සමග එක්ව වධහිංසාවට එරෙහි සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි එක් පියවරක් වශයෙන් වධහිංසාව සහ මානව හිමිකම් තත්ත්වය අරඹයා විද්වත් මත විමසුමක් ඔවුන් විසින් සිදු කරනු ලැබේ. ඒ අනුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම සමඟින් කරන ලද සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

පිලිප් දිසානායක

පිලිප් දිසානායක

මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකරනු ලැබූ වධහිංසාව පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් වධහිංසා පනත යටතේ නඩු පැවරීම් සිදුකර තිබෙනවද? 

නඩු පවරන එක ගැන අපිට ආරංචියක් ලැබෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම වධහිංසා පනත යටතේ නඩු කීයක් පවරලා තිබෙනවද හා එම පැවරූ නඩුවලින් කොපමණක් සාර්ථක වී තිබෙනවද යන ප්‍රශ්න වලට පිළිතුරු අපි ඉල්ලා තිබෙනවා. නමුත් මේ වන තෙක් අපිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඊට අදාළ දත්ත ලැබී නැහැ. එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ නියෝජිතයින් ලංකාවට පැමිණි අවස්ථාවේ ඔවුන් වෙත ලබා දී තිබූ දත්ත තමයි අප වෙතත් ලැබී තිබෙන්නේ. වධහිංසාව තුරන් කිරීම සඳහා ක්‍රියාත්මකවීමේදී මේ සියලුම අංශවල සහයෝගය අපට අවශ්‍ය වෙනවා.

රජයේ ප්‍රතිපත්තිය වෙන්නේ වධහිංසාවට කිසිසේත්ම ඉඩලබා නොදෙන බවයි (Zero Tolarance for Torture). මේ ප්‍රතිපත්තිය මත රජය කටයුතු කරන බවට මානව හිමිකම් කොමිෂන් සභාවට තිබෙන්නේ කුමනාකාරයේ තක්සේරුවක්ද? 

රජය මේ ප්‍රශ්නය හඳුනාගෙන තිබෙන බව අපට පෙනෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වධහිංසා කමිටුව වෙත අපි වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ ලොකු සැලීමක් සිදුවුණා. වධහිංසාව තුරන්කිරීම යන්න රජය ප්‍රතික්ෂේප කරමින් සිටියා නම් දැන් ඒ තත්ත්වය වෙනස් වී වධහිංසාව වැළැක්වීමට කටයුතු කළ යුතුය කියන තැනට රජය පත්වී ඇති බව මම හිතනවා. නමුත් මගේ මතය අනුවත්, කොමිෂන් සභාවේ සිදු කරන සාකච්ඡාවලට අනුවත්, අපිට ලැබෙන පැමිණිලිවලට අනුවත් මේ සඳහා නීතිය ක්‍රියාත්මක වීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව බොහොම පැහැදිලියි. වධහිංසා සිදුවීම් නිවාරණය පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට සහ සමාජය වෙත අපි අපේ අදහස් ඉරිපත් කළ යුතුයි. ඒ තුළින් වධහිංසාව තුරන් කළ හැක්කේ කුමන ක්‍රමවේද හරහාදැයි බැලිය යුතුයි. විශේෂයෙන් වධහිංසාව කියද්දි අපේ වැඩි අවධානය යොමුවන්නේ පොලිස් භාරයේදී සිදුවන වධහිංසා කිරීම් පිළිබඳවයි. නමුත් ‘වධහිංසාව’ යන්නට ඕනෑම ආකාරයක රාජ්‍යය පාලනයක් යටතේ තිබෙන, රාජ්‍යය භාරකාරත්වයක් තිබෙන ආයතනයක් මගින් සිදුවන අකටයුතුකම් පවා ඊට අදාළ වන බව අමතක නොකළ යුතුයි. විශ්වවිද්‍යාලවල සිදුවන නවක වදය, පාසල්වල සිදුවන ප්‍රචණ්ඩත්වය යනාදියත් මීට අයත් වෙනවා. දරුවන්ට සිදුවන අමානුෂික පහරදීම්, ළමා නිවාසවල සිදුවන ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ පැමිණිලි විශාල වශයෙන් ලැබෙනවා. වධහිංසාවට පහරදීම් පමණක් නෙමෙයි කෲර අමානුෂික සැලකීම්, අවමන් සහගත සැලකීම් යනාදී සියල්ලත් අයත් වෙනවා. ඒ නිසා වධහිංසාව පිළිබඳ කතා කරන විට මේ හැම අංශයක් පිළිබඳවම අපි පුළුල් ලෙස සොයා බලා, කතා කළ යුතු වෙනවා. මේවා වැළැක්වීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් අදහස් ඉදිරිපත් කිරීම වැදගත්.

පොලිස් වධහිංසාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශය වන්නේ ‘පොලිසිය අපරාධ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් ලැබිය යුතුයි’ යන්නයි. අපරාධ විමර්ශනයේදී පොලිසිය තවමත් ප්‍රාථමික ක්‍රමවේද භාවිතා කිරීමට හේතු ලෙස අපි දකින්නේ කලක් තිස්සේ පැවතගෙන එන පුරුද්ද සහ වධහිංසාව සම්බන්ධයෙන් යම් අවස්ථාවලදී ජනතාව අතරත් යම් පක්ෂපාතීත්වයක් තිබීම යන කාරණායි. උදාහරණයක් ලෙස වධහිංසාව පමුණුවා තිබෙන්නේ සමාජය බරපතළ ලෙස විරෝධය පළ කරන ක්‍රියාවකට නම්, එම වධහිංසාව සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ල වන බවක් අපිට පෙනෙන්නට නැහැ. මෙවැනි සමාජ පරිසරයක් තුළ ඒ පිළිබඳව පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකාරීත්වය වෙනත් මගකට යොමු කරවන වැඩපිළිවෙළක් පිළිබඳව සිතිය යුතුයි. ඔවුන්ට අවශ්‍යය අපරාධය පිළිබඳ තොරතුරු අදාළ සැකකරුගෙන් ලබා ගැනීමට නම් ඒ සඳහා හොඳ විමර්ශන ක්‍රම තිබිය යුතුයි. දැනටමත් පොලිසියට මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පුහුණුවීම් ලැබී තිබෙනවා. පොලිසියේ ඉහළ නිළධාරීන්ට සහ විවිධ ස්ථරවල නිලධාරීන්ට ලබා දෙන SOCO (Scene Of The Crime Officers) ඒ සඳහා උදාහරණයක්. නමුත් මීටත් වඩා ඉහළ නවීන පොලිස් විමර්ශන ක්‍රමවේදවලට යාම අවශ්‍යයයි. ඒ වගේම රජය එම නවීන තාක්ෂණය රටට ලබා දීමත් එම තාක්ෂණය භාවිත කරමින් පොලිසිය වඩා විශිෂ්ට ලෙස කටයුතු කිරීමත් දැන් අවශ්‍යතාවය වී තිබෙනවා. එසේ නොමැතිව නඩුවලින්ම පමණක් මේ ප්‍රශ්නය විසඳගන්න හදනවා නම් එය අසාර්ථකයි. මොකද වධහිංසාව කියන්නේ පොලිස් උප සංස්කෘතිය තුළ පැළ පැදියම් වී තිබෙන දෙයක්. පොලිසියෙන් පරිබාහිර වෙනත් ආයතනවලටත් වධහිංසා ප්‍රශ්නය ව්‍යාප්ත වී තිබෙනවා. විශ්වවිද්‍යාලවල නවක වදය, පාසල්වල ප්‍රචණ්ඩත්වය වගේම වැඩිහිටි නිවාසවල සිදුවන අකටයුතුකම් වැනි දේවල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ගමන්ම මේවා වැළැක්වීමට නිසි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් කළ යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධානවල කතිකාවත අතිශයින්ම වැදගත්. වධහිංසාව වැනි සංසිද්ධියක් සහමුලින් තුරන් කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව සමග පමණක් නෙමෙයි ජාතික පොලිස් කොමිෂන් සභාව සමගත්  ක්‍රියාකරමින්  ඒ සඳහා විවිධ ක්‍රමවේදයන් ද යොදා ගත යුතු බව මගේ අදහසයි. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි ඒ ශ්‍රේණියට පත්වී තිබෙනවා. මෙය රටක් වශයෙන් අප ලද ජයග්‍රහණයක්.

 ඔව්, පැහැදිලිවම. මානව හිමිකම් කොමිෂන් සභාව B ශ්‍රේණියට වැටීම පිළිබඳ වාර්තා ඔබ දැක ඇති. ඒ කාලයේදී තිබුනේ ICC හෙවත් International Coordination Committee (ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටුව) කියන කමිටුව. එම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සිදුකළේ දේශීය මානව හිමිකම් යාන්ත්‍රණ සම්බන්ධයෙන්. ICC කමිටුව නිකුත් කළ වාර්තා අනුව පසුගිය කොමිෂන් සභාවට B ශ්‍රේණිය ලැබුනේ මූලිකවම කරුණු දෙකක් පාදක කොටගෙනයි. එකක්, පත්කිරීම්වල ස්වාධීනතාවය පිළිබඳ ගැටලු. මෙය විමසන්නේ පැරිස් මූලධර්මවලට අනුකූලව. පැරිස් මූලධර්ම කියන්නෙ, දේශීය මානව හිමිකම් යාන්ත්‍රණ අනුකූලතාවය දැක්විය යුතු ජාත්‍යන්තර මිණුම් දඬුවලටයි. එහිදී සම්පූර්ණ කළ යුතු ප්‍රධාන නිර්ණායකයක්, වන්නේ ස්වාධීනත්වයයි.  කොමිෂන් සභාවට සිදු කරන පත්කිරීම් ස්වාධීන විය යුතුයි. ඇත්ත වශයෙන්ම 2007 දී අපි B ශ්‍රේණියට වැටෙන විට පසුගිය කොමිෂන් සභාවට එම පත්කිරීම් සිදු කර තිබුනේ සෘජුවම විධායක ජනාධිපතිවරයාගේ අභිමතය පරිදියි. නමුත් ඒ වන විටත් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති පොතේ තිබුනා. 17 වන සංශෝධනය තිබියදීත් එය අහක දමා වෙනමම ගමනක් ගිහිල්ලා ඒ පත්කිරීම් සිදුකර තිබුණා. එම කොමිෂන් සභාව එවකට රටේ තිබුන මානව හිමිකම් ප්‍රශ්නවලට මැදිහත් නොවීම දෙවැනි හේතුව වුනා. එම ජාත්‍යන්තර කමිටුව උපුටා දක්වනවා මානව හිමිකම් කොමිෂන් සභාවේ එක ප්‍රකාශයක්. ‘අතුරුදන්වීම් පිළිබඳ පැමිණිලි සලකා බැලීම ඔවුන් පස්සට දමනවා රජයෙන්  නියෝගයක් එන තෙක්’ කියන කාරණය. එදා තිබුන පනත යටතෙයි අද මේ කොමිෂන් සභාව කටයුතු කරන්නෙත්. එකම වෙනස අද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබෙනවා සහ එය ක්‍රියාත්මක වෙනවා. එහිදී පැහැදිලිව කිව යුතුයි මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකත්වය ඉතා වැදගත් බව. ඒ කියන්නේ අදාළ පත්කිරීම් සිදුකරන ආකාරය ඉතා වැදගත්. 19 වන ව්‍යස්ථාව ක්‍රියාත්මක නොවුනා නම් මමත් අනෙක් කොමසාරිස්වරුනුත් මෙතන නැතිවෙයි. අපේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා වුනේ එක් එක් සිවිල් සංවිධානවලින්. මගේ නම යෝජනා කරල තිබුනේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මඟින්. හිටපු කොමසාරිස් සාලිය පීරිස් මහතාගේ නම යෝජනා වෙලා තිබුනේ නීතීඥ සංගමයෙන්. මේ විදිහට පුළුල් සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක් තුළිනුයි අපේ නම් යෝජනා වෙලා ඉහළට ආවේ. මම සභාපතිනිය විදියට වැඩකිරීමේදී පහසුවක් වී තිබෙන්නෙ මගේ සහෝදර කොමසාරිස්වරුන්ගේ දක්ෂතා, හැකියාවන්, මානව හිමිකම් සම්බන්ධයෙන් ඔවුන් සතු න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමයි. ඒ නිසාම කොමිෂන් සභාව තුළ හොඳ තුලනයක් පවතිනවා. 19 වන සංශෝධනය සම්මත කිරීමට දායක වුන සියලුම දෙනාටම අපි ප්‍රණාමය පුද කළ යුතුයි. ඒ නිසාම මෙය මානව හිමිකම් කොමිෂන් සභාවේ පමණක් නොවෙයි රටක් වශයෙන් අපි ලද ජයග්‍රහණයක් ලෙසයි මමත් දකින්නේ. 

මේ තත්ත්වයට ළඟා වීම සඳහා පසුගිය අවුරුදු දෙකක කාල සීමාව තුළ මානව හිමිකම් කොමිෂන් සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාද?

ඒ ශ්‍රේණියට යාමට සිදුකළ කාර්යන් පිළිබඳව කතාකිරීමේදී, ඒ සඳහා අයදුම්කිරීම ඉතා අපහසු ක්‍රියාවලියක්. මොකද හැම තොරතුරක්ම එම ජාත්‍යන්තර කමිටුව ඉල්ලා සිටිනවා. එහිදී මූලිකවම අපි පෙන්වා දුන්නේ ස්වාධීනත්වය රැකගැනීම වෙනුවෙන් අපි කළ දේවල්. අපි පැමිණිලි විමර්ශනය කිරීම පමණක් නොවෙයි රජයට උපදෙස් ලබාදීමත් විශාල වශයෙන් සිදුකළා. රජයට උපදෙස් ලබාදීම තුළින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. එසේ නොමැතිව එක් එක් පුද්ගලයා ගෙන එන පැමිණිලි විමර්ශනය කිරීම තුළින් පමණක් ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම සිදු කළ නොහැකියි. එම කමිටුවට දැනුම් දීමට හැකිවුණා අපි විශාල පරාසයක් පුරා පැතිරුණු ප්‍රශ්න ගණනාවක් කෙරෙහි ක්‍රියාත්මක වුණු බව. විශේෂයෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදන්කිරීම් ගැන, වෛරී කථනයන් පිළිබඳ, භාෂණයේ නිදහස සම්බන්ධ ගැටලු යනාදිය පිළිබඳව අපි ක්‍රියාත්මක වුණු ආකාරය පෙන්වා දුන්නා. එසේම ආර්ථික, සමාජීය අයිතිවාසිකම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ අන්තර්ගත විය යුත්තේ ඇයි යන කාරණය පිළිබඳව අපි විශාල හඬක් නැගුවා. ඒ වගේම කිසිම පැකිලීමකින් තොරව මානව හිමිකම් ගැටලුව කුමනාකාරයේ වුවත් ඒ සඳහා මැදිහත් වන බව අප පෙන්වා දුන්නා. මම හිතන්නේ අපි ගත් මේ පියවරයන් මානව හිමිකම් කොමිෂන් සභාව  ඒ ශ්‍රේණියට ගෙනයාමට හේතුවූ බවයි. නමුත් මෙයින් පමණක් අපට සෑහීමකට පත්වෙන්න බැහැ. මානව හිමිකම් කොමිෂන් සභාව අභ්‍යන්තරයෙන් ශක්තිමත් කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ සඳහා අපට තව පිරිස් බලය, නවීන තාක්ෂණය අවශ්‍යයයි. එසේම යල් පැන ගිය පරිපාලන රීති යටතේ කටයුතු කිරීම අසීරුවී තිබෙනවා. ජනතාව ඉදිරිපත් කරන පැමිණිලි විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ගත් විට දැනට තියෙන්නේ අපිට කිසිසේත් සෑහීමට පත්විය නොහැකි තත්ත්වයක්. පැමිණිලි විමර්ශනයේ ප්‍රමාද වීම් වළක්වා ගන්න පිරිස් බලය, පුහුණුව සහ කාර්යමණ්ඩලය අභිප්‍රේරණය කිරීම අපට අත්‍යවශ්‍යව තිබෙනවා. ඒ වගේම යම් කිසි අකටයුත්තක් රට තුළ සිදුවෙනවා නම් එය පෙන්වා දීම මානව හිමිකම් කොමිසමේ කාර්යභාරයක්. රටක මානව හිමිකම් කොමිසමක් ඇති කර තිබෙන්නෙ ඒ වෙනුවෙන්. එසේ නොමැතිව කොමසාරිස්වරු ඇඟ බේරගෙන වැඩ කරනවා නම්, එවන් කොමිෂන් සභාවකින් වැඩක් නැහැ. ■ 

ලක්ෂාන් ප්‍රනාන්දු විසින් 2018.06.17 සමබිම ඉරිදා අතිරේකයට සකස් කරන ලද ලිපියකි.                                                          උපුටා ගැනීම http://www.samabima.com



2018-06-19
Advertisement

Find us on Facebook