English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසා පනත යටතේ පැවරූ නඩු පිළිබදව තොරතුරු නීතිපති සතුව නැතිලූ

වදහිංසාව 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍යයෙන් ප‍්‍රධාන කොටසක් වන මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වේ. එමෙන්ම 1994 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනතක් මගින් 1994 අංක 22 දරණ වදහිංසාව සහ වෙනත් ආකාරයේ කෲර අමානුෂික හා අවමන් සහගත සැලකීම් හෝ දඩුවම්ලට එරෙහි සම්මුති පණත මගින් යම් පුද්ගලයෙකුගෙන් තොරතුරු හෝ පාපොච්චාරණයක් ලබාගැනීමට, යම් වරදකට දඩුවම් කිරීමක් ලෙස හෝ යම් පුද්ගලයෙකුට තර්ජනය කිරීම හෝ බලපෑම් කිරීම සදහා යම් රාජ්‍ය නිලධාරියෙකු ශාරීරිකව හෝ මානසිකව පීඩාවක් ඇතිවන කි‍්‍රයාවක් සිදු කිරීම වදහිංසාවක් ලෙස හදුන්වා දෙමින් එවැන්නක් සිදු කිරීම අපරාධ ගනයේ වරදක් බවට පත් කර තිබේ.

එම පණත මගින් වදහිංසාවක් සිදු කිරීම හත් අවුරුදු සිරදඩුවමකට හෝ රුපියල් 50,000 දඩයට හෝ මේ දෙකටම හෝ යටත් විය යුතු වරදක් බවට සදහන් වේ. වදහිංසාව ඉතා බහුලව භාවිතා වන රටක් ලෙස එය වැලැක්වීම සදහා වදහිංසාව ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් ලෙසත්, වදහිංසාවක් සිදු කිරීම අපරාධ වරදක් බවටත් පත්කිරීම නෛතික වශයෙන් ලැබු ජයග‍්‍රහණයන් ලෙස හැදින් විය හැක.

නමුත් මෙම නෛතික තත්ත්වයන් පසුගිය කාලය තුළ නිසියාකාරව කි‍්‍රයාත්මක නොවීම නිසා වදහිංසාවන් හි බරපතල අඩුවක් නොපෙනුනි. වදහිංසාවන් සිදු කරනු ලබන නිලධාරීන්ට එරෙහිව වදහිංසා පනත යටතේ අදාල චූදිතයන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමේ බලය ලබා දී ඇත්තේ නීතිපතිවරයා වෙතය.

මෙම පනත කි‍්‍රයාත්මක වී දැනට අවුරුදු 25කට ආසන්න වී ඇති තත්ත්වයක් තුළ මෙම පනත යටතේ පැවරූ නඩු පිළිබදව විස්තර ලබා ගැනීම සදහා නීතිපතිගෙන් අවස්ථා කිහිපයක දී ඉල්ලා සිටියත් ඊට අදාල තොරතුරු ලබා ගැනීමට නොහැකි විය. පසුගිය දා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිදු කළ ඉල්ලීමකට ප‍්‍රථිචාර දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිළධාරියා විසින් වදහිංසා පණත යටතේ මේ දක්වා නඩු 115ක් ගොනුකර ඇති බව දන්වා ඇත.

එම වාර්තා අනුව පනත සම්මමත වූ 1994 වසරේ සිට 1999 දක්වා වසර 5 තුළ මෙම පනත යටතේ කිසිදු නඩුවක් ගොනු කර නොමැති බව වර්තා කර තිබුනි. වාර්තාව අනුව 2000 වසරේ දී නඩු 6ක්, 2001 වසරේ නඩු 10ක්, 2002 වසරේ නඩු 11ක්, 2003 වසරේ නඩු 23ක්, 2004 වසරේ නඩු 14ක්, 2005 වසරේ නඩු 8ක්, 2006 වසරේ නඩු 09ක්, 2007 වසරේ නඩු 8ක්, 2008 වසරේ නඩු 6ක්, 2009 වසරේ නඩු 2ක්, 2010 වසරේ නඩු 2ක්, 2011 වසරේ නඩු 8 හා 2016 වසරේ නඩු 1ක් ඇතුලූ නඩු 115ක් මේ වන විට ගොනුකර තිබේ. එමෙන්ම, 2012 සිට 2015 දක්වා වර්ෂ 4 තුලත් 2017 සිට 2018 මැයි දක්වා කාලය තුළත් මෙම පණත යටතේ කිසිදු නඩුවක් ගොනු කර නොමැත.

එමෙන්ම මෙහි වැදගත්ම කාරණය වන්නේ නීතිපතිවරයා විසින් පැවරූ ඉහත නඩු 115 න් කොපමණ විත්තිකරුවන් පිරිසක් මේ දක්වා දඩුවම් ලැබී හෝ නිදහස් වී ඇත්ද යන්නත්, කොමපණ නඩු ප‍්‍රමාණයක් පරාජය වී ඇත් ද යන්නත්, 1994 සිට 2017 දක්වා කාලය තුළ මෙම පනත යටතේ පැවරූ නඩු වලින් මේ වනතෙක් කි‍්‍රයාත්මක වන නඩු ප‍්‍රමාණය කොපමණ ද යන්න ඇසු ප‍්‍රශ්ණයන්ට අදාල තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් තොරතුරැ නිලධාරියා විසින් දන්වා තිබීමයි.

වදහිංසා පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමත්, එම නඩු මෙහෙයවීමෙත්, පවත්වාගෙන යාමෙත් වගකීම පැවරී ඇති නීතිපතිවරයා තමුන් පැවරූ නඩු සම්බන්ධව මුලික තොරතුරු පවා තමන් සතුව නොමැති වීම ගැන ප‍්‍රකාශ කිරීම සම්බන්ධව පුරවැසියන් ලෙස අපට සෑහීමකට පත් විය හැකි ද?




2018-06-12
Advertisement

Find us on Facebook