English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවේ අධිකරණ වල නඩු ප‍්‍රමාදය

මෑතකදී විශාල ආන්දෝලනයකට තුඩු දුන් නීතීඥ සුගන්දිකා ප‍්‍රනාන්දුගේ ප‍්‍රකාශය තුළින් මුළු මහත් නීති ක්ෂේත‍්‍රයම කැළඹීමකට ලක් විය. සමාජයේ සෑම දෙනා අතරම කථා බහට ලක් වූ එම ප‍්‍රකාශය තුළින් විද්‍යාමාන වන්නේ දුෂණයට ලක් වී ඇති අධිකරණ ක‍්‍රියාදාමයෙන් පීඩාවට පත්වී හෙම්බත් වූ පීඩිත පංතියේ ජනයා තුළ අධිකරණය කෙරෙහි පවතින හෘද සාක්ෂිය යැයි කෙනෙකුට සිතිය හැක. එම ප‍්‍රශ්නය කොතරම් දුරට අධිකරණ ක්ෂේත‍්‍රය තුළ උඩු දුවා තිබේදැයි කියනවානම් නීතීඥවරියක් විසින්ම ඒවාට එරෙහිව හඬ නැගීම තුළින් සනාථ වේ. නීති පද්ධතිය තුළින්ම එහි අක‍්‍රමිකතා වලට එරෙහිව හඬ නැගීම එක්තරා අතකට සතුටට කාරණයකි.

නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පාලනය තුළ අධිකරණයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. යුක්තිය පසිඳලීම අධිකරණ පද්ධතිය තුළින් බලාපොරොත්තු වන ප‍්‍රධානතම කරුණ වන බැවින් අධිකරණයේ ස්වාධීනත්වය සෑම අවස්ථාවකදීම ආරක්ෂාවීම ඉතා වැදගත්ය. එම විශ්වාසය ජනතාව තුළ ගොඩනැංවීම යනු තවත් පසෙකින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂාවීමක් ලෙස විග‍්‍රහ කළ හැකිය. මේ පිළිබඳව යම් යම් කාලසීමාවන්හිදි සමාජයේ අඩු වැඩි වශයෙන් කථාබහට ලක්වීමේ ප‍්‍රථිඵලයක් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධ මහජන මිනුම්දඬු වල අගයන්ද විටින් විට උස් පහත් වනු දක්නට ලැබිණි. රටක් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හා ස්ථාවරව පවත්වාගෙන යෑමට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ තුන මනා සමබරතාවයකින් පැවතිය යුතුය. මෙම අංශ තුනෙන් එකක් හෝ අඩාල වුවහොත් රටේ ඉදිරි ගමනට එය ප‍්‍රබල ලෙස බලපෑමක් ඇති කරනු නොඅනුමානය.

විධායකය හා ව්‍යවස්ථාදායකය සඳහා සුදුසු පුද්ගලයින් තෝරා පත්කරන්නේ මහජනතාව විසින් වුවත් අධිකරණය සම්බන්ධයෙන් මහජනතාවට සෘජු බලපෑමක් සිදු කිරීමට ඇති අවකාශ අඩුය. අධිකරණය තුළින් මූලිකවම ජනතාව අපේක්ෂා කරන්නේ සාධාරණත්වයයි. මේ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීමට යන ගමනේදී නඩු තීන්දු ප‍්‍රමාදය අවම කර ගැනීම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසා අධිකරණය හා මහේස්ත‍්‍රාත් අධිකරණය ලෙසින් ඉහළ සිට පහළට ගලා එන මෙරට අධිකරණ පද්ධතිය තුළ මේ වන විට විභාග වෙමින් තිබෙන නඩු ප‍්‍රමාණය අති විශාලය. එබැවින් මෙම නඩු වල අධිකරණ තීන්දු ලැබීමට බෝහෝ සෙයින් ප‍්‍රමාදවීම හේතුවෙන් ඇතැම් විට  පැමිණිල්ලේ සාක්ෂිකරුවන් නඩුව විභාග වන කාලසීමාවේදී මිය යෑමට පුළුවන. ඇතැම් සාක්ෂිකරුවන් රට හැර යාම, දීර්ඝ කාලයක් ගත වීම හේතුවෙන් සාක්ෂි අමතක වීම විය හැකි අතර එය අදාළ නඩුවට ප‍්‍රබල ලෙස බලපෑමක් ඇති කිරීමට හේතු වේ. අනෙක් අතට නඩු තීන්දුව ප‍්‍රමාද වන විට විත්තිකරුවකු නොයෙක් ආකාරයෙන් පීඩාවට පත්විය හැක. අපරාධ වරදකට චෝදනා ලත් තරුණයෙකු නම් ඔහුට රැුකියාවකට යාමට, විවාහ ජීවිතයට ඇතුලත් වීමට යනාදී ජීවිතයේ වැදගත් අංශයන් සම්පූර්ණයෙන් අඩාල වීමකට ලක්වේ. ඇතැම් විට ඔහු නඩු තීන්දුව මගින් නිවැරදිකරු වුවහොත් නඩුව විභාග වූ කාල සීමාව තුළ ඔහුට අහිමි වූ දේ පිළිබඳව වගකියන්නේ කවුද යන්න බරපතල සමාජ ප‍්‍රශ්නයකි.

අපරාධ නඩු පිළිබඳව සැලකීමේදී ඒවා විභාග කළ හැකි අධිකරණ දෙකක් ඇත. එනම් මහේස්ත‍්‍රාත් අධිකරණය සහ මහාධිකරණයයි. මෙහිදී බොහෝ විට අපරාධ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ මූලික පරීක්ෂණයක් පවත්වා සාක්ෂි ඇත්නම් නඩු ලිපිගොනුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීම පිණිස නීතිපතිවරයා වෙත යොමු කිරීම සිදු වේ. මේ ආකාරයට අපරාධ නඩුවක් මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිට නීතිපතිවරයා හරහා මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීම දක්වා අවම වශයෙන් වසර තුනක හෝ හතරක කාලයක් ගතවේ. ඉන්පසුව මෙම නඩුව මහාධිකරණයේ විභාග කොට අවසන් වීමට තවත් වසර හතරක් හෝ පහක් හෝ ඇතැම්විට ඊට වඩා කාලයක් ගතවේ. පුරවැසියන්ගේ ප‍්‍රධාන අයිතීන් වන මූලික අයිතිවාසිකම් පිළිබඳව සැලකීමේදි එම අයිතීන් කඩ වීමකට අදාළව ගොනු කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය සතුවය. මේ සම්බන්ධයෙන් 1978 ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 126(5) ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සිදුකළ දින සිට මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොට කටයුතු නිම කළ යුතු බවයි. ලංකාවේ නඩුවක් විභාග කොට කටයුතු අවසාන කළ යුතු කාල සීමාව දක්වන එකම ලිඛිත නීති ප‍්‍රතිපාදනය වන්නේ මෙය පමණක් වන අතර එයද මූලික අයිතිවාසිකම් නඩුවලට පමණක් සීමා කොට ඇත. නමුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මෙම නෛතික ප‍්‍රතිපාදනය පවා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක නොවේ. ඒ බව මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය සතු දත්ත වලට අනුව 2015, 2016 සහ 2017 යන වර්ෂ වලට අදාළව තොරතුරු වලින් සනාථ වේ.

එසේම පොදුවේ ගත් කල අධිකරණ අමාත්‍යංශයේ දත්ත වලට අනුව ලංකාවේ දිසා අධිකරණ 82න් 72ක තොරතුරු සහ මහේස්ත‍්‍රාත් අධිකරණ 100න් 80ක තොරතුරු පාදක කර ගනිමින් බැලූ විට 2016 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියළුම අධිකරණ වල නඩු 610358ක සංඛ්‍යාවක් ඉදිරියට ගෙනවිත් ඇත. 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් 30 දක්වා නඩු 341775ක සංඛ්‍යාවක් අළුතින් නඩු සංචිතයට එක් වී ඇති අතර ඉන් නඩු විසඳී අවසන්ව ඇත්තේ 297892ක් වන අතර නඩු 399591ක ප‍්‍රමාණයක් විසඳීමට ඉතිරිව ඇත.

එබැවින් මෙම ගැටළුව අවම කොට අධිකරණයේ යුක්තිය පසිඳලීමේ කාර්යය කාර්යක්ෂම කර ගැනීම සඳහා රාජ්‍යය පාර්ශවයෙන් ඉටු කළ යුතු කාර්යයන් බොහොමයක් පවතී. ඒ අතරින් කිහිපයක් ලෙස පවතින යල් පැන ගිය නීති සංශෝධනය කිරීම, අධිකරණ වල නඩු කාර්යපටිපාටියේ පවතින දුර්වලතා නවීකරණය කිරීම, අධිකරණ සහ විනිසුරුවරුන්ගේ ප‍්‍රමාණය සහ සම්පත් වැඩි කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා නීතීඥයින්ගේ ප‍්‍රමාණය වැඩි කිරීම සහ එහි අනෙකුත් කාර්යමණ්ඩලය පුළුල් කිරීම, නව තාක්ෂණික ක‍්‍රමවේදයන් අධිකරණ නඩු කටයුතු සඳහා යොදා ගැනීම යනාදිය විශේෂ කොට දැක්විය හැක.

හිරෝෂන් ලක්ෂාන්
උපුටා ගැනීම ජුනි 08 සමබිම අනිද්දා අතිරේකය



2018-06-11
Advertisement

Find us on Facebook