English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රටම රණවිරුවන් සමරද්දී, “සාදු ජනරාව” හම්බන්තොටට

මැයි මස 19 වෙනි දින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දවසක්. ඒ ඔවුන් රණවිරු දිනය සමරන්නේ එදිනයි. එහෙත් එය එසේ සැමරිය හැකිදැයි ප‍්‍රශ්ණයක් අප තුළ පැන නගින්නේ දෙමළ වැසියන් දහස් එදින ශෝක දිනයක් සැමරීම නිසායි. යුද්ධයෙන් මිය ගිය තමන්ගේ දමිළ ඥාතීන් සිහි කරන්නේ එදිනයි. එදිනට ඔවුන් දකුණේ මෙන් රණවිරු ගී නොව ශෝක අඳෝනා පමණකි.

දකුණේ සිටින සංවේදී මිනිසුන් වෙනත් අයුරකින් මැයි 19 වෙනි දින අනුස්මරණය කරයි. ඒ අපගේ වීදියේ කලාකරු, ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන් තමන්ට රාජපක්ෂ රෙජීමයේ මැරයන් විසින් පහර දුන් නගරයේදීම තමන්ගේ ”සාධු ජන රාව” සංගීතමය අඩහැරය පවත්වන්නට යෙදුනි. ඒ 2018 මැයි මස 19 වෙනි දින, පස්වරු 2.30 ට, හම්බන්තොට සිංගප්පූර් ශ‍්‍රවණාගාරයේදීය.  

 

මෙහිදී ජයතිලක බණ්ඩාරයන් ගැන යමක් කිව යුතුමය. අසනයෙන් පෙලූනු දකුණේ තරුණයන් සමග යුක්තිය හා සමාජ සාධරණත්වය වෙනුවෙන් 1971 දී ගිනි අවි අතට ගත් ඔහුට තම ජීවිතය ආරක්ෂා කරගන්න ලැබෙන්නෙ අහඹු සිදුවීමකින්, වේලාසනම පොලිස් අත්අඩංගුවට පත්වී හිරේ විලංගුවේ වැටීමට සිදු වීම ඔහුගේ ජීවිතය ආරක්ෂා වීමටත්, ජීවිතයේ සැබෑ අරුත් සොයා යාමටත් හිරගෙදර ඔහුට එදා පිටුවහලක් වුනා.

හිරගේ ජීවිතයෙන් පසුව ඔහු සමග සිටි බොහෝ අය අරගල අතහැර අයුක්තිය සාධාරණය කරන්න උත්සාහ කරද්දි ඔහු ඔහුගේ සටහන අතහැරියෙ නැහැ. අයුක්තියට ආසාධාරණයට එරෙහිව ඔහු නැවතත් සන්නද්ධ වෙනවා. හැබැයි ඒ සංගීත භාණඩයන්ගෙන්, ගීතයෙන් හා සාහිත්‍යයෙන්. 1971 දී ඔහු සම්බන්ධ වූ සන්නද්ධ නැගිටීමට වඩා මෙය ඉතා සාර්ථක වෙනවා. ඔහුට ලංකාව පමණක් නොව ඉන් පිටත් ගමන් කරමින් ජාති, ආගම් හා කුළ නොසලකා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ හදවතට ආමන්ත‍්‍රණය කරමින්  ඔවුන් අවධිකරනු ලබනවා.  

විටන් විට ඇති වූ කැරලි,  කෝලහල හා සිවිල් යුද්ධයත් සම`ග විනාශව ගිය දේශයේ මිනිසුන්ගේ තුවාල වූ හදවත් සුව කිරීම සදහා ගීතයෙන් හා සාහිත්‍යයෙන් ඔහු කරනු ලබන සේවය අනගිභවනීයයි.

1978දී ශ‍්‍රී ලංකාවේ පිහිටුවනු ලැබූ ප‍්‍රථම ගුවන් විදුලි මධ්‍යස්ථානය වන රජරට සේවයේ සිතාර් වාදකයෙකුද නිවේදකයෙකුද සරල ගී ගායකයෙකු වූ ජයතිලක බණ්ඩාරට එහි දී ගුණදාස කපුගේ, ප්‍රේම කීර්ති ද අල්විස්, නිව්ටන් ගුණසිංහ, විජයානන්ද ජයවීර, සුධර්මන් ද සිල්වා හා  ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර වැනි ක්ෂේත‍්‍රයේ දැවැන්ත මිනිසුන් සම`ග වූ ඇසුර සංගීතය, කලාව සහ දේශපාලනය පිළිබ`ද ඔහු තුළ වූ දැනුම තිව‍්‍ර කිරීමට සමත් විය.

1990 වසරේ ගුවන් විදුලි වැඩ තහනමක්ට ලක්වන ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර අතින් එහි ප‍්‍රතිඵලයක් ලෙස ‘කම්පන’ නම් වූ ගීත ප‍්‍රසංගය නිර්මාණය විය. 1995 වසරේදී ‘සාධුජනරාව’ නමින් සාමය උදෙසා ගීත ප‍්‍රසංගයක් නිර්මාණය කරගත් ජයතිලක බණ්ඩාර, සර්පිනාවක් සහ තබ්ලාවක් පමණක් ඇතිව ප‍්‍රජා ශාලාවන්හිද බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවෙහිද ගම් මට්ටමේ කුඩා පාසල්වලද සියලු විශ්වවිද්‍යාලවලද වෙනසක් අඛණ්ඩව ප‍්‍රසංග වාර හැත්තෑවක් පැවැත් වීමෙන් අනතුරුව සාධු ජන වන්දනාව නමින් නව ම`ගකට පිළිපන්නේය. උතුරේ එල්ටීටීඊය සටන්කාමින්ගේද දකුණේ සිංහල ජාතිවාදීන්ගේද බාධා කිරීම් මැද සාධු ජන වන්දනාව අත්නොහැරී ජයතිලක බණ්ඩාර සහ ඔහුගේ කණ්ඩායම 2013 වසරේ පැවති ජරාජීර්ණ දේශපාලන ක‍්‍රමයට  එරෙහිව බියෙන් අත් මිදෙමු ගීත ප‍්‍රසංගය ආරම්භ කළේය.  

1970දී පාසල් ශිෂ්‍යයෙකුව සිටි අවදියේ නන්දන මාරසිංහගේ බලපෑමෙන් ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය වෙත ආසක්ත වූ ජයතිලක බණ්ඩාර 1971 වසරේ අවුරුදු දහඅටක තරුණයෙකුව සිටියදී සිරභාරයට පත් විය. සිරගෙදර ගත කළ ජීවිතය ඔහු වඩවඩාත් සාහිත්‍යට හා කලාවට සමීප කරවන ලදී. අනුරාධපුර, බෝගම්බර, වැලිකඩ සිරගෙවල් තුළද පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ පුර වැනි පුනරුත්තාපන ක`දවුරු තුළද කලින් කලට ගත කළ කටුක දිවිය, පසුකලෙක ඔහුගේ ජීවන ගමන් ම`ග අභියෝග ජයගන්නට දිරි දුන්නේය. සිය මිත‍්‍රයන් සම`ග අනුරාධපුර සිරගෙදරින් පළා ගොස් කලක් කැලෑ වදිමින්ද ගම්දනව්වල ඇවිදිමින්ද රහසිගත ජීවිතයක් ගත කළ ඔහු, පසුකලෙක අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ම`ගින් නිදහස් කරනු ලැබිණි.

ඉන් අනතුරුව ජවිපෙ ‘විමුක්ති ගී’ ප‍්‍රසංගයට සිතාර් වාදකයෙකු ලෙස සම්බන්ධ වූ ජයතිලක බණ්ඩාර, පසුකලෙක ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලන මතවාදය සම්බන්ධයෙන් ඔහු තුළ වූ අකමැත්ත හේතුවෙන් ඉන් ඉවත් වීමට තීරණය කළේය. විශේෂයෙන්ම ජවිපෙ උතුරේ ප‍්‍රශ්නය සහ දෙමළ ජනතාව පිළිබ`ද දැරූ ජාතිවාදී අස්ථානය ඔහු නොඉවසූවේය. “කොතැනද මරණය තිබෙන්නෙ මම එයට විරුද්ධ වුණා. කොතැනද අරගලය තිබෙන්නෙ, මම එයට සම්බන්ධ වුණා.” ඔහුගේ දේශපාලනය එපරිදි විය.

සිවිල් සමාජ ක‍්‍රියාධරයෙකු වශයෙන් මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියත්, කතා කිරීමට අදහස් ප‍්‍රකාශ කිරීමට සහ රැස්වීමට ඇති අයිතියත් වෙනුවෙන් නොනිමි අරගලයකට පණ දුන් අය අතර ඔහුද කැපී පෙනුණේය.

ජයතිලක බණ්ඩාරයන් හම්බන්තොටදී පැවැත්වූ “සාදු ජනරාව” ප්‍රසංගයේ කොටසක් පහත වීඩියෝවෙන්...

          




2018-05-22
Advertisement

Find us on Facebook