English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රජයත්, බහුතර ජනසමාජයත්, වදහිංසාව තවමත් පැවතිය යුත්තක් බව නොනිල මට්ටමින් පිළිගනී - පිලිප් දිසානායක
පසුගිය අවුරුදු තුන පිළිබදව ආපසු හැරී බැලූවොත් මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධව නෛතික වෙනස්කම් රාශියක් නව රජය විසින් සිදු කර තිබුනත් ඉන් ඇ`ගට දැනෙන රටට පෙනෙන වෙනසක් සිදු වී නැහැ. පසුගිය අවුරුදු තුන තුල බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම් පිළිබදව වාර්තා නොවුවත්, නීති විරෝධී ඝාතණ, පොලිස් අත්අඩංගුවේ දී මිය යාම් හා වදහිංසාවන් හි කිසිදු අඩුවක් අපිට පෙනෙන්න නැහැ. ඒවා පෙර පරිදිම සිද්ධ වී තිබෙනවා. මින් පෙනෙන්නෙ මේවා වැලැක්වීම සදහා ගෙන ආ නව නීති රීති තවමත් ප‍්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැති බවයි.

පිිලිප් දිසානායක මහතා මෙම අදහස් පල කළේ ඊයේ (16) කොළඹ රේනුකා හොටලයේ පැවති වධහිංසාවට එරෙහි සිවිල් සමාජ එකතුවේ වැඩමුලූවකට සහභාගී වෙමිනි. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබු මෙම සාකච්ඡාව සදහා සිවිල් සංවිධාන 22 ක නියෝජිතයින් හා මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සුලාරි ලියනගම මහත්මිය ද සහභාගී විය.

එහි දී පිලිප් දිසානායක මතහා වඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මේ රටේ ප‍්‍රගතිශීලීන් හා සිවිල් සමාජ නියෝජිතයින් කාලයක සිට ඉල්ලා සිටි ඉතා වැදගත් නීතිමය ප‍්‍රතිසංස්කරණ කිහිපයක් සිදුවීම ඉතා වැදගත් මෙන්ම එය සුබවාදී පියවරක් බවයි. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත, තොරතුරු දැන ගැනීමේ පනත, තොරතුරු අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගැනීම, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත, එක්සත් ජාතීන්ගේ වදහිංසාවට එරෙහි වෛකල්පිත ප්‍රොටෝකෝලයට අත්සන් තැබීම හා අතුරුදහන්වුවන්ගේ කාර්යාල ස්ථාපිත කිරීමත්, 19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා  ස්වාධීන කොමිෂන් සභාවන් පත්කිරීමත් නව රජය ගන්නා ලැබූ ඉතා වැදගත් පියවරයන් බවයි. 

එමෙන්ම, රජය විසින්  2017-2020 මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය සදහා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමත් සුභවාදී කටයුත්තක් බවත්, මෙම සැලැස්ම තුළින් ප‍්‍රධාන ක්ෂේත‍්‍ර 10 ක් පිළිබදව ක්‍රියාකාරී සැලැසුම් ඉදිරිපත් කර ඇති බවත් ඉන් එක් පරිඡේදයක් වදහිංසාව වැලැක්වීම සම්බන්ධයෙන් සැලැසුම් ඉදිරිපත් කර ඇති බවත්, ප‍්‍රකාශ කලාය. නමුත් මෙම සැලැස්ම පසුගිය රජය ඉදිරිපත් කළ සැලැස්ම මෙන් කුණු කූඩයට වැටෙන්නට නොදී සත්‍ය ලෙසම ක්‍රියාවට නැන්වීම සදහා කටයුතු කළ යුතු බවත්, සිවිල් සමාජය මෙම කටයුත්තට සහාය දී මෙය ක්‍රියාත්මක කිරීමට බලකීරීමත්, අධීක්ෂණය කිරීමත් සිදු කළ යුතු බවත් ප‍්‍රකාශ කලාය. 

රජය නව නීති ගෙන එන අතරේ මීට අවුරුදු 24කට පෙර වදහිංසාව අපරාධ වරදක් කිරීම සදහා ගෙන එනු ලැබූ 1994 අංක 22 දරණ වධහිංසාවට එරෙහි පනත ක්‍රියාත්මක වීම මේ වන විට සම්පුර්ණයෙන් අක්‍රිය වී ඇති බවත්, පසුගිය අවුරුදු 24 තුළ මෙම පනත යටතේ කොපමණ නඩු ප‍්‍රමාණයක් ගොනුකර තිබේ ද යන්න පවා රහසක් බවත්, ඒ පිළිබදව මානව හිමිකම් කොමිසම ඇතුලූ සිවිල් සංවිධාන නීතිපති දෙපර්තමේන්තුව විමසා ඇතත් එම තොරතුරු මෙතෙක් ලබා දී නැති බවත් සදහන් කලාය. රයිට් ටු ලයිෆ් සංවිධානය තොරතුරු පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබදව නැවත විමසීමක් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

මේ පිළිබදව දැනට ඇති එකම තොරතුර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අයිතිය වෙබ් අඩවියට පැවසු තොරතුරු පමනක් බවත් නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිල ප‍්‍රකාශයක් මෙතෙක් සිදු කර ඇති නොමැති බවත් ප‍්‍රකාශ කලාය, අජිත් රෝහන මහතාගේ ප‍්‍රකාශය අනුව මෙම පනත යටතේ නඩු 102 ක් පවරා පොලිස් නිලධාරීන් 32 දෙදෙනෙකුට දඩුවම් ලබා දී ඇති බවත් නිලධාරීන් 16ක් නිදහස් කර ඇති බවත් තවත් නඩු 54ක් මේ වන විට විභාග වෙමින් පවතින බවත් ප‍්‍රකාශ කර තිබුනි.

කොපමණ නීති සැකසුවත් අපරාධ පරීක්ෂණය සදහා පොලීසියට නවීන පුහුණුව හා තාක්ෂණය ඒ සදහා සුදුසුකම් සහිත නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ඒකකයන් ස්ථාපිත නොකරනතාක් පොලිසිය සැකකරුවන්ගෙන් ප‍්‍රශ්ණ කිරීම සදහා සුදුපුරුදු පරිදි කටයුතු කිරීම නොවැලැක්විය හැකි බවත් කියා සිටියාය. 84,000 ක් වන පොලිස් නිලධාරීන්ගෙන් පසුගිය රජය සමයේ අවම සුදුසුකම් වත් සපුරා නැති 24,000 පමණ නිලධාරීන් ප‍්‍රමාණයක් බදවාගෙන ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසම කල වාර්තාවක සදහන් ව ඇති බවත් ප‍්‍රකාශ කළාය. 

එමෙන්ම, වධහිංසාව පවත්වාගෙන යාම නිල නොවන අයුරින් රජයත්, රටේ බහුතරයක් වන ජනතාවගෙත් ආශිර්වාදයෙන් සිදු වන කටයුත්තක් බවත්, මීට එරෙහිව ප‍්‍රබල මැදිහත්වීමක් අවශ්‍ය බවත්, වදහිංසාව කෲර හා අමානුෂික ක්‍රියාවක් බවට මතයක් ගොඩනැගිය යුතු බවටත්, ඒ සදහා සිවිල් සමාජය මීට වඩා මැදිහත් විය යුතු බවත් ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කලාය.

මේ අතර රටේ පවතින බරපතල නඩු ප‍්‍රමාදය නීතියේ ආධිපත්‍ය ගොඩනැගීමටත්. යුක්තිය පසිදලීම සදහාත් විශාල බාදවක් වී ඇති බවත්. මීට පිලියම් ලෙස අධිකරණ අලූතින් පිහිටුවීමල නඩු අහන කාලය දීර්ඝ කිරීමල එක දිගට නඩු ඇසීමට උපදෙස් ලබා දීම හා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍යව තිබූ  නව නිලධාරීන් බදවා ගැනීම් සිදු කිරීමත්, අධිකරණ සංවිධාන සංශෝධන පණත වැනි නව නීති ස්ථාපිත කිරීමත් මෙම ගැටලූව විසදීම සදහා රජය ගෙන ඇති වැදගත් පියවරයන් බවත් ප‍්‍රකාශ කලාය,

සෑම අධිකරණයකම නඩු දහස් ගනනින් ගොඩ ගැසී ඇති බවත්, 2017 සැප්තැම්බර් වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් නඩු 3783ක් ගොඩ ගැසී තිබූ බවත් අනෙකුත් අධිකරණ සමග බැලූ විට ඉහත දින වන විට නඩු 6,20,297 ක් ගොඩ ගැසී ඇති බවත් මෙසේ ලක්ෂ ගනනින් නඩු ගොඩ ගැසීම අපරාධ හා ¥ෂණ වැඩි වීමටත්, යුක්තිය ප‍්‍රමාද වීමටත්, අධිකරණ ක‍්‍රමය පිළිබදව මහජනයාගේ විශ්වාසය පලූදුවීමටත් ප‍්‍රධාන වශයෙන් බලපා ඇති බවත් පැවසීය.  

එමෙන්ම මෙම නඩු වලින් බොහෝ නඩු විශේෂයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයන් හි ඇති නඩු පොලිසිය විසින් පැවරූ බොරු නඩු බවත් ආසියානු මානව හිමිකම් කොමිසම ලංකාවේ තවත් සිවිල් සංවිධාන කිහිපයක් සමග පොලිස් වදහිංසා සිද්ධි 400 ක් සම්බන්ධව කළ සොයා බැලීමක දී පෙනී ගියේ පවරා ඇති නඩු වලින් 50% කට වඩා වැඩි ප‍්‍රමාණයක් වදහිංසා කිරීමෙන් පසුව බොරු නඩු පවරා ඇති බවයි. මෙසේ නීති විරෝධී අවි, මත්දව්‍, සොරකම්, රාජකාරියට බදා කිරීම්, වැනි විවිධාකාරයේ චෝදනා ගොනුකර බොරු නඩු පැවරීම සාමන්‍ය දෙයක් බවට පත්ව ඇති බව, මින් වින්දිතයින් බිය වද්දා තමන්ට සිදු වූ අයුක්තිය හා අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව නීතිමය පියවර ගැනීමට උනන්දු නොවන බවත් ඔහු පැවසීය.

මේ අතරින් රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාකාරීත්වය බරපතල ගැටලූවක් ව ඇති බවත්, මූලික අයිතිවාසිකම් නඩු දැමීම කිසියම් සංවිධානයක සහාය නොලබා දැමීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මූලික අයිතිවාසිකම් නඩුවක් මාස 2කින් අවසන් කළ යුතු බවට ව්‍යවස්ථාවේ සදහන් වුවත් සාමන්‍යයෙන් එම නඩුවක් සදහා අවුරුදු 5-10 වැනි කාලයක් ගත වන බවත් ප‍්‍රකාශ කලාය.

මෙම නඩු ප‍්‍රමාදයට එරෙහි විශාල ජනමතයක් රට තුළ ගොඩනැගිය යුතු බවත්, ඒ සදහා සිවිල් සංවිධාන මූලිකත්වය ගෙන විශේෂ වැඩසටහනක් පැවැත් විය යුතු බවත්, එය ලබන ජුනි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වදහිංසාවන්ට එරෙහි දිනය දා ආරම්භ කල හැකි බවත් වැඩි දුරටත් ප‍්‍රකාශ කලාය.




2018-05-17
Advertisement

Find us on Facebook