English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ඒකීයභාවයට හානියක් නොවේ"- මන්ත්‍රී විජිත හේරත්

20 ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායකයේ බලය සීමා කෙරෙන්නේ මෙසේය.

*ජනාධිපති පත්වීම - පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දයෙන්

*රාජ්‍ය නායකයා පමණයි.

*කැබිනට් බලතල අහෝසියි.

*මූලික අයිතිවාසිකම් නඩුවක දී නඩු පැවරිය හැකියි.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිට හිමි බලය මෙසේය.

*තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කිරීමේ බලය කැබිනට් අනුමැතියට යටත්ව.

*උසස් නිලතලවලට පත් කිරීම පත් කිරීම කැබිනට් සහ උසස් නිලතලවලට පත් කිරීමේ කාරක සභාවේ අනුමැතියට යටත්ව.

*13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හිමි වූ බලය එලෙසම පවතී.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් 2018 මැයි මස 05 වෙනි දින කොළඹ දී පවත්වන ලදි. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා ද සහභාගි විය.

එහිදී 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් පළ කළ විජිත හේරත් මහතා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්වන බවත්, ජනාධිපතිවරයාගේ බොහෝ බලතල කැබිනට් මණ්ඩලයට ලැබෙන බවත්, සමහර බලතල ජනාධිපතිවරයාටම ලැබෙන බවත් සඳහන් කළේය. ජනාධිපතිවරයා නාම මාන්ත්‍රික ජනාධිපතිවරයෙක් නොවන බවත්, ඔහු රාජ්‍ය නායකයා බවත්, ත්‍රීවිධ හමුදාව හා ආරක්ෂාව බාර සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයා බවත් සඳහන් කරන ලදි. තවදුරටත් 20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යෝජනාව පැහැදිලි කළ මන්ත්‍රී වරයා ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ ප‍්‍රධානියා නොවන බවත්, අමාත්‍යධූරයන් නොදරන බවත් සඳහන් කර ලදි. නමුත් කැබිනට්ටුවට යෝජනා ඉදිරිපත් කළ හැකි බවත්, කැබිනට් ලේකම් විසින් ජනාධිපතිවරයාව කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බවත් පැහැදිලි කරන ලදි.

දැනටම යෝජනාව සම්බන්ධයෙන් නැගෙන විවේචන ගැන සඳහන් කළ මන්ත්‍රීවරයා මෙය කිසිඳු අයුරකින් රට බෙදන යෝජනාවක් නොවන බව ප‍්‍රකාශ කළේය. 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවරෙන කිසිඳු වගකීමක් වෙනස් නොවන බවත්, ඒ සියල්ල එලෙසම පවතින බවටත් පැහැදිලි කළේය. පොලිස් බලතල, ඉඩම් බලතල ඊට අයත් බවත්, බලය බෙදීමේ කිසිඳු යෝජනාවක් ඊට ඇතුළත් නැති බවත් සඳහන් කළේය. එමෙන්ම එ්කීයභාවය ආරක්ෂාවන අතර බෞද්ධාගමට හිමි ස්ථානය කිසි ලෙසකින් වෙනස් නොවන බව ප‍්‍රකාශ කළේය.

තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කිරීමේ බලය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටතේ සහ වෙනත් නිලතලයන්ට පත් කිරීම කැබිනට් මණ්ඩලයේ සහ උසස් නිලතලවලට පත් කිරීමේ කාරක සභාවේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන බවත් පොදු සමාව ලබාදීමේ කටයුතු ද කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසුව ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන බව මන්ත්‍රී වරයා ප‍්‍රකාශ කළේය. 

පාර්ලිමේන්තුව කල් තැබීමේ ජනාධිපතිවරයා සතු වගකීම සම්පූර්ණයෙන් අහෝසි වන බව මන්ත්‍රී වරයා සඳහන් කළේය.

තව දුරටත් කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සතුව පැවති මුක්තිය 19 වෙනි සංශෝධනය ප‍්‍රකාරව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවකදී නඩු පැවරීමේ අයිතිය නඩු එලෙස පවතන බව පැවසීය.

අගමැතිවරයා පත් කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට හිමිවන බවත්, මහා මැතිවරණයකදී පක්ෂවලින් අගමැති වශයෙන් නම් කරන තැනැත්තා 51% ක ඡන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමෙන් අගමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය හැකි බවත් පවසයි. එසේ නොවන අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගේ වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතුයැයි ඔහු සඳහන් කළේය.

විධායක ජනාධිපතිකම අහෝසි කිරීමට විශේෂ ජනමතයක් අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා 1994, 1999, 2005, 2010, 2015 ජනාධිපතිවරණ වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාවක් වූයේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම බවත් ජනතාව ඊට ඒ සෑම අවස්ථාවකදීම ඡන්දය ලබාදී ඇති බවත් සඳහන් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ 2/3 අනුමතවීමක් සහ ජනමත විචාරණයක් නිර්දේශ කළහොත් ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් තමන් ඊට සූදානම් බවත් මන්ත්‍රී වරයා ප‍්‍රකාශ කළේය.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී වඩාත් ප‍්‍රගතිශීලී අදහස් මතු වුවද බලය බෙදා හැරීම සම්බන්ධයෙන් මන්ත්‍රී වරයා මතු කරන ලද අදහස් සම්බන්ධයෙන් “අයිතිය” වඩාත් විමසිල්ලෙන් බලා සිටියි. සුළු ජනකොටස් බලය බෙදීම සම්බන්ධයෙන් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් බලාපොරොත්තු තබාගෙන සිටින අවස්ථාවක එම ජනකොටස් නියෝජනය කරන දේශපාලන පක්ෂ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දරණ අදහස් ගැන සැලකිලිමත් විය යුතුය.


 

සුදේශ් ද සිල්වා




2018-05-15
Advertisement

Find us on Facebook