English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ව කුදලාගෙන යෑමට ඇවැසි ස්වාධීන බලය ලැබුණේ කෙසේද?

දූෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා. දූෂණය, දේශපාලන භීෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ බරපතළ චෝදනා සහිත යුගයක් ශ්‍රී ලංකාව පසු කළා. එම යුගය ප්‍රතික්ෂේප කරමින් 2015 ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව යහපාලන රජය බලයට පත්කර ගත්තේ දූෂිත පාලනයකින් මිදීමේ සැබෑ අවශ්‍යතාවය මතයි.”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත ප්‍රකාශය කළේ 12.05.2016 දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති දූෂණ විරෝධී ජාත්‍යන්තර සමුළුවට අමතමිනි. එතුමා එදා කතා කළේ දූෂණ විරෝධී නායකයෙක් ලෙසින් පමණක් නොවේ. එසේම දූෂණ විරෝධය කතාවෙන් පමණක් ප්‍රදර්ශනය කරන නායකයෙක් ලෙසින් ද නොවේ. ඊට අදාළ නීතිරීති පද්ධතියක් ස්ථාපිත කළ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්ථාපිත නීති පද්ධතීන් යටතේ ඊට අදාළ ආයතනවලට පැවරූ නායකයකු ලෙසිනි.

දූෂණ විරෝධය ගැන බොහෝ අයට කතාකළ හැකිය. කතාකරන දේවල් නීතිගත කර ආයතනගත කිරීම ද කළ හැකිය. එහෙත් ඒවා ප්‍රායෝගික තලයකට ගෙන ඒම ලෙහෙසි නැත. ඊට හේතුව තුන්වැනි ලෝකයේ රටවල වේගවත් සංවර්ධනය සමඟ ඊට සමගාමීව නාස්තිය, දූෂණය හා අක්‍රමිකතාව ගමන් කිරීමය. ඊට දේශපාලනය හා රාජ්‍ය පාලනය කරන අය පමණක් නොව නිලධාරි තන්ත්‍රය ද හවුල්කාරිත්වයක් දැක්වීමයි.

දේශපාලනඥයා අඩුම තරමින් මැතිවරණයක දී ජනතාවට මුහුණදිය යුතුය. එහිදී ජනතාව තමන්ට වැටහෙන ආකාරයට ඔවුනට එරෙහිව තම ඡන්දය පාවිච්චි කරමින් දඬුවම් දෙන ක්‍රමයක් දක්නට ලැබේ. මේ නිසා දූෂිත දේශපාලනඥයන්ට අවසානයේ ජනතා අධිකරණයෙන් සමාවක් ලැබෙන්නේ නැත. එහෙත් නිලධාරීන්ට එවන් බාධකයන් නොමැත. ඔවුන් සෘජුව මහජන ඇසට යොමු නොවේ. මේ නිසා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ටයි මාරුකරමින් දූෂිත වැඩවල නිරතවීමට ඔවුනට අවකාශ සැලසේ. මේ නිසා සමහර තැනක දේශපාලනඥයන්ට වඩා නිලධාරීන් දූෂිතය. අපේ රටේත් එය එසේදැයි කියන්න දන්නේ නැත.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා පසුගියදා අල්ලස් දැලට කොටුවීමෙන් මේ රටේ නිලධාරි තන්ත්‍රය ද කොතරම් දූෂිතදැයි පැහැදිලි වේ. සමහර විට දේශපාලනඥයන් වරදට පොලඹවා ගන්නේ ද සටකපට දූෂිත නිලධාරීන් විසින් බව පෙනේ.

විශේෂයෙන්ම තාපසයන් වගේ නිලධාරීන්ගෙන් ආණ්ඩුවල නායකයන් ප්‍රවේශම් විය යුතුය.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට පදවිය අතහැර යෑමට ද පසුව හිරේ විලංගුවට වැටීමට ද සිදුවූයේ ඇය ළඟින්ම ඇසුරු කළ සහායිකාවක් නිසා බව මේ වන විට මුළු ලොවම දන්නා කාරණයකි. ඇය වුවද (ද.කොරියාවේ හිටපු ජනාධිපතිනියගේ සහායිකාව) සමාගමකින් අදාළ මුදල් ලබාගෙන තිබෙන්නේ යම් ආකාරයකට පදනමක් නඩත්තු කිරීමක් වෙනුවෙනි. අපේ අයගේ වැඩ ඊටත් වඩා කැතය.

අප වැනි රටවලට දැඩි නීතිරීති හා ආයතන පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් පමණක් නාස්තිය, දූෂණ හා අක්‍රමිකතා පිටුදැකිය නොහැක. ඒවාට ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන ස්වාධීනත්වයක් ද අවැසිය. එසේ නොවන්නට සිදුවන්නේ පීරිසි කුට්ටම් 6 ක් පගාවට ගත් ග්‍රාම නිලධාරිවරයෙක්, පාසලකට ළමයෙක් ඇතුළත් කිරීමට රු.25,000ක පගාවක් ගත් විදුහල්පතිනියක් වැනි ප්‍රාථමික රාජ්‍ය සේවකයන් අල්ලස් දැලේ පැටලීම පමණි.

එහෙත් ඊට එහාට තෝරු මෝරු අල්ලස් දැලේ පැටලවීම අපේ ඉතිහාසය දෙස බලනවිට එතරම් පහසු වී නැත. ඊට හේතුව ඉහළ නිලධාරීන්ගේ බලපුළුවන්කාරකම් හා දේශපාලන අනුග්‍රහය බව පැහැදිලිය.

අල්ලස් දූෂණ කොමිෂන් සභාවල වුව ද සේවය කරන්නේ මේ සමාජය ඇසුරේ ජීවත්වන නිලධාරීන්ය. ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වන රේගු නිලධාරීන් සිටින රටක අල්ලස් කොමිසමක සේවය කරන නිලධාරීන් වුවද තම දරුමල්ලන් ගෙදර දොර ගැන දෙවරක් කල්පනා කර රාජකාරියේ නිරතවීම ස්වාභාවිකය. එවිට මුණගැසෙන්නේ ඉහත සඳහන් ප්‍රාථමික ගණයේ වංචනිකයන් බව අමුතුවෙන් කිවයුතු නැත.

රටකට වඩා වැදගත් වන්නේ හාල්මැස්සන්ට වඩා තෝරු මෝරුය. නොඑසේ නම් රට බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ තත්ත්වයට පත්වේ. එසේ නොවන්නට නම් නීතිය කාටත් සමසේ ක්‍රියාත්මක වන වටපිටාවක් සැකසිය යුතුය.

උදෑසන සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ, සුදු කරපටිධාරී රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ නිලධාරියෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පැමිණ හෝටලයක රථගාලකදී දූෂණ ගනුදෙනුවක යෙදී සිටියදී නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවන ශක්තිය අදාළ (අල්ලස් හා දූෂණ කොමිසමේ) නිලධාරීන්ට ලැබුණේ කෙසේද? ඒ ආත්ම විශ්වාසය ඔවුන්ට ඇතිවූයේ කෙසේද?

අදාළ සුදු කරපටිදාරී රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියාගේ අතට මාංචු දමා කුදලාගෙන යෑමට ඇවැසි ස්වාධීන බලය ලැබුණේ කෙසේද? යන්න වැදගත් වන්නේමය. ඒ බලය ඔවුන්ට ලැබුණේ නීතිරීති මඟින් ම නොවේ.

තරාතිරම නොබලා ඕනෑම කෙනකුට නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට සකස් කර දී තිබෙන දේශපාලනික හා රාජ්‍ය පාලන වටාපිටාව නිසාය. ඒ බව අල්ලස් කොමසාරිස්වරයකු වන නෙවිල් ගුරුගේ මහතාගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි වේ.

ඔහු සඳහන් කරන්නේ වර්තමාන රජය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට සිය කටයුතු ස්වාධීනව කරගෙන යාමට ලබා දී ඇති බලතලවල ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන අධිකාරියේ ආශිර්වාදය මත පුද්ගලයන්ගේ තරාතිරම නොබලා මෙවැනි වැටලීම් කිරීමට හැකිවී ඇති බවයි. එසේම මෙවැනි බරපතළ වැටලීම් මේ ආකාරයෙන් කිසිදු දේශපාලන හෝ වෙනත් බලපෑමකින් තොරව සිදු කිරීමට නිදහසේ ඉඩලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙසින් මෙම වැටලීම ගුරුගේ මහතා හඳුන්වයි.

කෝටි 2 අල්ලසට අදාළ රාජ්‍ය නිලධාරීන් දෙදෙනා කොටුකර ගැනීමට හැකිවීම කලක් තිස්සේ ඇල්ලූ රහසිගත කුරුමානමක ප්‍රතිඵලයකි. ඊට අදාළ බලධාරීන්ට නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ ක්‍රමයට නොවන ආකාරයේ රාජ්‍ය රැකවරණයක් සහිත ස්වාධීනත්වයක් අවශ්‍යය.

ඊට හේතුව අදාළ නිලධාරීන් දෙදෙනාම ඉහළ මට්ටමින් රාජ්‍ය සේවයේ නිරතවූවන් වන නිසාය. ඔවුන් ඇමැතිවරුන් පවා ව්‍යාජ ලෙසින් තම මතයට නම්මවා ගැනීමට සමත්වූවෝ වෙති. එසේම ඔවුන් ඇසුරු කරන ඉහළ රාජ්‍ය සේවා මට්ටම දෙස බලන විට මෙවැන්නකට අතගැසීම මීට පෙර අත්දැකීම් හා සැසඳීමේ දී පහසුවන්නේ නැති බව ගුරුගේ මහතාගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි වේ.

එසේම අදාළ එක් නිලධාරියෙක් ජනාධිපති කාර්යාලයේ හයිය පාවිච්චි කරමින්ම අදාළ ගනුදෙනුවට ව්‍යාපාරිකයා පොලඹවා ගත්තේ ඔහු අසරණ කරමිනි. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 12.05.2016 දා ලන්ඩන් නුවර පැවති දූෂණ විරෝධී සමුළුවේ දී කී දෙය හා දුන් ප්‍රතිඥාව එලෙසින්ම ඉටුකිරීමට රාජ්‍ය නිලධාරීන්ට අවැසි පසුතලය ප්‍රායෝගිකව නිර්මාණය වී තිබෙන බව මෙම දැවැන්ත වැටලීමෙන් පැහැදිලි වේ. මෙහිදී අවැසි පසුතලය යන්නෙන් අදහස් කරන්නේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් හා බලපෑම්වලින් තොර පසුබිමයි.

පසුගියදා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් ඉලක්ක කරගනිමින් සිදුවූ මෙම දැවැන්ත වැටලීම මෙවන් කාර්යයන්හි නිරතවීමට බලාපොරොත්තුවෙන් සිටින සියල්ලන්ටම අනතුරු ඇඟවීමකි. මෙහි බලපෑම අදාළ ව්‍යාපෘතියට පමණක් සීමා නොවේ. ශ්‍රී ලංකාවට ආයෝජන රැගෙන එන අනෙක් ආයෝජකයන්ට ද සැනසීමකි. අපේ රට සංවර්ධනය කිරීමට නම් ආයෝජන අවශ්‍යය. රටට එන ආයෝජකයනට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගෙන් සිය ව්‍යාපෘති අනුමත කරදීම සඳහා පගාව ඉල්ලා සිටීමයි. ඒ නිසා මේ රටට පැමිණෙන ආයෝජකයන්ට ආයෝජන සඳහා වෙන්කරන මුදලට අමතරව අල්ලස් වෙනුවෙන් ද මුදල් වෙන්කිරීමට සිදුවී තිබේ. යහපාලනය ඊට වැට බැඳීමට ප්‍රායෝගිකව සූදානම් බව මෙවන් වැටලීම් ස්වාධීනව කරගෙන යෑමට ඉඩදීමෙන් පැහැදිලි වේ.

 වසන්ත ප්‍රිය රාමනායක

උපුටා ගැනීම - 2018.05.09 දින දිනමිණ වෙබ් අඩවියේ පළවූ “නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ නොවීම” ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.

 




2018-05-09
Advertisement

Find us on Facebook