English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරන්නෙ ඇයි?

1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනත සංශෝධන කිරීමට ඉදිරිපත් කරන ලද සංශෝධන පනත, 2018 මාර්තු මස 06 වන දින අධිකරණ අමාත්‍ය තළතා අතුකෝරාළ මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එම සංශෝධන පනත මහජනතාව වෙත ප‍්‍රසිද්ධ කිරීමට 2018 පෙබරවාරි මස 06 වන දින ගැසට් පත‍්‍රයේ පළ කළ අතර, ඒ අනුව, එම සංශෝධන පනතට පක්ෂව සහ විපක්ෂව අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වී අවසන්ය. ඒ අනුව, යෝජිත සංශෝධන පනතට සංශෝධනයන් කිහිපයක් ඇතුලත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර හිමි විය.

යෝජිත සංශෝධන පනත මගින් දැක්වෙන්නා වූ අපරාධ වැරදි කිහිපයකට අදාළව නඩු කටයුතු විභාග කිරීමට ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කිරීම මෙම පනත පැනවීමට හේතු වී ඇත. වර්තමානය වනවිට අධිකරණයේ නඩු ප‍්‍රමාදය ඉතා බරපතල ගැටළුවක් බවට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් ජනතාව තුළ නීතිය කෙරෙහි පවත්නා විශ්වාසය බිඳ වැටෙමින් පවතී. සංශෝධන පනත මගින් ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිතකර එම සංශෝධන පනතෙන් දක්වනු ලබන අපරාධ වැරදි සම්බන්ධ නඩු ඉතා කඩිනමින් විභාග කිරීමට අවකාශ සැළසේ. පවතින නීතිය අනුව ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් නොමැති අතර, නීතිපතිතුමාගේ ඉල්ලීම මත ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කරන්නේද යන වග අගවිනිසුරුතුමා විසින් තීරණය කරනු ලබයි.

ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ නඩු විභාග කිරීම සම්බන්ධයෙන් වූ ප‍්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 450 සහ 451 වගන්තීන් හි දක්වා ඇත. ඒ අනුව, දණ්ඩ නීති සංග‍්‍රහයේ 114, 115 සහ 116 වගන්ති යටතේ වන රාජ්‍ය විරෝධී වැරදි සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයක් පැවැත්විය යුතු අතර, වෙනත් වැරදි සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයක් පැවැත්විය යුතුද යන්න තීරණය කරනු ලබන්නේ නීතිපතිතුමාගේ ඉල්ලීම මත අගවිනිසුරුතුමා විසිනි. මේ අනුව, වෙනත් වැරදි සම්බන්ධයෙන් වන මහජන කැළඹීමට හේතුවන සිදුවීම් පිළිබඳ නඩු විභාගයන් සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණයන් ස්ථාපිත කළ අවස්ථාවන් දැකිය හැකි වේ. උදාහරණ ලෙස, භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව, අඟුලාන ඝාතන නඩුව, සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුව ආදී නඩු විභාගයන් පවත්වන ලද්දේ ත‍්‍රිපුද්ගල මහාධිකරණයන් ඉදිරියේදීය.

මෙම යෝජිත සංශෝධන පනත අනුව වෙනත් වැරදි සම්බන්ධයෙන් වූ ප‍්‍රතිපාදනයන් පුළුල් ලෙස දක්වා තිබීම දැකිය හැකි වේ. සංශෝධන පනතේ 6 වන උප ලේඛනයෙන් ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග කළ හැකි අපරාධ වැරදි කිහිපයක් දක්වා ඇත. ඒ අනුව, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වූ වැරදි වන සොරකම, දේපළ වංක ලෙස ව්‍යපහරණය කිරීම, සාපරාධී විශ්වාස භාරය කඩ කිරීම, වංචා කිරීම, කූට ලේඛන සෑදීම ආදී වූ වැරදි සහ තවත් වැරදි කිහිපයකට අදාළ නඩු කටයුතු ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කළ හැකිය. තවද, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දක්වා ඇති වැරදි, පොදු දේපළ විෂයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ දක්වා ඇති වැරදි, ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත යටතේ වූ වැරදි, බැංකු පනත යටතේ වූ වැරදි, විදේශ විනිමය පනත යටතේ වූ වැරදි, ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ වූ වැරදි, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥ පනත යටතේ වූ වැරදි, ශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ වූ වැරදි, රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ වූ වැරදි, මුදල් ව්‍යාපාර පනත යටතේ වූ වැරදි, ගෙවීම් උපක‍්‍රම වංචා පිළිබඳ පනත යටතේ වූ වැරදි සහ පරිඝනක අපරාධ පනත යටතේ වූ වැරදි පිළිබඳ නඩු කටයුතු මෙම ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කළ හැකි වේ.  

පවත්නා නීතිය අනුව ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කිරීමේදී සිදුවන්නේ මහාධිකරණ කලාප තුනකින් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ත‍්‍රිපුද්ගල මහාධිකරණය වෙත පත් කිරීමය. උදාහරණ ලෙස යාපනය විද්‍යා දැරියගේ ඝාතනය පිළිබඳ නඩු විභාගය පැවැත්වූයේ ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේය. එහිදී යාපනය, ත‍්‍රිකුණාමලය සහ වවුනියාව යන මහාධිකරණයන් හි මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු මෙම ත‍්‍රිපුද්ගල මහාධිකරණයට පත් කෙරුණි. එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය ක‍්‍රියාත්මක වන දින වලදී එම මහාධිකරණ කලාප වල පවතින මහාධිකරණ නඩු විභාගයන් ඇණ හිටී. ඒ හේතුවෙන් එම මහාධිකරණ නඩු සියල්ලම කල් යයි. මෙම යෝජිත සංශෝධන පනත අනුව ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කිරීමෙන් වෙනත් මහාධිකරණ කලාපවල විනිසුරුවරුන් එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ වෙත පත් කිරීමට අවශ්‍ය වන්නේ නැත.

මෙම යෝජිත සංශෝධන පනත යටතේ පිහිටුවනු ලබන ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට විනිශ්චයකාරවරයන් නම් කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්ය. අධිකරණ අමාත්‍යවරයා විසින් ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන ස්ථානය හෝ ස්ථාන දැක්විය හැකි බවට සංශෝධන පනතෙන් දක්වා ඇත. තවද, අමාත්‍යවරයාට ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණ සංඛ්‍යාව වැඩි කළ හැකිය. නමුත්, එම අවස්ථාවන් වලදී අමාත්‍යවරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව විමසනු ලැබිය යුතුය. 

අපරාධ නීතිය අනුව, මහාධිකරණයේ නඩු පැවරීම අධිචෝදනා ගොනු කිරීම ලෙස හැඳින්වේ. මෙලෙස අපරාධ වැරදි පිළිබඳ අධිචෝදනා ගොනු කිරීමේ බලය ඇත්තේ නීතිපතිතුමාටය. තවද, අල්ලස් පනත යටතේ වූ වැරදි පිළිබඳව අධිචෝදනා ගොනු කිරීමේ බලය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සතු වේ. යෝජිත සංශෝධන පනත අනුව, නීතිපතිතුමා හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධන පනතේ උපලේඛනය මගින් දක්වා ඇති වරදක ස්වභාවය සහ අවස්ථානුගත කරුණු, වරදක බැ?රුම්කම, වරදක සංකීර්ණ බව, වරදක් හේතුවෙන් වින්දිතයා මත වන බලපෑම සහ වරදක් හේතුවෙන් රජය මත වන බලපෑම සැළකිල්ලට ගනිමින් මහජන හා ජාතික යහපත අරභයා ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු කටයුතු පැවරිය යුතු බවට දක්වා ඇත.

ත‍්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයක් ඉක්මණින් අවසන් කළ යුතුය. ඒ අනුව, එම නඩුව දිනපතා පවත්වාගෙන යා යුතුය. එමෙන්ම පෞද්ගලික හේතු මත නඩුවට නීතීඥවරයෙකුට පෙනී සිටීමට නොහැකි වීම මෙවන් නඩු සඳහා අදාළ නොවේ. මේ හේතුවෙන් මෙවැනි නඩු අනවශ්‍ය ආකාරයට ප‍්‍රමාද වන්නේ නැත.

ත‍්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයක අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. සාමාන්‍යයෙන් එහිදී, අගවිනිසුරුතුමා විසින් නම් කරනු ලබන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම අභියාචනය විභාගය වේ. යෝජිත සංශෝධන පනත අනුවද ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයක අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් පස්දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකින් යුත් විනිශ්චය පීඨයක් මගින් විභාග කළ යුතු බව දක්වා ඇත.

සමස්තයක් වශයෙන් මහාධිකරණය ඉදිරියේ පවතින නඩුවල ප‍්‍රමාදයන් වැළැක්වීමට මෙම යෝජිත අධිකරණ සංවිධාන සංශෝධන පනතෙන් මූලික පියවරක් ගත හැකි වනු බවට විශ්වාස කළ හැකිය. එමගින්, ජනතාව තුළ නීතිය කෙරෙහි පවතින විශ්වාසය ඉහළ නැංවේ. නීතිය පවතින බව පමණක් නොව නීතිය මගින් යුක්තිය ඉටු වන බවද එහිදී පැහැදිලි ලෙසම දැකගත හැකි වේ. 




2018-05-04
Advertisement

Find us on Facebook