English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බැංකු අධිපතීන්ගේ ආර්ථික අනාවැකිය

එක අතෙකින් කොළඹ මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. ඒ සමඟ කොළඹ නව ඉදිකිරීම්, ගුවන් මාර්ග, සැහැල්ලු දුම්රිය, ඇළ මාර්ගවල ප්‍රවාහනය, තාක්ෂණික හා අධ්‍යාපනික කලාප, කර්මාන්ත ආදිය සංවර්ධනය කෙරෙනු ඇත. ඒ අතර දුම්රිය සේවය විදුලියෙන් දිවීමේ තවත් ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය.

කොළඹ මූල්‍ය නගරය තවත් දැවැන්ත ව්‍යාපෘතියකි. එය සිංගප්පූරුව හා ඩුබායි අතර ඉදිවෙන විශාලතම මූල්‍ය නගරයයි. හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිවන කර්මාන්ත කලාපයේද වැඩ ආරම්භ වී ඇත. එහි පදනම් කර්මාන්ත හතරක් මුලින් ආරම්භ කෙරෙයි. එනම් පිරිපහදුවක්, එල්. එන්. ජී. විදුලි බලාගාරයක්, වානේ කර්මාන්තශාලාවක්, සිමෙන්ති කම්හලක් ආදියයි. මෙම කර්මාන්ත මුලින් ආරම්භ කෙරෙන්නේ අනෙක් කර්මාන්ත සඳහා පහසුවක් වන පරිදිය.

මේ අතර මහනුවර කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩසටහනක් සඳහා සැලසුම් සකස්කොට ඇති අතර එයට ජපාන රජයේ ආධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ වී ඇත.

ත්‍රිකුණාමලයේ සංවර්ධනයට සහය දීමට ජපානය, ඉන්දියාව හා සිංගප්පූරුව ඉදිරිපත් වී සිටියි. එම සැලසුම ද ඉදිරි කාලයේදී ක්‍රියාවට නැඟීමට නියමිතය. කළුතර ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට තායිලන්ත සමාගමක් ඉදිරිපත් වී ඇත. එහි වැඩ කටයුතු මේ වන විටත් ආරම්භකොට ඇත.

බේරුවල ප්‍රදේශයේ සංචාරක සංවර්ධන කලාපයක් සැලසුම්කොට ඇත්තේ ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාර සඳහාය.

කුරුණෑගල, බිංගිරිය හා කුලියාපිටිය ප්‍රදේශවල ද කර්මාන්ත කලාප සංවර්ධනය කිරීමට සැලසුම්කොට ඇත.

උතුරේ පරන්තන් ආශ්‍රිතව තවත් කර්මාන්ත කලාපයක් සංවර්ධනය කෙරෙනු ඇත. එමෙන්ම චුන්නාකම් හි දැනටමත් ආරම්භ කොට ඇති කර්මාන්ත කලාපය වැඩිදුරටත් සංවර්ධනය කෙරෙයි. යාපනය වරාය හා ගුවන් තොටුපළ ද සංවර්ධනයකොට වාණිජ කටයුතු සඳහා යොදාගැනීමට මේ වන විටත් කටයුතු සිදුවෙමින් පවතියි.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා කීවේ ආණ්ඩුව සැලසුම් කොට ඇති මෙම ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක කරගත්තත් ශ්‍රී ලංකාව වෙනත් රටක් බවට පත්වන බවයි. ඇත්ත කතාව ද ඒකය. විපක්ෂය තැතිගෙන ඇත්තේ ද මේ තත්ත්වය දන්නා නිසාය. තව කල්යන්න නොදී ආණ්ඩුව වට්ටන ක්‍රම සොයන්නේ ඒකටය.

රනිල් වික්‍රමසිංහ මහතා ද නොසැලී සිටින්නේ මේ සියල්ල දන්නා නිසා විය යුතුය. එසේ වුවද දැන් මේ සැලසුම් ක්‍රියාවට නැඟිය යුතුය. එය සැලසුම් කරනවාට වඩා බරපතළ කටයුත්තකි. එමෙන්ම අපේ ජනතාවට ඉක්මන් ප්‍රතිඵල ද අවශ්‍යය. දැන් ඉතින් ආණ්ඩුව ඒ පිම්ම පැනිය යුතුය. සියලු අභියෝග ජයගත්තා වන්නේ එවිටය.

 මෙය දිනමිණ වෙබ් අඩවියේ පළවූ 2018.05.03 දින පළ කර තිබු “දැන් ඉතින් පිම්ම පනිනු” මැයෙන් වූ ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.




2018-05-03
Advertisement

Find us on Facebook