English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බක්මහ, වෙසක්, මැයි දිනය හා ආණ්ඩුවේ අනාගතය

ජනාධිපතිවරයා නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනු ලබන්නේ සමස්ත ආණ්ඩුවටම අදාළව ඉදිරි කාලය ඉලක්ක කර ගනිමිනි. එවැන්නක අවශ්‍යතාවය රට තුළ ද දක්නට ලැබේ. මෙම අලුත් තත්ත්වයන් යටතේ රටේ ඉදිරි ගමන ද ආණ්ඩුවේ ඉතිරි කාලසීමාවට සාපේක්ෂව සුබවාදී ඉසව්වකට අවතීර්ණ වෙමින් පවතී.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟම වෙසක් දිනය ද බක් මහේදීම උදාවිය. මෙය සඳේ කාල චක්‍රයට අනුව සිදුවන්නකි. එසේ නොමැතිව ආණ්ඩුව විසින් ඇතිකරන ලද්දක් නොවේ. සමහරු බක් මාසයේම වෙසක් පෝය උදාවීම සම්බන්ධයෙන් මැසිවිලි නඟති. ඒ පිරිස ඉතාම අතළොස්සකි. එහි වරදක් නොපෙනේ. එහෙත් ඔවුන් වෙනුවෙන් ද යම් පැහැදිලි කිරීමක් අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් දක්නට ලැබෙන්නේ දුර්වල සන්නිවේදන පිළිවෙතකි.

සාමාන්‍යයෙන් පෝය උදාවන්නේ සඳ ගමනට සාපේක්ෂවයි. මීට ඉහත අවස්ථා කීපයකදීම අධිපෝය සමඟින් බක් මාසයේම වෙසක් සඳ උදාවිය. අප දන්නා ඉතිහාසයට අනුව 1847, 1866, 1885, 1904, 1923, 1942, 1961 ආදී වර්ෂවල වෙසක් පෝය අප්‍රේල් මාසයේදීම උදා වී තිබේ. එසේ වුවද මේ පිළිබඳ තීන්දු (වෙසක් දින සැමරුම) ගනු ලබන්නේ පෝය කමිටුව නැකැත් කමිටුව සමඟ ආගමික ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් මඩුල්ලක් මඟිනි. සෑම වසර 19කට වරක් මෙවන් විශේෂිත අවස්ථාවක් උදාවන බව දැනගැනීමට තිබේ. ඊට ආණ්ඩුවකට කළ හැකි දෙයක් නැත.

බෞද්ධ ජනයාට වෙසක් පෝය දිනය වැදගත් වන්නේ සම්බුදු තෙමඟුල (බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම) වෙසක් පෝය දිනක සිදුවීම නිමිති කරගෙනය. අතීතයේ හෙළ රජ දවස වෙසක් දිනයට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබූ බවට විවාදයක් නොමැත. සිංහල රජවරුන්ගේ රාජ්‍ය අභිෂේකය පමණක් නොව රාජ්‍ය අභිෂේක සැමරුම ද වෙසක් පෝයටම සමගාමීව සිදුවී තිබේ.

ඕල්කට්තුමාගේ මැදිහත්වීම

එහෙත් වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වන්නේ 1885 මාර්තු මස 27 වැනිදා අමෙරිකාවේ සිට මෙහි පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ මැදිහත්වීමෙන් යටත්විජිත යුගයේ බව අද සමහරු අමතක කරති. සාමාන්‍යයෙන් වෙසක් පෝය නම් කෙරෙන්නේ වත්මන් ජාත්‍යන්තර දින දර්ශන සම්ප්‍රදායේ කැලැන්ඩර ක්‍රමයට අනුව නොවේ. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබී ඇති වත්මන් සම්ප්‍රදාය ක්‍රිස්තියානු ආභාෂය කරනකොටගෙන ලොවට දායාද වූවකි. එහෙත් චන්ද්‍ර මාස ක්‍රමයට අනුව වෙසක් පෝය උදාවන්නේ අමාවකට පසුවය. අප්‍රේල් මාසයේ නම් 16 වැනිදායින් පසුවය. ඒ අනුව ගණන් බැලීමේ දී අප්‍රේල් 29 වැනිදා උදාවූයේ වෙසක් සඳ බවට විවාදයක් නැත. එහෙත් වත්මන් ජාත්‍යන්තර කැලැන්ඩර ක්‍රමයට බලන කෙනෙකුට මෙහි ඇදයක් තිබිය හැකිය. එහෙත් බෞද්ධ ජනයාට හා පැරණි පෝය ක්‍රමයට මෙහි වරදක් හෝ ඇදයක් නොපෙනේ. වෙසක් දින උදාව අප්‍රේල් ද මැයි ද කියා තර්ක කරමින් එහි කොනක් ආණ්ඩුවට ද පටවනවාට වඩා වැදගත් වන්නේ බෞද්ධ වත්පිළිවෙත්වල පිහිටා එහි අරුත වටහා ගැනීමට වෙහෙසීම ය. වෙසක් සැලකෙන්නේ මිනිසා තුළ ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති කරනු ලබන සමයක් ලෙසිනි. වෙසක් කලාපවල සැරි සැරීමෙන් පමණක් එය ලබාගත නොහැකිය. මේ නිසා වත්පිළිවෙත්වල ද නිරතවීමට ජනයා යොමු කළ යුතුය.

 

මේ නිසා වෙසක් පෝය දිනය ඒ සඳහා පමණක් වෙන්කර පසුදා තොරන්, වෙසක් කලාප ඇතුළු චමත්කාරජනක වෙසක් සිරි නැරඹීමට වෙන්කර ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ඉල්ලීමක් කර තිබුණි. ඒ සඳහා වෙසක් තොරන්, කූඩු සංදර්ශන ආදිය වෙසක් පෝයට පසුදින ක්‍රියාත්මක වන ආකාරයේ වැඩපිළිවෙළකට රාජ්‍ය අනුග්‍රහය යොමුවී තිබූ බවක් දක්නට ලැබුණි. වෙසක් උදාවත් සමඟම ජාත්‍යන්තර කම්කරු දින සැමරුම මැයි 1 වැනිදාට යෙදී තිබේ. මෙය ලොව පුරා වැඩ කරන ජනතාව මහත් උද්යෝගයෙන් යුතුව සමරන දිනයකි. ඊට හේතුව පැය 8 වැඩ මුරය අැතුළු ඉල්ලීම් රැසක් සටන් කර ජීවිත පරිත්‍යාගයෙන් ලබාගැනීමට කම්කරු පන්තියට හැකිවීමයි. මේ නිසා ලොවපුරා වැඩකරන ජනතාව උද්යෝගිමත්ව සටන් පාඨ කියමින් පෙළපාළි යමින් එය අනුස්මරණය කිරීමට පෙලඹී සිටිති.

මෙවර අපට මැයි දිනය උදාවන්නේ වෙසක් සතිය තුළමය. නැතිනම් වෙසක් පෝය අවසන් වන කණිසමටමය. සාමාන්‍යයෙන් වෙසක් පෝය සමඟ එළැඹෙන සතිය ඊට නැඹුරුව ක්‍රියාකරන අවධියක් ලෙසින් සැලකේ. එවන් සමයක නගර පුරා සටන් පාඨ කියමින්, ප්‍රතිවිරුද්ධ දේශපාලන සංවිධානවලට බැණවදිමින් පෙරහැරවල් පවත්වන සමයක පෙළපාළි යෑම කොතරම් අපේ ආගමික සංස්කෘතියේ භාවිතාවට ගැළපේ ද යන ප්‍රශ්නය පැන නැඟීම ස්වාභාවිකය.

අපේ රටේ මැයි දින සැමරුම විශේෂයෙන්ම කම්කරු පන්තිය යටපත් වී විවිධ දේශපාලන පක්ෂවල ශක්තිය උරගා බලන දිනයක් බවට පත්ව ඇත. කම්කරුවන් වෙනුවට වැඩිවශයෙන්ම පෙළපාළිවල හා වේදිකාවල දක්නට ලැබෙන්නේ දේශපාලන පක්ෂවල නායකයන්, ක්‍රියාධරයන් හා ඔවුන්ගේ අනුගාමික ප්‍රජාවයි. මේ නිසා කොළඹ නගරයේ දක්නට ලැබෙන ප්‍රධාන ජනරැලි හා පෙළපාලි විවිධ දේශපාලන පක්ෂවලට අයත් ඒවාය. වෙසක් සැරසිලි අස්සේ මේවා දක්නට ලැබීම එතරම් හැඩ නැත. එහෙත් කම්කරු අයිතිවාසිකම් පැත්තෙන් සමහර අයට මෙම දැවැන්ත රැලි හා පෙළපාළි සඳහා වෙන දිනයක් යොදා ගැනීම සම්බන්ධයෙන් තර්කයක් විරෝධයක් තිබිය හැකිය.

මේ නිසා රජය මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම මැයි 07 වැනි දිනට කල්දමා ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂ එය පිළිගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ ද මීට අනුග්‍රහය දක්වා ඇත. රජය මෙම තීරණයට එළඹ තිබෙන්නේ මහනාහිමිවරුන්ගේ ඉල්ලීමට අනුවය. මෙය ලොව කිසිදු රටක සිදුනොවී අපේ රටේ පමණක් මෙවර සිදුවන්නක් නොවේ. වෙනත් රටවල ද දක්නට ලැබෙන සිදුවීමකි.

2018 වසරේ ජාත්‍යන්තර කම්කරු දිනය අමෙරිකාවේ සැමරෙන්නේ සැප්තැම්බර් 3 වැනිදාය. කැනඩාවේ සමරන්නේ ද එම දිනයේමය. එංගලන්තයේ ජාත්‍යන්තර කම්කරු දිනය මේ වසරේ සමරන්නේ මැයි 07 වැනිදාය. එහෙත් නොඩකවා මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරූ ශ්‍රී ලංකාව මෙවර එහි වෙනසක් සිදුකර තිබෙන්නේ මේ රටේ ජීවත්වන 75%ක් පමණ වන බෞද්ධ ජනයාට උතුම් ශ්‍රේෂ්ඨ දිනයක් වන වෙසක් සැමරුමට ආසන්නව කම්කරු දින සැමරුම යෙදී තිබෙන නිසා බව පැහැදිලිය. එය අපේ රටේ පවතින බෞද්ධ සංස්කෘතියට අනුව මහපොළොවේ යථාර්ථයට එකඟව ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව පෙනේ.

එහෙත් මේ තත්ත්වය ගැන තැකීමකින් තොරව ජාත්‍යන්තර සාධක මත පමණක් පිහිටා කම්කරු පන්තිය ගැන ඇතිවූ වේදනාවෙන් මැයි දිනය සැමරීමට කිසියම් වෘත්තීය සමිතියක් හෝ පක්ෂයක් සූදානම් වන්නේ නම් ඊට තහනමක් නොමැත. එවන් සැමරුම් කීපයක්ම ඊයේ කොළඹ නගරය තුළ දක්නට ලැබුණි. එහෙත් ඒවා ශාලාවලට සීමා වූ කුඩා ප්‍රමාණයේ සමහර තැනක පුටු පිරෙන්නවත් සෙනඟ නොපැමිණි මැයි දින සැමරුම් ය. ඉන් වෙසක් දින සැමරුමට කිසියම් බාධාවක් වූ බවක් නොපෙනේ. එහෙත් මහසඟරුවනේ ඉල්ලීම පරිදි රජය ගත් ක්‍රියාමාර්ගය යහපත්ය.

නව කැබිනට් මණ්ඩලය

ඊයේ රාජ්‍ය අනුග්‍රහයෙන් හා දේශපාලන පක්ෂවල අනුග්‍රහයෙන් දැවැන්ත රැලි මැයි 1 වැනිදා දක්නට නොලැබුණ ද නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙමින් ආණ්ඩුව අලුත් ගමනක් යෑමේ සූදානමක් ප්‍රදර්ශනය කළේය. එය පසුගිය සමයේ පැවති දේශපාලන නොසන්සුන්තාවය අවසන් කිරීමේ එක් උපක්‍රමයක් ලෙසින් බව පැහැදිලිය. නව තැබිනට් සංශෝධනයේ වැදගත්කම් කීපයක්ම දක්නට ලැබේ. විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ විෂයපථයන් බෙදීයෑම එක් විශේෂත්වයකි. දෙවැන්න කැබිනට් මණ්ඩලය පෙරට වඩා කුඩාවීමය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් කණ්ඩායමට අලුත් මුහුණු එකතු නොවීමය. එසේම ඉවත් වූවන්ගේ (ශ්‍රී.ල.නි.ප.) අමාත්‍යාංශ වගකීම් එම පක්ෂයේම ඉතිරිවී සිටින කැබිනට් සගයන් අතරේ බෙදී යාමද විශේෂත්වයකි.

කුමන පදනමකින් හෝ ආණ්ඩුවක ස්ථාවරත්වය රටක ඉදිරි ගමනට වැදගත්ය. පසුගිය සමයේ රජයේ ස්ථාවරත්වයේ ප්‍රශ්නයක් නොවුණ ද ආණ්ඩුව තුළ යම් දේශපාලන නොසන්සුන්බවක් දක්නට ලැබුණි. ඊයේ සිදුවූ පූර්ණ කැබිනට් සංශෝධනය හා ඉදිරියේ සිදුවීමට නියමිත පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක ආරම්භය සමඟින් ආණ්ඩුව අලුත් ගමනක් යෑමට සූදානම් වන බවක් දක්නට ලැබෙන බව පැහැදිලිය. ජනාධිපතිවරයා නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනු ලබන්ෙන් සමස්ත ආණ්ඩුවටම අදාළව ඉදිරි කාලය ඉලක්ක කර ගනිමිනි. එවැන්නක අවශ්‍යතාව රට තුළ ද දක්නට ලැබේ. මෙම අලුත් තත්ත්වයන් යටතේ රටේ ඉදිරි ගමන ද ආණ්ඩුවේ ඉතිරි කාලසීමාවට සාපේක්ෂව සුබවාදී ඉසව්වකට අවතීර්ණ වෙමින් පවතී.

 

මෙම ලිපිය 2018.05.02 දින දිනමිණ වෙබ් අඩවිය වෙත වසන්ත ප්‍රිය රාමනායක මහතා විසින් ලියන ලද ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.




2018-05-03
Advertisement

Find us on Facebook