English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මධුෂ්කව පැහැරගෙන ගොස් අදට වසරයි ! යුක්තිය නැත, නීතිය තවම නැත!


”අපි පොලිසියෙන් යැයි පවසමින් තමන්ගේ ස්වාමිපුරුෂයාව පැහැරගෙන ගොස් අදට, පුරා වසරක් නිම වෙන අතර ඔහු ගැන තවමත් කිසිඳු තොරතුරක් නැති බවත් පොලිසිය විසින් මහ මගදී රැගෙනගිය තම ස්වාමියා යළි ගෙනත් දෙනතුරු මහ මඟ සිට විරෝධතාවය දක්වන බව සිය නිවුන් දරු දෙදෙනා සමඟ අනුරාධපුර පොලිසිය ඉදිරිපිට සහ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට වාඩිගත් මයුරි ඉනෝකා පැවසීය.

මධුෂ්ක හරිස් ද සිල්වා යන තමන්ගේ ස්වාමිපුරුෂයා රාත‍්‍රි කෑම රැගෙන ත‍්‍රි රෝද රථයකින් නිවෙසට පැමිණෙමින් සිටිය දී 2013 සැප්තැම්බර් මස 02 වන දා සවස මාංචු දමා බලහත්කාරයෙන් රැගෙන ගියේ අනුරාධපුර පොලිසියේ ම නිළධාරීන් බවත් ඒ බව  ජේශ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා විසින් ද ස්ථීරකර ඇති බවත් 
අද ල් අනුරාධපුරය පොලිස් ස්ථානය ඉදිරිපිටදී සහ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට දි පැවති උද්ඝෝෂණය අවස්ථාවේදි මයුරි ඉනෝකා පැවසීය.
 
මයුරි ඉනෝකාට සහය පතා රයිට් ටු ලයිෆ් සහ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් උද්ඝෝෂනය සංවිධානය කරනු ලැබු අතර, මධුෂ්ක හරිස් ද සිල්වා සම්බන්ධයෙන් කැඳව තිබුණු නඩු විභාගය ද අද දිනයේ පැවති අතර ඒ අවස්ථාවේදි සටන් පාඨ අත දැරු උද්ඝෝෂනකරුවන් විසින් උසාවිය ඉදිරිපිටදී නිශ්ශබ්ද උද්ඝෝෂනයක් පැවැත්වුහ.

කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් පැහැරගත් තමන්ගේ ස්වාමිපුරුෂයා පිළිබඳව සතියක් ඇතුලත තොරතුරක් ලබාදෙන බවට අනුරාධපුර පොලිසිය පොරොන්දු වූ බව පවසන මයුරි ඉනෝකා, එම සතිය, පුරා වසරක් වී ඇති බවත් කිසිම ආකාරයක සත්‍ය තොරතුරක් තමන්ට ලබාදෙන්නට අනුරාධපුර පොලිසිය සමත්වී නැති බවත් මයුරි ඉනෝකා ”අයිතියට” පැවසුවේය.
 
මධුෂ්කට සාධාරණය ඉටුකරන ලෙසට ඉල්ලා සිටිමින් ජුනි මස 02 වෙනිදා කොළඹ පිහිටි මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් භාරදුන් අතර එහි ප‍්‍රථිඵලයක් ලෙසට අනුරාධපුර මානව හිමිකම් කොමිසමෙන් එක්වරක් පමණක් තමන්ව සාකච්ඡවට කැඳවු බව මයුරි ඉනෝකා ”අයිතියට” පැවසීය. 

”මගේ සැමියා ගැන හරි තොරතුරක් ලැබෙන තුරු මේ සෙවීම අත්හරින්නේ නැහැ. ඒ පිළිතුරු මට ලැබෙන්නට  ඕනෙ පොලිසියෙනුයි, මොකද සැමියාව බලහත්කාරයෙන් පැහැරගෙන ගියේ පොලීසියේ කණ්ඩායමක් මිසක් වෙනකවුරුත් කණ්ඩායමක් නෙවෙයි.” යැයි මයුරි කීහ.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා උද්ඝෝෂනය අවසානයේ දි කථා කරමින් කියා සිටියේ මධුෂකගේ අතුරුදහන්වීම්ට රටේ නායකත්වය දරණ මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ සොයුරු හා ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්‍ෂ යන අය වගකිව යුතු බවයි. ”මොකද එයාලගේ ආණ්ඩුවේ පොලීසිය තමයි මාංචු දමාගෙන මේ මධුෂ්කව අරගෙන යන්නේ. මධුෂ්ක කෝ කියා මධුෂ්කගේ බිරිඳ අසන ප‍්‍රශ්නයට පිළිතුර දිය යුත්තේ පොලීසිය තමයි.” යැයි ඔහු පැවසීය.

මධුෂ්ක සොයා දියව් යන තේමාව යටතේ අනුරාධපුර ප‍්‍රධාන නගරය ඇතුළත පැවති මෙම උද්ඝෝෂන ව්‍යාපාරය සඳහා අනුරාධපුරයේ මෙන් ම කොළඹ සිට පැමිණි කිතුණු පුජක පැවදි සොයුරු සොයුරියන් ද එක්වි සහය පළකළේය.


-MMP



2014-09-02
Advertisement

Find us on Facebook