English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව දේශීය ආදායම් පනත හොඳ නැද්ද?

නව දේශීය ආදායම් පනත, මේ දිනවල රටේ කථා බහට ලක්වන ප්‍රබල මාතෘකාවකි. 2018 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත පිළිබඳ කෙරෙන සාකච්ඡාවේදී එයට පක්ෂ මෙන්ම විපක්ෂවද බොහෝ කරුණු කාරණා ඉදිරිපත් වේ. මේ පනත පිළිබඳ ජනතාව අනවශ්‍ය බියකින් පසුවීමද නිවැරැදි නොවන අදහස් ප්‍රචලිත වීමද දක්නට ලැබේ. එබැවින් නව ආදායම් බදු පනතක් හඳුන්වා දීමට හේතුවූ කරුණු අවබෝධ කර ගැනීමත් එය සැබවින්ම ජනතාවට තවත් බරක් එකතු කළේද යන්න විමසා බැලීමත් කාලෝචිත වේ.

වසරින් වසර රජයේ කාර්යභාරය පුළුල් වෙමින් පැවතීමත් එම කටයුතු සඳහා දරන පුනරාවර්තන හා ආයෝජන වියදම් ප්‍රසාරණය වීමත් හමුවේ දශක කීපයක් තිස්සේ රාජ්‍ය ආදායමේ වර්ධනය ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට ජාතියක් ලෙස අපි මුහුණ දෙමු. එය නිරන්තරව අයවැය හිඟයන් නිර්මාණය කරන ලදී. එය පියවීමට දේශීය හා විදේශීය ණයවල පිහිට පැතීමටත් එමගින් එක් රැස්වූ මහා ණය කන්දක උරුමක්කරුවන් වී ජාතියක් ලෙස අසරණ තත්ත්වයට පත්වීමටත් සිදුව තිබේ. ණය බර විසින් ඇති කරන පීඩනය අනේකවිධ ආර්ථික ගැටලු ඇති කරමින් ජාතික සම්පත් පවා අහිමි කිරීමටද හේතුවන බව පසුගිය සිදුවීම් සාක්ෂි දරයි. මේ පසුබිම තුළ රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කරමින් එහි ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා වහ වහා ණය ගැනීම් සීමාකිරීමත් ගත් ණය ගෙවා දැමීමත් අවශ්‍ය වේ. තවද මේ සියල්ල කරන අතරතුර පෙර පරිදිම රාජ්‍ය සේවා නොකඩවා පවත්වා ගෙනයාම මෙන්ම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය වන රාජ්‍ය වියදම් දැරීමට ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් ද පැවතිය යුතුය.

රාජ්‍ය ආදායම සාපේක්ෂව ප්‍රමාණවත් නොවීමත් රාජ්‍ය වියදම් අධික වීම නිසා නිරතුරු අය වැය හිඟයන් ඇති වීමත් එය පියවීමට ණය ගැනීමත් ඒ ණය සඳහා වාරික හා පොලී ගෙවීම නිසා නැවත රාජ්‍ය වියදම් වැඩිවීමත් ලෙස විෂම චක්‍රයකට හසුව ඇති ආර්ථිකය ඉන් මුදවා ගැනීමට මේ චක්‍රය බිඳ දැමිය යුතුය. ඒ සඳහා සුදුසුවන්නේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමයි. ඒ සඳහා බදු සහ බදු නොවන ආදායම වැඩි කර ගත යුතුය. එහෙත් ප්‍රායෝගිකව බදු නොවන ආදායම වර්ධනය සීමා සහිත බැවින් කැමැති වුවත් අකැමැති වුවත් බදු ආදායම් වැඩිකර ගැනීම වෙත මාරුවීමට සිදුවේ. ඒ සඳහා වක්‍ර බදු ඉහළ නැංවීම් සිදුකරයි නම් අඩු ආදායම්ලාභීන්ට ඉතා අහිතකරවේ. මෙය පසුගිය කාලයේ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නැංවීමට එරෙහිව පැන නැඟුණ විරෝධතාවලින්ද නිරූපණය විය. එම නිසා වක්‍ර බදු වෙතින් ඍජු බදු වෙත මාරුවී හැකිතාක් ආදායම් බදු වර්ධනය කර ගැනීම හැර වෙනත් විකල්පයක් ද රජයට ඉතිරිව නැත.

රටක ආර්ථික වර්ධනය, ඒක පුද්ගල ආදායම්, ජනතාවගේ පරිභෝජන වැඩි වන විට බදු පදනම පුළුල් වී බදු ආදායම ද ඉහළයාමක් අපේක්ෂා කෙරේ. එහෙත් ශ්‍රී ලංකාවේදී මේ තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි. 1977 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 24.2% ක්වූ බදු ආදායම ඉන් දශක 2 කට පසු 1998 දී 14.5% ක් දක්වා අඩුවී තිබේ. තවද මෙය ක්‍රමිකව අඩු වී 2016 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 12.4% දක්වා අඩකට ආසන්නව බදු ආදායම අඩු වී ඇත. තවද 1980 දී ආදායම් බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයට ප්‍රතිශතයක් ලෙස 3.4%ක් ද 1990 දී 2.9%ක් ද 2000 දී 2.1%ක් ද 2016 දී 2% දක්වා අඩුවී ඇත. එහෙත් ආදායම් බදු පදනම පුළුල් කරමින් 2001 වසර හැර අනෙක් සෑම වර්ෂයකම ආර්ථික වර්ධනයත්, ඒක පුද්ගල ආදායමත් වසරින් වසර ඉහළ ගොස් තිබේ. 1977 දී ආර්ථික වර්ධන අනුපාතය 4.2% සහ ඒක පුද්ගල ආදායමත් රුපියල් 3007 කි. එය 1998 දී ආර්ථික

වර්ධන අනුපාතය 4.7%ක් සහ ඒක පුද්ගල ආදායම රුපියල් 54194 කි. 2016 දී ආර්ථික වර්ධන අනුපාතය 4.8%ක් සහ ඒක පුද්ගල ආදායම රුපියල් 558363ක් දක්වා වැඩි වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස රාෂ්ඨ පාලනයෙන් වර්ගීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් අඩු ආදායම් ලබන රටක් නොව පහළ මධ්‍යම ආදායමක් ලබන රටකි. මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ රටේ නිෂ්පාදනය හා ආදායම වැඩි වී භාණ්ඩ හා සේවා පරිභෝජනයේ ප්‍රසාරණයයි. එනම් ආදායම් බදු ගෙවිය හැකි හා ගෙවිය යුතු තැනැත්තන් රට තුළ ක්‍රමිකව වර්ධනය වී ඇති ආකාරයයි.

තත්ත්වය මෙසේ වුවත් රජයට ආදායම උපයා ගැනීම සඳහා වැඩි වශයෙන් වක්‍ර බදුවල පිහිට පැතීමට සිදුවී තිබේ. ඒ අනුව රාජ්‍ය බදු ආදායමෙන් දළ වශයෙන් 18%ක් ඍජු බදු මගින් උපයන විට ඉතිරි 82%ක වක්‍ර බදු මගින් අයකර ගනී. වක්‍ර බදු භාණ්ඩ හා සේවා මත අයකරන බැවින් භාණ්ඩ මිලදී ගන්නා ඕනෑම තැනැත්තෙක් අදාළ බදු ගෙවිය යුතුය. එහිදී අඩු ආදායම් උපයන්නන්ගේ ආදායමට සාපේක්ෂව ඔවුන් ගෙවන බදු ප්‍රමාණය වැඩිය. එමගින් අඩු ආදායම්ලාභීන්ට ඇති කරන පීඩනය හමුවේ ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත හෙළයි. එම නිසා දුප්පත් ජනතාව බදු බරින් මුදවා ගැනීමට නම් ඉහළ ආදායම් උපයන්නන් වෙතින් ආදායම් බදු වැඩි වැඩියෙන් අයකර ගැනීම අනිවාර්යය අවශ්‍යතාවකි. එමගින් වැඩි ආදායම් උපයන්නන් වෙතින් වැඩි බදු ආදායමක් ලබා ගැනීමත් අඩු ආදායම් ලබන්නන් වෙතින් අඩු බදු ආදායමක් උපයා ගැනීමත් සිදුවන නිසා සාධාරණත්වයේ මූලධර්මයද ආරක්ෂා වේ.

මෙවන් පසුබිමක් තුළ එතෙක් පැවති ආදායම් බදු පනත වෙනුවට නව පනතක් හඳුන්වාදී දැනට 18%ක පවතින ඍජු බදු ආදායම 40%ක් දක්වා වැඩි කිරීමත් 82%ක පවතින වක්‍ර බදු ආදායම 60%ක් දක්වා අඩු කිරීමටත් ප්‍රතිපත්ති සම්පාදකයන් තීරණය කරනු ලැබීය. එහි ප්‍රතිඵලය ලෙස අප කැමැතිවුවත් අකැමැතිවුවත් අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත බලාත්මක විය. දැන් පවතින්නේ එයට විවේචන, විරෝධතා, පැසසුම් සහ සංශෝධන සිදු වන කාලයයි. ඒ අතරින් බදු ගෙවන්නන් ව්‍යාකූලත්වයට හා බියට පත්කරන ඔවුන් බදු ගෙවීමෙන් ඈත් කිරීමට පොළඹවන දුර්මත කීපයක් පිළිබඳ විමසා බැලීම මෙතැන් සිට සිදු කෙරේ.

පනත ක්‍රියාත්මක වීමත් සමග එහි පළමු බලපෑම දැනෙන්නට වූ කණ්ඩායම් අතර සේවා නියුක්තිකයෝද සිටිති. ඔවුන්ට මාසික වැටුප් ගෙවීමේදී අදාළ උපයන විට ගෙවීම් බදු අඩු කිරීම මෙයට හේතුවයි. ඒ අනුව සියලුම සේවානියුක්තිකයන් බද්දට යටත්වන බවත් ලැබෙන මුළු මුදලටම බදු අයකරන බවටත් මතයක් සමාජගත වෙමින් පවතී. එහෙත් සැබෑ තත්ත්වය එය නොවේ. සේවානියුක්තියෙන් ලැබෙන ආදායම මාසයකට රුපියල් 100000ක් හෝ වසරකට රුපියල් 1200000ක් බද්දෙන් නිදහස් කර ඇත. එම ආදායම්වලට අඩු කිසිදු සේවා නියුක්තිකයෙක් බද්දට යටත් නොවේ. එහෙත් මසකට රුපියල් 100000ක් ඉක්ම වන විට ඒ අමතර ආදායමට පමණක් අදාළ බදු අනුපාතයන් යටතේ බදු ගෙවිය යුතුය. මෙය අප ජීවත්වන කලාපයේ අයකරන බදු හා සැසඳීමේදී ඉතා අඩු අගයකි.

නව පනත මගින් බැංකු තැන්පතුවල ඇති මුදල් මත බදු අය කරන බවට පළකරන ප්‍රකාශද නිවැරැදි නොවේ. බැංකු තැන්පතුව මත නොව ඒ සඳහා ලැබෙන පොලියෙන් 5%ක බදු මුදලක් අය කෙරේ. එහෙත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සහනයක් ලබාදෙමින් ඔවුන්ගේ තැන්පතු මත උපචිතවන පොලී ආදායමෙන් 1500000ක් බද්දෙන් නිදහස් කර තිබේ. ඊට වැඩි පොලී ආදායමක් උපයන තැනැත්තන් පමණක් බද්දට යටත් වේ.

 

ප්‍රාග්ධන බද්ද නව පනත ක්‍රියාත්මක වීමත් සමඟ යළිත් බලාත්මක විය. ඒ පිළිබඳව ද විවිධ දුර්මත පවතී. තමා පදිංචි ඉඩම හෝ නිවස විකිණීමෙන් ලැබෙන මුළු ආදායම මත 10%ක බදු මුදලක් අයකරයි යන්න නිවැරැදි නොවේ. පුද්ගලයකු සතු වසර 3ක් හිමිකාරීත්වය පැවැති සහ ඉන් වසර 2ක් පදිංචි සිටි නිවස මෙයට අදාළ නොවේ. තැනැත්තකු අලෙවි කරන ඉඩමක හෝ නිවසක විකුණුම් වටිනාකමින් 2017 සැප්තැම්බර් මස 30 වන දිනට එහි වෙළෙඳපොළ වටිනාකමත් වැඩි දියුණු කිරීමේ හා අත්පත් කර ගැනීමේදී දරන ලද ආනුෂංගික පිරිවැයත් අඩු කළ පසු ඉතිරිය මත පමණක් බදු අය කෙරේ. කෙසේ වෙතත් වත්කමක වටිනාකම ඉහළ යාමට බලපාන සාධක රාශියකි. උදාහරණයක් වශයෙන් ඉඩමක හෝ නිවසක වෙළෙඳපොළ වටිනාකම වැඩි වීම සඳහා මහා මාර්ග, පොදු ප්‍රවාහන පහසුකම්, විදුලිය, ජලය මෙන්ම හොඳ පාසල් හා රෝහල් පැවතීමත්, සුන්දර පරිසරයක් වීමත් හේතුවේ. මේ පහසුකම් ප්‍රවර්ධනය සඳහා රජය අතිවිශාල මුදලක් වැය කරයි. ඒ වෙනුවෙන් යම් සාධාරණ මුදලක් ප්‍රාග්ධන ලාභ උපයන්නන්ගෙන් අයකර ගැනීම අසාධාරණ බදු පැනවීමක් නොවේ. තව තවත් එවන් වටිනාකම් වැඩි කිරීමට රජයට දිරිගැන්වීමකි.

ව්‍යාපාරිකයන්ට නව පනත මගින් අධික බදු බරක් පටවා ඇතැයි නැඟෙන මැසිවිලිද සත්‍යයෙන් තොර වූවකි. උදාහරණයක් ලෙස යම් තක්සේරු වර්ෂයකදී ව්‍යාපාරිකයකුගේ බදු අය කළ හැකි ආදායම රුපියල් 600000ක් යැයි සිතමු. මෙතෙක් පැවති පනත යටතේ මේ ආදායම මත ආදායම් බදු ගෙවනු ලැබූයේ නම් 4% සහ 8% අනුපාත යටතේ ගෙවන ආදායම් බද්ද රුපියල් 28000 කි. එම ව්‍යාපාරිකයා නව පනත යටතේ මෙම ආදායමට බදු ගෙවයි නම් 4% අනුපාතය යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද රුපියල් 24000 කි. ඒ අනුව නව පනතින් අධික බදු මුදලක් අයකරන බව පැවසීම නිවැරැදි නොවේ.

නව බදු පනත මගින් සමාගම් ආදායම් බදු සම්බන්ධයෙන් ද සහන ලබා දී ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, මූලිකවම භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන සමාගම්, කෘෂිකාර්මික ව්‍යාපාර පවත්වාගෙන යන සමාගම්, අධ්‍යාපන සේවා පවත්වාගෙන යන සමාගම්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා වූ ව්‍යවසායන්හි යෙදී සිටින සමාගම් සහ තොරතුරු තාක්ෂණ සේවා සැපයීම් කරනු ලබන සමාගම් ආදිය දිරිගැන්වීම සඳහා 14%ක සහනදායී බදු අනුපාතයක් හඳුන්වාදී ඇත. ඊට අමතරව අධෛර්යමත් කළ යුතු මත්පැන්, දුම්කොළ නිෂ්පාදන, ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා සිදුකරන සමාගම් වෙතින් අය කරන බදු අනුපාත 40% දක්වා ඉහළ නංවා තිබේ. අනෙකුත් සමාගම් සඳහා 28%ක පැවති අනුපාතයම පවතී.

රජයන් විසින් ආයෝජන දිරිගැන්වීම සඳහාත් එමගින් නිෂ්පාදනය වැඩි කර ආදායම ඉහළ නැංවීම හා සේවා නියුක්තිය ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ බදු සහන විරාම හා නිදහස් කිරීම් ලබා දෙයි. පැවැති පනත තුළ මේවා අධිකව පැවතුණි. එහෙත් බොහෝ අවස්ථාවල එය බදු මගහැරීමටද නිවැරැදි බදු නොගෙවීමටද හේතුවක් කරගත් අවස්ථා බොහෝ තිබුණි. එම නිසා එම බදු සහන පිළිබඳ නැවත සමාලෝචනය කර යම් යම් සංශෝධන සිදුකර ඇත. එහෙත් එය නිවැරැදිව සාධාරණ බදු ගෙවූ තැනැත්තන්ට හානියක් නොවන පරිදි පවතී.

ආදායම් බදු ගෙවිය යුතු එහෙත් නොගෙවන පිරිසක් සිටිති. විශේෂයෙන්ම සැඟවුණ ආර්ථික කටයුතුවල යෙදෙන්නෝ, විවිධ වෘත්තිකයෝ, අන්තර්ජාල වෙළඳාම් සිදු කරන්නෝ, බදු මගහැර යන්නන් අතර මූලික වෙති. මේ පිරිස බදු දැලට හසුකර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඉදිරියේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත වන ආයතන වෙතින් ලබාගන්නා තොරතුරු පදනම් කර ගනිමින් වයස අවුරුදු 18 ඉක්මවන සෑම තැනැත්තකු සඳහාම ජාතික හැඳුනුම්පත් අංකය පදනම් කරගෙන සකස් කරනු ලබන අනන්‍යය වූ අංකයක් නිකුත් කෙරේ. :ඡරදසෙකැ* එයට එකතුවන තොරතුරු පදනම් කර ගනිමින් බදු බැඳියාවක් සහිත තැනැත්තන් වෙත නව ලිපි ගොනු විවෘත කෙරේ. එසේ නොමැතිව වයස 18 සම්පූර්ණ වූ පමණින් සියලු දෙනාටම ලිපි ගොනුව විවෘත නොවේ.

රජය නව දේශීය ආදායම් පනත ගෙන ඒමෙන් රටවැසියන් අපහසුතාවට පත්කිරීමට උත්සාහ දැරීමක් නොකරයි. වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ජනතාවට ලබා දීම රජයක අපේක්ෂාව වේ. ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග තුළින් යම් යම් තැනැත්තන්ට අපහසුතාවලටද මුහුණ දීමට සිදුවන බව තේරුම් ගත යුතුය. ඒ අතරින් ආදායම මත බද්දක් අය කිරීම මූලික වේ. බොහෝ දෙනෙක් තමා උපයාගත් ආදායමෙන් කොටසක් බදු ලෙස ගෙවීමට මැලිකමක් දක්වති. එහෙත් තනි තනිව ඉටු කරගත නොහැකි පොදු භාණ්ඩ ලබා ගැනීමටත් සුබ සාධන සේවා සඳහාත් ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම වෙනුවෙනුත් බදු ගෙවිය යුතුවේ. විශේෂයෙන්ම අනාගත පරපුරට යහපත් රටක් උරුමකර දීම වර්තමාන පරපුරේ යුතුකමයි. අතීතයේ බදු ගෙවන ලද ගෞරවණීය බදු ගෙවන්නන් බදු නොගෙවූයේ නම් වර්තමානයේ අප භුක්තිවිඳින බොහෝ දේ අපට නොලැබේ. එසේම දැනට බදු ගෙවන තැනැත්තන් ගෙවන මුදල් නිසි ලෙස වැය කර රටේ දියුණුව ඇති කිරීමත් ගෙවන බදුවලින් රට සංවර්ධනය කර එහි ප්‍රතිලාභ සමස්ත ජනතාවට දැනෙන පරිදි හිමිකර දීමත් පාලනයේ යෙදී සිටින සියලුදෙනාගේ වගකීම හා යුතුකමයි. විශේෂයෙන්ම බදු මුදල් විනිවිද බවින් යුතුව අරපිරිමැස්මෙන් ජනතා අවශ්‍යතා සඳහාම යොදවන බවට විශ්වාසයක් ඇති කිරීම තුළින් බදු ගෙවීමට පෙළඹවීම වඩාත් සුදුසු වේ. ඒ අනුව බදු වගකීමක් නොව සමාජ යුතුකමක් ලෙස සිතන ජාතියක් බවට පත්වීමට කාලය විසින් අපව පොළඹවනු ඇත.

 





උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවියේ 2018.05.01 දින පළවූ “නව දේශීය ආදායම් පනත හොඳ නැද්ද?” ලිපියෙනි.

 




2018-05-02
Advertisement

Find us on Facebook