English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නැවත මැතිවරණ පැවැත්වීමේ ජවිපෙ ප්‍රතිගාමී ඉල්ලීම හා කැබිනට් සංශෝධනය
ලාල් කාන්ත
ලාල් කාන්ත

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන්නැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වන ලාල් කාන්ත පැවසී ය. ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙට හිමි වූ ජාතික ලැයිස්තු ආසන දෙක සඳහා නම් කිරීමේදී ලාල් කාන්ත ද ඒ සඳහා අභිප්‍රාය පළ කළ මුත් පක්ෂය විසින් තෝරා පත් කරනු ලැබුවේ පරාජිත අපේක්ෂකයකු වූ සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායකයි.

බිමල් රත්නායකව පත් කරනු ලැබුවේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මන්ත්‍රීවරයකු වූ හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ඉවත් කරමිනි. ජවිපෙ 2015 මහ මැතිවරණයට තරග කළේ එවැනි ජවිපෙ නොවන සිවිල් සමාජ නායකයන් පාර්ලිමේන්තුවට පත් කරනු ඇති බව ප්‍රවර්ධනය කරමිනි. එහෙත්, ජවිපෙ අපේක්ෂා කළ තරම් ඡන්ද නොලැබුණ බැවින් ජවිපෙ නායකයන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීම සඳහා ජාතික ලැයිස්තුවෙන් සරත් මායාදුන්නේ, උපුල් කුමාරප්පෙරුම වැනි වෘත්තිකයන් පත් වීම වළක්වන ලදී.

මහ මැතිවරණයක් පවත්වන්නැයි ලාල් කාන්ත කරන ඉල්ලීම පසුපස ජවිපෙ මෙවැනි අභ්‍යන්තර දේශපාලනයන් තිබෙන නිසා එය බැරෑරුම්ව සැලකිය යුතු නැත. එහෙත්, ආණ්ඩු පත් කරමින්, පත් කළ දා සිට එය පෙරළීම සඳහා ද වැඩ කරන ජවිපෙ දේශපාලනයේ මෙම සටන් පාඨය මහජනයා පැත්තෙන් හරියට වටහා ගත යුතු ය.

නැවත මහ මැතිවරණයක් පැවැත්වීමට පමණක් මහජන මුදලින් රු. බිලියන තුනක් පමණ වැය වේ. එමෙන් සිය ගුණයකටත් වඩා මුදල් ප්‍රචාරණය සඳහා වැය වේ. මහ මැතිවරණය නිසා මිනිසුන්ගේ දෛනික ජීවිතවලට වන බලපෑම හේතුවෙන් ආර්ථිකයේ ඵලදායී පාර්ශ්වයන්ට ද හානි සිදු වේ.

අවසානයේදී මේ සියල්ලේ ම බර දරන්නට සිදු වන්නේ මේ රටේ වැඩ කරන ජනතාවටයි. ඒ නිසා නැවත මහ මැතිවරණයක් පැවැත්වීමේ ජවිපෙ ප්‍රතිගාමී ඉල්ලීමට ජනතාව එකහෙළා විරුද්ධ විය යුතු ය. බලයට පත් වුණ එවුන් ඒ නියමිත කාල සීමාව තුළ රට පාලනය කරනවා විනා, නැවත නැවත මැතිවරණ පවත්වමින් තව තවත් මහජන මුදල් නාස්ති කිරීමට ඉඩ නොදිය යුතු ය.

අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් විශ්වාසය භංග වී ඇති බව ප්‍රකාශ කළ ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කොටසක් ද සමග එක්ව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව නිර්මානය වී තිබේ.

ඉල්ලා අස් වී තිබෙන පිරිස අතර සුසිල් ප්‍රේම ජයන්ත, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන, ලක්ෂ්මන් යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසන්ත පුංචිනිලමේ, එස්.බී. දිසානායක වැනි නොම්මර එකේ දෙපිටකාට්ටු, තක්කඩි, මුග්ධ, කඩාකප්පල්කාරීන් පිරිසක් සිටිති. ඔවුන් ආණ්ඩුවෙන් දුරු වීම ඇත්තට ම රටට යහපතකි.

විශ්වාස භංගය හේතුවෙන් අගමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය නීතිමය වශයෙන් තහවුරු විය. එහෙත්, එකී නීතිමය විශ්වාසය අධි තක්සේරු කර ගත යුතු නැත. ඔහු සම්බන්ධයෙන් එවැනි මහ ලොකු විශ්වාසයක් රටේ නැත. තිබෙන්නේ අනෙක් එවුන්ගේ නරකට හා අසාර්ථකත්වයට සාපේක්ෂව කිසියම් සුබවාදී හැඟීමක් පමණි. එවන් සංදර්භයක් තුළ ඔහුගේ වගකීම වන්නේ එම හැඟීම සුරැකෙන පරිදි ඉදිරි වසර දෙක තුළ ආණ්ඩුව පවත්වාගෙන යමින් හැකි උපරිමයෙන් වැඩ කිරීමට උත්සාහ කිරීමයි. එජාප විසින් අරමුණු කරනු ලබන දේශපාලන, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු ය. බාධක මතු වනු ඇත.

ආණ්ඩුව ඇතුළේ සිටි කඩාකප්පල්කාරීන්ගෙන් කොටසක් පිටතට විසි වී තිබෙන මුත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි කඩාකප්පල්කාරී නායකයන් තවමත් ආණ්ඩුව ඇතුළේ ම සිටින සංදර්භය තුළ අභියෝග රැසක් මතු වනු ඇත. එහෙත්, කළ යුතු දේ නො සැලී කරන්නට එජාප නායකත්වයට කොන්ද තිබේ නම්, 2020 වන විට තත්වයන් වෙනස් කරන්නට බැරිකමක් නැත.

අජිත් පැරකුම් ජයසිංහ - උපුටා ගැනීම W3




2018-04-12
Advertisement

Find us on Facebook