English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඌව මීළඟ වයඹ ද? ජනාධිපතිවරණ පෙරහුරුව ද?


වයඹ මැතිවරණ කොල්ලය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිධුරයේ ප්‍රජාතන්ත්‍රවාදී විභවයෙහි  බහින කලාවේ තීරණාත්මක ආරම්භය විය.  1998 වයඹ පළාත් සභා මැතිවරණය නිදහස් සහ සාධාරණ අයුරින් පැවැත් වූයේ වුව ද එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට ඉඩත් තිබුනේ නැත. පොදු පෙරමුණ බලයට පැමිණ ගතව තිබුනේ වසර හතරක් පමණි. එක්සත් ජාතික පක්ෂය අද මෙන්ම  රුවලක් නැති නෞකාවක් සේ සුළග විසින් ඉබේම ගොඩබිම කරා ගෙනු යනු ඇතැයි යන නිද්‍රාවෙන් ඔබමොබ පැද‍්දෙමින් තිබුණි.

පූර්ව මැතිවරණ කාල පරිච්ජේදයෙහි සැළකිය යුතු මැතිවරණ ප්‍රචන්ඩත්වයන් දක්නට තිබු‍ණේ නැතත් පොදු පෙරමුණ සෑම ආසනයකම කඳවුරු බැද තිබුණේ දැවැන්ත මෙහෙයුමක් අත ළඟ බව ඉඟි කරමිනි. මැතිවරණ දිනයෙහි කළබලකාරී තත්වයක් ඇති කැරෙන බවට ළකුණූ දිස්වෙමින් තිබුණි. තමන්ට දිනා ගත හැකිව තිබූ වයඹ ජන්දය පොදු පෙරමුණ විසින් ලේ හැලූ ප්‍රචන්ඩ මෙහෙයුමක් බවට පත් කරන ලද්දේ ඇයි? එයට ඇති එක් පිළිතුරක් නම් එලඹීමට නියමිත වූ  ජනාධිපතිවරණය සඳහා පෙරහුරුවක් වශයෙන් එකී ප්‍රචන්ඩ මෙහෙයුම දියත් කරන්නට ඉඩ ඇති  බවයි.

වයඹ ජන්ද කොල්ලය ප්‍රචන්ඩකාරී මැතිවරන ජයක් ලබා ගැනීමේ දී නිහඩ කළ යුතු අත්‍යාවශය සාධක තුනක්  පිළිබඳ මැන ගැනීමකට පොදු පෙරමුණේ ජන්ද මැසිමට  අවස්ථාව සළසා දුන්නේ ය. ඒවා නම් සාධාරණ මැතිවරණය සහතික කළ යුතු පොලීසිය දේශපාලන බලය හමුවෙහි නිහඩ කළ හැකි බව, මැතිවරණය අමු අමුවේ ම ප්‍රචන්ඩ වුව ද මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මැතිවරණ ප්‍රතිපලය ප්‍රතික්ෂේප නොකරන බව සහ ප්‍රචන්ඩ මැතිවරණ ව්‍යාපාරයක් හමුවෙහි එක්සත් ජාතික පක්ෂය පසු බසින බව ය‍.

වයඹ මැතිවරණ කොල්ලය විසින් පොලීසිය අන්ත අසරණ බවට පත් කළ අතර එක්සත් ජාතික පාක්ෂිකයින් බියගුල්ලන් බවට පත් කළේ ය. වයඹ පළාත් මැතිවරණය මෙහෙයවූ සහකාර මැතිවරණ නිලධාරීන් දහ දොළොස් දෙනෙකු ම මැතිවරණ දූෂන පිළිබඳ වාර්තා මැතිවරණ කොමසාරිස්වෙත බාර දුන් නමුත් ඔහු ඒ සියල්ල සඟවා තැබුවේ ය. අන්ත දූෂිත ලෙස බලයට පත් පොදු පෙරමුණ වයඹ නීත්‍යනුකූල පළාත් සභාව බවට පත් විය.

වයඹ මැතිවරණ කලු පැල්ලම ජනධිපති කුමාරතුංගටවත් මැතිවරණ දෙපාර්ථමේන්තුවටත් කිසිදා මකා ගැනීමට නොහැකි විය.

මේ තාක් දුරට ඌව පළාත් සභා මැතිවරණයේ වාර්තා වී ඇති ප්‍රචන්ඩ ක්‍රියා දෙස බැලූ විට බොහෝ දුරටම 1998 වයඹ මැතිවරණයෙන් පසු බලයේ සිටින පක්ෂය විසින් මහා පරිමාණ ප්‍රචන්ඩත්වය යොදා ගෙන ඇති පළාත් සභා මැතිවරණය බවට මෙය පත් විය හැකි ය.

මෙම ප්‍රචන්ඩත්වය එල්ල වන්නේ බොහෝ කොටම ජනතා විමුක්ති පෙරමුණට බව පෙනේ. ඊට හේතුව පැහැදිළි ය. රාජපක්ෂ පාලනයේ දූෂණය සහ භීෂනය  පිළිබඳව මහා ජනයාට ආමන්ත්‍රණය කරන්නේ එම පක්ෂය නිසා ය.  කටකාර ජවිපෙට පහර දෙන විට අනෙක් දේශපාලන පක්ෂ ක්‍රියාධරයින්ද බියට පත් කළ හැකි නිසා ය. 

බෙදී ගිය සහ දුර්වල එක්සත් ජාතික පක්ෂය හමුවෙහි ඌව පළාත් සභා මැතිවරණය රාජපක්ෂ ආන්ඩුව විසින් ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ වැඩි ය. එසේ නමුත් බොහෝ විචාරකයින් විසින් පෙන්වා දෙමින් සිටින්නේ රාජපක්ෂ පාලනය කෙරෙහි වර්ධනය වෙමින් එන ජනතා අප්‍රසාදයේ දර්ශකයක් බවට මෙම මැතිවරණය පත්විය හැකි බවයි.

2015 මුල් භාගයේ දී ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් පැවත්වීමට ඉඩ ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සත්‍ය නම් ඌව පළාත් සභා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයක් වාර්තා කර ගැනීම රාජපක්ෂ පාලනයට තීරණාත්මක ය. තනි තනිව තරඟ කරන විපක්ෂ දේශපාලන පක්ෂ ඌව පළාතෙන් සමස්තයක් වශයෙන් සියයට 40ක් හෝ ඊට වැ‍ඩි  ආසන්න ජන්ද ප්‍රමාණයක් ලබා ගත හොත් ඉන් පෙන්නුම් කරනු ඇත්තේ නිදහස් සහ සාධාරණ ජනාධිපතිවරණයක දී මහින්ද රාජපක්ෂ තීරනාත්මක අභියෝගයකට මුහුණ දෙනු ඇති බවයි. මහින්ද රාජපක්ෂගේ තෙවැනි ජනාධිපතිධුර සිහිනය බිඳ වැටීම එමගින් ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය තුල ඇතිව තිබෙන රාජපක්ෂ නොරුස්නා බල කේන්ද්‍රයන් ද එවැනි තත්වයක් යටතේ රාජපක්ෂ විරෝධී කදවුරට එක්වීමට ඉඩ තිබේ. දෙමළ සහ මුස්ලිම් ජන්දදායක අති බහුතරය දැනටමත් රාජපක්ෂ පාලනයට විරුද්ධ ය. සිංහල කිතුනුවන් ද රාජපක්ෂ පාලනය කෙරෙන් ඉවතට ගමන් කරමින් සිටිති. වෙනසක් ප්‍රාර්ථනා කරන මෙම සියළු ජන පිරිස් එක්කර ගත හැකි විපාක්ෂික ජනාධිපතිවරණ ව්‍යපාරයක් වැළැක්වීමත් එවැනි ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නැගෙන්නේ නම් ජන්ද ප්‍රතිපලය වෙනස් කල හැකි වයඹ වර්ගයේ දූෂිත ජන්ද මැෂිමක් ද රාජපක්ෂවරුන්ට අත්‍යවශය ය. ඒ සඳහා වූ මැර තන්ත්‍රයේ විවිධ උපාංග  පාරට දමා පෙරහුරු ලබා දීම පසුගිය කාලය පුරාම සිදු වෙමින් තිබේ.

කවර කුමයකින් හෝ බලයේ රැදී සිටීම අවශ්‍ය වන්නේ  දූෂණයෙන් සහ භීෂනයෙන් අභිෂේක ලබා සිටින රාජපක්ෂවරුන්ට රාජ්‍ය බලය නොමැතිව ජීවත්වීම ගැන සිතා ගැනීමටවත් බැරි නිසා ය.

එදා වයඹ ජන්ද මංකොල්ලය අවධියෙහි ශ්‍රී ලංකාවෙහි ප්‍රබල සිවිල් සමාජයක් ද නිදහස් ජනමාධ්‍ය ද තිබුණි. ස්වාධීන අධිකරණයක් තිබුණි. ජන්ද දිනය රුයෙහි ම මැතිවරණ ප්‍රචන්ඩත්වය අරභයා  සජීවී රූපවාහිනී සංවාද පැවැත්වුණි. මැතිවරණ නිරීක්ෂන ව්‍යාපාර ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි නඩු පවරා මැතිවරණ කොමසාරිස්වරයා වඩා ස්වාධීන සහ බලවත් කරන නියෝග ලබා ගත්තේ ය. හොර ජන්ද දැමීමට එන කවරකුට හෝ වෙඩි තබන බවට තර්ජනය කළ ‍ජන්ද පොළ ආරක්ෂා කළ තරුණ සොල්දාදුවන් වයඹ මැතිවරණ කොල්ලය දිනයෙහි අපට හමු විය.

අද මේ කිසිවක් නැත. අධිකරණ ප්‍රධානීහු  රාජපක්ෂවාදී ය.  ජනමාධ්‍ය රාජ්‍යට හිලෑ ය. සිවිල් ඇදුමින් වෙස්වලාගත් රාජපක්ෂවාදී හමුදා සොල්දුදුවෝ සිවිල් සමාජ ක්‍රියාකාරකම් කඩාකප්පල් කරති. 18 වන සංසෝධනය විසින් පොලිස් කොමිසම ද මැතිවරණ කොමිසම ද අඩපන කර තිබේ‍.

දැන් දූෂිත ජන්ද ජයග්‍රහණයක් සඳහා රාජපක්ෂවරුන්ට අවශ්‍ය කැරෙන්නේ විපක්ෂ ජන්ද දායකයා බිය ගැන්වෙන ප්‍රචන්ඩ මැතිවරණ භීෂනයක් දියත් කිරීම පමණි. උතුර බිය ගැන්වීමට අවශ්‍ය එල්ටීටීඊ බිල්ලා ද නැගෙනහිර බිය ගැන්වීමට අවශ්‍ය කරන අල්කයිඩා බිල්ලා ද ආරක්ෂ අමාත්‍යාංශයේ ශීතකරණයන්හි තැන්පත් කර තිබේ.  පාරට දැමීමට සූදානම් චීවරධාරී නායකත්වයෙන් යුතු මැරවර බලවේගයන් ගණනාවක් ද එම අමාත්‍යාංශයේ කිරි පොවා ඇති දැඩි කෙරෙමින් තිබේ.

රාජපක්ෂ පාලනය පරාජය කිරීමට පුළුල්තම ඒකාබද්ධ පෙරෙමුනක් අවශ්‍ය වන්නේ එයට මහා ජනයා අතර ඇති ජනප්‍රියත්වයක්  නිසා නොවේ. රාජපක්ෂ පාලනය රදා පවතින දරුණූ ගොරබිරම් මර්දනකාරී යන්ත්‍රය අද රටෙහි පවත්නා කිසිදු දේශපාලන පක්ෂයකට තනිව පරාජය කළ නොහැකි නිසා ය.

ජනාධිපතිවරණයකට හෝ මහා මැතිවරණයකට හෝ පෙර පැවැත්වෙන මෙම අවසාන පළාත් සභා මැතිවරණය රාජපක්ෂවරුන්ට පමණක් නොව වෙනසක් අපේක්ෂා කරන දේශපාලන සහ සිවිල් බලවේගයන්ට ද තීරණාත්මක වන්නේ මෙන්න මේ තත්වය නිසා ය.

ළඟ එන මහා ‍මැතිවරණයන් අභිමුව බලවේග ගොනු වනු ඇත්තේ කෙසේද යන්න කෙරෙහි ඌව මැතිවරණය තීරනාත්මක බලපෑමක් ඇති කරන බව නිසැක ය.



සුනන්ද දේශප්‍රිය



2014-08-31
Advertisement

Find us on Facebook