English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අවි එසවීමටද, ඉන් වෙඩි කා මැරීමට ද ජනතාව වගකීමෙන් කටයුතු කර ඇත.

බෙලිඅත්තේ චන්ඩි මල්ලි ගේ නුතන පරපුරේ හපන්කම් අද දකින විට, කසුන්ගේ තාත්තා වන එම්.කේ. රන්ජිත් නොහොත් චන්ඩි මල්ලි ගැන වචනයක් පැවසිය යුතුය. කසුන් ලාට මේ රටේ නීතිය අතට ගැනීමට උගන්වා ඇත්තේ තම පිය උරුමයෙන් නම් නොවේ. 1988 යුගයේදී බෙලිඅත්ත වීරකැටිය තංගල්ල යන ප්‍රදේශවල රාජපක්ෂ පවුලට එරෙහිව යම් අයෙකු ඉදිරියට පැමිණියේ නම් එහි වගකීම නිල වශයෙන් භාර දුන්නේ චන්ඩි මල්ලිටය.

ඔහුගේ ආරක්ෂාව පමණක් නොව නීතියේ රැකවරණයද මහින්ද රාජපක්ෂලා එදා අපුරුවට සපයා තිබුණි. ඉතින්, නීතිය අතට ගනිමින් චන්ඩි මල්ලිලාගේ කඩු පහරට, බෝර 12 තුවක්කු කටින් පිටවන උණ්ඩයට ප්‍රදේශයේ ජනප්‍රිය චරිත බොහෝ ගණනක් අකාලයේ බිලිවිය. තම ස්වාමියාගේ සියලු පව් කරගසමින්, ටක්කෙටම වගකීම ඉටු කරමින් ආ දීර්ඝ ගමනේ ප්‍රතිපලයක් ලෙස දකුණු පළාත් සභාවේ ඇමෙති ධුරයක් දක්වා චන්ඩි මල්ලි පැමිණියේය.

එම කාල වකවානුවේදී සුරියවැව රත්නවීර ලා සමුලඝාතනය කරමින් නැගී ආ වම්බොට්ටා මැදමුලන වලව්වේ නව වීරයා බවට පත් විය. ඉන් පසුව උදාවූ යුගයේදී, තම කුරහන් සාටකයේ කුණු ලේ පොදක් හෝ නොගෑවෙන පරිදි සියලු කාර්යයන් වම්බෝට්ටාට පවරන ලදී. තම වලව්වේ ලේ වැකුණු අතීතය පිළිබඳව බොහෝ කරුණු සිත් හි දරාගෙන, කීකරු ගෝලයෙකු සේ සේවය කල චන්ඩි මල්ලි අවසන් හුස්ම පොද හෙලන්නේ මේ රටේ අධි ආරක්‍ෂිත කලාපයකය. ඔහුට වෙඩි තබා මරා දමන්නේ වම්බොට්ටා විසිනි.

මෙම ඝාතන සංස්කෘතියේ ඊළඟ බිල්ල වන්නේ වම්බොට්ටාය. ආරක්ෂක අමාත්‍යංශයේ සම්පුර්ණ අධීක්ෂණය යටතේ එම මරණය සිදු වූ බව ඩේලි මිරර් පුවත්පත පවා තොරතුරු පල කළේය. වම්බෝට්ටාද සියලු රහස් පපු කුහරයේ රඳවා ගනිමින් මෙලොවෙන් නික්ම ගියේ චන්ඩි මල්ලි ලෙසය.

අද දින මාලඹේ නගරයේදී මහ මග පිස්තෝල ගෙන රියදුරෙකුට පහර දුන් මහින්ද පිලේ දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් නැවත දේශපාලනයට පිවිසෙන්නේ නම් තම පිය උරුමයෙනි. ඔහු හා සම්බන්ධ තොරතුරු ගණනාවක් අතරින්, පසු ගිය 2014 වසරේ තිස්සමහාරාම ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් බෙලිඅත්ත ප්‍රදේශයේදී කපා කොටා දැමීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ ගයාන් සුරංග නම් 27 හැවිරිදි තරුණයාගේ මරණයට ඔහුගේ නම කියැවුනි. එහෙත් පැවති දේශපාලන බලය හා නාමල් කුමරුගේ නිල් බලකායේ සහයෙන් එම මිනිමැරුමට සාධාරණයක් ඉටු නොවුනි.

අද ද කසුන් ලා මාලඹේ නගරයේදී ශිල්ප දක්වන්නේ නීතිය එදා මෙන් සමච්චලයට ලක් කරමිනි. මැදමුලන වලව්වට සමීප ගෝල බාලයන් සිතු පැතු ආකාරයට දකුණ කළඹවමින් ගෙන ගිය අපරාධ රැල්ලට තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති විදානපතිරනලා හවුල් වුයේද ස්ත්‍රී දුෂණ මිනීමැරීම් තුලිනි. මේ රටේ නීතිය බලවතුන් ඉදිරියේ නැමෙන බව පුන පුනා පැවසීමට අවැසි කාරණයක් නොවේ. මේ රටේ වැරදි දේශපාලන ආදර්ශයන් තුලින් බිහි වුනු චන්ඩින් ගෙන් සමාජයට එල්ලවන පීඩනය හමුවේ ජනතාවට සිදුවන්නේ වෙඩි කන්නට හෝ අතපය කඩා බිඳ ගෙන රෝහල් ගත වීමටය. මේ රටේ ජඩ දේශපාලුවන්ගේ රැකවරණය මැද හැදී වැඩෙන මෙවන් ගහලයන් දිනෙන් දින ආරක්ෂා කරන්නේද මේ රටේ ප්‍රභූ දේශපාලනය විසිනි. "ඔලුව කුඩු වෙන්න තියනවා" යැයි තම ඇඹේනිය මහ මග පිස්තෝල කරමවමින් සාමාන්‍ය ජනතාවට මරණීය තර්ජනය කිරීමත්, මරා දැමීමට තැත් කිරීමත් මේ රටේ නීතිය ට අනුව වරදක් උවද, මහින්ද ගේ දුරකථන සාකච්චාවකින් මෙවන් ගහලයන් කිසිදු අන්තරාවකින් තොරව නිවෙස් බලා යනු ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්වන නිලධාරීන් අවසානයේ වෙඩි පහරකට ලක් වීමේ අවධානම පමණක් ඉතිරිවනු ඇත. කට උත්තර ලිවූ කොස්තාපල් පුන්ඤසෝමලා තලෙයි මන්නාරමට ස්ථාන මරුවෙම් ලැබෙනු ඇත. මේ තක්කඩි ක්‍රමය අනුමත කල ජනතාව මෙවැනි ප්‍රති උපකාර බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. මේ අවි එසවීමටද, ඉන් වෙඩි කා මැරීමට ද මේ රටේ ජනතාව වගකීමෙන් කටයුතු කර ඇත.

 

ෆේස්බුක් පිටුවකින් උපුටා ගන්නා ලද්දකි.




2018-03-12
Advertisement

Find us on Facebook