English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ විට ඉන් ඵල ලබන්නේ මිතුරාට වඩා සතුරා ද..?
10 වෙනිදා පැවති මැතිවරණයේ ප‍්‍රථිඵලය ගැන තවමත් ලෝකෙ නැති කතාය. මෙම ඡන්දය ජනමත විචාරණයක් සේ පිලිගනිමින් ආණ්ඩුවට තව දුරටත් පීචං නොවී ගෙදර යන ලෙස පොහොට්ටු කාරයන් කියා සිටියාය. යහපාලන කාරයන් කියා සිටින්නේ ආණ්ඩුවට රතු එලියක් ලබා දී ඇති බව පිලිගන්නා නමුත් පොහොට්ටුවට විරුද්ධව වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ඇති නිසා ජන මතය තවමත් ඔවුන් සමග බවය.



ඒ කෙසේ කීවත් දහවෙනිදා ප‍්‍රතිපලයෙන් පසුව ආණ්ඩුව දින ගනනාවක් ගොලූ විය. අගමැති ඉවත් කරන බවටත්, යහපාලන ආණ්ඩුව වෙනුවට යුඇන්පී ආණ්ඩු හෝ පොහොට්ටු ආණ්ඩු හදන බවට ප‍්‍රකාශ නිකුත් විය. ජනපති, ඇගමැති නිවෙස් වෙත උදේ, රෑ, මැති, ඇමති, පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු වැල නොකැඞී යනු.. එනු... ප‍්‍රකාශ නිකුත් කරනු පෙනුනි. යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන නීතිපති උපදෙස් ලබා ගැනීම් ද, ශ්‍රේෂඨාධිකරණයේ මත විමසීම් සිදු කර ඇති බව ද වාර්තා විය. මේ තත්ත්වය මාධ්‍ය කාරයන්ට රජ මගුලක් වූ අතර, සිරස කාරයා මේ අස්සේ බ්‍රේකින් නිවුස්වලින් ලෝක වාර්තාවක් ද පිහිටවනු ලැබීය.

තරමක් දුරට මෙම තත්ත්වය පහව ගියේ යහපාලන ආණ්ඩුව තව දුරටත් ගෙන යන බවත් අකමැති අයෙකුට ඉන් ඉවත් විය හැකි බවටත් පසුගියදා අගමැතිවරයා කළ ප‍්‍රකාශයත් සමගය. සිරසට එය බේකින් නිවුස් එකක් නොවූවත්, ඉන් පසු තත්ත්වය ක‍්‍රමයෙන් ආපිට හැරෙන්නට විය. පාර්ලිමේන්තුවද සුපුරුදු පරදි රැස්විය.  රටේ පවතින දේශපාලන අස්ථාවර භාවය ගැන විවාදයක් ඉල්ලා සිටියත් විවාදය ඉල්ලා සිටි පොහොට්ටු මන්ති‍්‍රවරුන්ගේ සහභාගීත්වය දුර්වල අඩියක පැවතුනි. යහපාලන ආණ්ඩුවේ මලගම සනිටුහන් කිරීමට එදින උදැසනම සිට බ්‍රේකින් නිවුස් කාරයන් පාර්ලිමේන්තුව වටේ කදවුරු ලාගෙන හිටියත් විකිනිය හැකි නිවුස් කෑල්ලක් සොයා ගැනීමට නොහැකිව බොහෝ අය ලත විය.
  
පාර්ලිමේන්තු බහුතරයක් පෙන්විය හැකි බවත් යුඇන්පී විරෝධී රජයක් පිහිටුවන බවටත් වූ, මාධ්‍ය සංදර්ශන මේ වන විට සියල්ල අවසන් වී තිබේ. පලාත් පාලන මැතිවරණයකින් අගමැතිවරයෙකු පත්කළ හැකි බවට සිහිනයක සිට පොල්ලෙලි, පොල්කෝම්බ වලට ඡන්දය දුන් ජනතාව මේ වන විට හොන්දු මාන්දු වී සිටී. අලූත් ආණ්ඩුවක් ගොඩනගා අගමැති වෙන්න සිටි... හිටපු ජනාධිපතිවරයා දැන් විපක්ෂ නායක කම ඉල්ලීමට තරම් පල්ලම් බැස තිබේ.

ඇත්තටම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු සිදු වූයේ කුමක්ද?  පොහොට්ටුව හා ජනාධිපතිවරයා නියෝජනය කරන ජේෂ්ඨ දේශපාලනඥයින්, 19වන සංශෝධනයෙන් පසුව හා පලාත් පාලන මැතිවරණ ප‍්‍රථිපලයකින් දැනට පාර්ලිමේන්තුවේ ඇති සංයුතිය වෙනස්කර ආණ්ඩු වෙනසක් සිදු කළ නොහැකි බව හොදාකාරව දැනගෙන සිටියත්, පවතින ආණ්ඩුවේ ගමන අල කිරීමට උපාය මාර්ගයක් ලෙස මෙම මැතිවරණ ප‍්‍රතිඵලය යොදා ගන්නා ලදී. ඒ සදහා ඔවුන් මාධ්‍ය උපයෝගීකර ගනු ලැබූ අතර, බහුතර මාධ්‍ය ඒ සදහා සැදී පැහැදී බ්‍රේක් නැතුව ම කටයුතු කරන ලදී.

යහපාලන ආණ්ඩුව පත්වී අවුරුදු තුනකට පසුව පැවැත් වූ මෙම පලාත් පාලන මැතිවරණයෙන් කාරනා දෙකක් පැහැදිලි විය. නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ස්ථාපිත කළ විට එහි ප‍්‍රයෝජනය වැඩි පුර ලබා ගන්නේ මිතුරාට වඩා සතුරා බව එහි පළමු වැන්නයි. පවතින යථාර්තය රටේ තුන්වන බලවේගය යැයි කියාගන්නා මාධ්‍යයට ඔවුන්ගේ ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් වෙනස් කළ නොහැකිය යන්න එහි දෙවැන්නයි.

පිලිප් දිසානායක







2018-02-22
Advertisement

Find us on Facebook