English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉහළ මිලක්…

ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයට විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ ඉංග්‍රීසි වචනය ඩිමොක්‍රසි යන්නයි. එය ඩිමොස් සහ ක්‍රාතොස් යන ග්‍රීක් වචන දෙකේ එකතුවයි. ඩිමොස් යනු මහජනතාවයි. ක්‍රාතොස් යනු පාලනයයි. එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයට මහජනතාවගේ පාලනයයි.

මහජනයා පාලනයට හවුල් වන්නේ ඔවුනගේ අභිමතය පළ කිරීමට ඡන්ද බලය පාවිච්චි කිරීමෙනි. ඩොනමෝර් සාමිවරයාගේ සභාපතිත්වයෙන් යුතු ඩොනමොර් කොමිසම මඟින් සර්ව ජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙනු ලැබීය. ඒ 1931 දීය.

සර්වජන ඡන්ද බලය රහස් ඡන්දය, සමාන ඡන්දය පත්‍රිකා ඡන්දය සහ වැඩිහිටි ඡන්දය යන අංග ලක්ෂණවලින් යුක්තය. ගිය සතියේ ශ්‍රී ලංකාවාසි ජනතාව නැවතවරක් සිය සර්ව ජන ඡන්ද බලය පාවිච්චි කළහ.

මේ ඡන්ද විමසීම සඳහා රුපියල් බිලියන 4කට මදක් වැඩි මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබුණි. 2017 ජුනි මාසයේ මැතිවරණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ සඳහා රුපියල් බිලියන 3.5ක් වැයවන බවයි. එහෙත් 2017 දෙසැම්බරයේ අවසන් සතියේ කියාසිටියේ සේවක දීමනා වැඩිකිරීම් සහ සෙසු වියදම් වැඩිකිරීමට සිදුවීම නිසා පළාත් පාලන ඡන්ද විමසීමට රුපියල් බිලියන හතරකට වැඩි මුදලක් වැය කළ යුතුව තිබෙන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉහළ මිලක් ගෙවිය යුතුයැයි කියමනක් තිබේ. ඒ කියමන සත්‍යවී තිබේ. අලුත පත්වූ සභික සංඛ්‍යාව වැඩිවූවාසේම, ඔවුන් නඩත්තු කිරීම සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දැන් පෙරට වඩා විශාල මුදලක් වැය කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම ක්‍රමයෙන් ඉහළ යන ලකුණු පෙන්නුම් කරයි. 2013 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලද ලේඛණයකින් දස වසරක් තුළ ඡන්ද විමසීම් සඳහා වැය වූ මහජන මුදල ක්‍රමයෙන් වැඩිවූ අන්දම විදහා දැක්වේ.

ඒ අනුව 2005 ජනාධිපතිවරණයට වැය වූ මුදල රුපියල් දස ලක්ෂ 745 කි. 2010 ජනාධිපතිවරණය සඳහා වැයවූ මුදල එමෙන් දෙගුණයකටත් වැඩි මුදලකි. එනම් රුපියල් දස ලක්ෂ 1800 කි. 2015 ජනාධිපතිවරණය පිළිබඳ එම ලියවිල්ලේ සඳහන් වන්නේ නැත. එහෙත් 2015 ජනපතිවරණය සඳහා රුපියල් දස ලක්ෂ 2500ක් වැයව තිබේ. සැබෑ වියදම එමෙන් දෙගුණයක් වන බවට ඒ අවධියේ මාධ්‍ය වාර්තා පළවිය.

දිගින් දිගටම සෑම මැතිවරණයකම වියදම වැඩිවීමආසියාතික රටවල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ. බංගලි දේශයේ සහ ඉන්දියාවේ මැතිවරණ වියදම වැඩිවීම. එරට ආර්ථිකයට බලපාන අන්දම ගැන සිවිල් සංවිධාන හා බුද්ධිමත් කණ්ඩායම් දේශපාලන සංවාදයකට අරමුණු කරගත්හ.

ලොව මැතිවරණ වියදම් අතර ඉහළම වියදමක් සිදුවන්නේ අමෙරිකානු මැතිවරණ ව්‍යාපාරයටය. 2014 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ වියදම ඩොලර් බිලියන 6.5කි. ඉන්දියාවේ 2014 මැතිවරණ වියදම ක්‍රොර් 3500කි. ඉන්දියාවේ මැතිවරණ වියදම අමෙරිකාවේ මට්ටමට ළඟාවන බවට චෝදනා කළ විද්‍යාර්ථියෝ ර‍ටේ දිළිඳු බව තුරන්කිරීම, යටිතල පහසුකම් සැපයීම, පානීය ජල පහසුව සැපයීම, පවුල් සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම් සඳහා ඇති මහජන මුදල් සම්පත් මෙසේ වැය කිරීම අසාධාරණයක් යැයි හඬ නැඟූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ වියදම් අඩුකිරීමේ යෝජනා ගැන කරුණු සොයා බැලීමට ඉන්දියාවේ වගකිවයුතු අංශ අවධානය යොමු කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා යන වියදම් හා දේපොළ නාස්ති පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයන් මෙන්ම සිවිල් සංවිධානද කණස්සල්ල පළ කළ අවස්ථා වාර්තා විය.

මැතිවරණවල දී රාජ්‍ය දේ‍පොළ අවභාවිතා කිරීම මේ අයුරින්ම හිස එසවූ ව්‍යසනයකි. 2015 ජනපතිවරණයේ රාජ්‍ය දේපොළ අවභාවිතාවන් පිළිබඳව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර් නැෂනල් ආයතනය දෙසැම්බර් මුල් සතියේ සිට කරුණු හෙළි දැක්වීය. එවැනි ක්‍රියා මඟින් රාජ්‍ය ආදායම අහිමිවීම ආර්ථිකයට සිදුවු පාඩුවකි. ඉන්දියා මැතිවරණ කොමිසම එරට ඡන්ද අපේක්ෂකයනට ආචාර ධර්ම රාශියක් සහ අනුගමනය කළ යුතු උපමාන රාශියක් ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව එරට රජය ද දැඩි ලෙස ක්‍රියාකරනු දැකීමට පිළිවන.

එහෙත් පසුගිය සතියේ පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතාව පිළිබඳ පැමිණිලි අසන්නට ලැබුණේ නැති තරම්ය. එසේම පෝස්ටර් කටවුට් ආදියේද අඩුවක්දක්නට ලැබිණි. පෝස්ටර් කටවුට් වසංගතය මොනතරම් රටේ ආර්ථිකයට බරක් ද යත් ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය පෝස්ටර් සහ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා යන නාස්තිකාර වියදම අඩුකරන මෙන් දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

 

2018.02.13 දින දිනමිණ වෙබ් අඩවියේ “යන සල්ලි” මැයෙන් කරුණාරත්න අමරතුංග මහතා විසින් ලියන ලද ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.




2018-02-12
Advertisement

Find us on Facebook