English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය”

සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” ලෙස තඩි අකුරින් ලියා තිබුණ ද එහි කිසිදු මානුෂීය බවක් නොපෙනෙන බව ශ‍්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ සිටම පෙන්වා ඇත. 1983 ලංකාවේ ඇවිලී ගිය කළු ජූලියේ ප‍්‍රතිඵලයක් ලෙස එය බන්ධනාගාර පද්ධතිය තුළට ද ව්‍යාප්ත වූ අතර 1983 ජූලි මස බන්ධනාගාර පද්ධතියට විශාල කළු පැල්ලමක් එක් කරමින් වැලිකඩ චැපල් වාට්ටුවේ කුට්ටුමනී හෙවත් සෙල්වරාජ් යෝගචන්ද්‍රන් ඇතුළු දමිළ සිරකරුවන් 52 ක් ඉතා තිරිසන් ලෙස රාජ්‍ය ත‍්‍රස්තවාදය විසින් ඝාතනයට ලක්කළ අතර, බන්ධනාගාරය තුළ සිට එය මෙහෙයවූ පුද්ගලයා තවමත් ගරු බුහුමන් ලබමින් සිටියි. එයින් නතර නොවූ රාජ්‍ය ත‍්‍රස්තවාදය වසර 29 කට පසු 2012 නොවැම්බර් මස වැලිකඩ බන්ධනාගාරය තුළ ලැයිස්තු ගතකොට රැඳවියන් 27 දෙනෙකු ඉතා කෲර ලෙස ඝාතනය කළද,  එම ඝාතනයන්ට වගකිව යුතු පුද්ගලයන් ද සමාජයේ ගරු බුහුමන් ලබමින් සිටීම ප‍්‍රජාතාන්ත‍්‍රික රජයකට නොසුදුසු තත්ත්වයකි.

ලාංකික බන්ධනාගාර පද්ධතිය ඉතා දූෂිත තත්ත්වයක පවතින බවට සාක්ෂි එමටය. ඒ අතරින් මීගමුව බන්ධනාගාරය තුළ විශාල දූෂණ අක‍්‍රමිකතා සිදුවන බව නොරහසකිි. ඒ අතරින් එක් රැඳවියෙක් තමන්ටම මුහුණ පෑමට සිදුවූ අත්දැකීමක් මා සමබෙදා ගත්තේ මෙලෙසය.

මොහු නමින් මොහිදීන් මොහොමඞ් නසාර් වන වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි. (මෙතැන් සිට මොහිදීන්) පදිංචිය මාලිගාවත්ත වන මොහුව මීගමුව බන්ධනාගාර ගත කරන්නේ 2016 මැයි මස 12 වන දින සැක අංක 2595 යටතේය.

මොහිදීන් පවසන්නේ එක් දිනක් රාත‍්‍රි 9 ට පමණ ඔහු රඳවා සිටි වාට්ටුවේ තරුණයින් තිදෙනෙකු උණු වතුර පිරි ජෝගුවක් තබා ගෙන සිටි බවත් මොහිදීන් එම තරුණයින් දෙදෙනාගෙන් විමසා ඇත්තේ ”මේ අවේලාවේ උණු වතුර කුමකට ද” ලෙසයි. එවිට තරුණයින් දෙදෙනා පවසා ඇත්තේ ”හැමදාම මේ කරදරේ ඉවසන්න බැහැනෙ. බලන්නකො අර මහත්තයා කරන දේ” එවිට මොහිදීන් දුටු දෙයින් තිගැස්සී ඇත. මීගමුව බන්ධනාගාරයේ නිශාන්ත නමැති බන්ධනාගාර නිලධාරිවරයෙක් බීමතින් සහ නිරුවතින් තරුණයෙකු සමලිංගිකව හැසිරෙමින් සිට ඇත.

මොහිදීන් මෙහිදී ”ඔයගොල්ලො උණු වතුර එකක් ගැහුවා කියන්නෙ ඔවුන් හරි වැරැද්ද නොබලා ඇවිත් අපි සේරටම ගහනවා, හෙටින් පස්සෙ ඔය දේ නොවෙන්න මම වැඩේ කරලා දෙන්නම්” කියා ඔවුන්ගේ ක‍්‍රියාව නතර කොට ඇත. මීගමුව බන්ධනාගාරයේ සිත්තම් කර ඇති සිතුවම් සියල්ල මොහිදීන් විසින් නිර්මාණය කරන ලද සිතුවම්ය. ඒ හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ අධිකාරිතුමන් මොහිදීන් පිළිබඳව ඉතා පැහැදීමෙන් සිටි බව ඔහු පැවසීය. පසුදිනම මොහිදීන් බන්ධනාගාර අධිකාරිවරයා හමුවී මෙම සිදුවීම පිළිබඳව දැනුවත් කර ඇති අතර, බන්ධනාගාර අධිකාරිවරයා විසින් බන්ධනාගාර ජේලර් වරයෙකු කැඳවා ඉතා ඉක්මනින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වාර් ථාවක් ලබා දෙන ලෙසට නියෝග කර ඇත.

එහි ප‍්‍රතිඵලයක් ලෙස නිශාන්ත නමැති නිලධාරියාව දඬුවමක් ලබා දෙමින් මොහිදීන් ඇතුළු පිරිස රඳවා සිටි වාට්ටුවේ ඇතුළත රාජකාරිවලින් පිටත රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.

දිනක් මොහිදීන් ඇතුළු කණ්ඩායම ආහාර ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටින විට විනය අංශයේ ප‍්‍රසන්ජිත් නමැති නිලධාරියා පැමිණ ”අදින් පස්සෙ උඹලා ඔක්කොම පෝලිමේ පලයල්ලා, උඹලා මහත්තුරුන්ට විරුද්ධව එස්. පී. මහත්තයට කේළාම් කියලා තියෙනවා” කියමින් මොහිදීන් ඇතුළු කිහිප දෙනෙකුට පහර දී ඇත.

මෙම සිදුවීම බන්ධනාගාර අධිකාරිවරයා වෙත මොහිදීන් දැනුම් දුන් අතර, බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම තත්ත්වය සමථයකට පත් කර ඇත.

නමුත් එයින් නොනැවතුණු විනය අංශයේ ප‍්‍රසන්ජිත් නමැති නිලධාරියා තවත් දිනක වෙනත් රැුඳවියන් ඉදිරිපිටදී මොහිදීන්ව නිරුවත් කර පරීක්ෂාවට ලක් කර අතර, මොහිදීන් ඊට හේතුව නිලධාරියාගෙන් විමසා සිටි විට නිලධාරියා පවසා ඇත්තේ එසේ කිරීමට ඔහුට අයිතියක් තිබෙන බවත් ”අපි පරීක්ෂා කරනවා. උඹලාට තියෙන්නේ පෙන්නන්නයි. අපිට ඒකට අයිතියක් තියෙනවා. ගෑනු නෑනේ මෙතන” ලෙසත්ය. මේ ආකාරයෙන් මොහිදීන්ව හතළිස් හත් වතාවක් වෙනත් රැඳවියන් ඉදිරියේදී ඉතා අසෝබන ලෙස නිරුවත් කර පරීක්ෂා කර තිබේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මොහිදීන් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගරු විනිසුරුතුමන් ඉදිරිපිටදී විවෘත ප‍්‍රකාශයක් කර ඇති අතර, එවිට ගරු විනිසුරුතුමා විසින් මීගමුව බන්ධනාගාර නිලධාරීන්ගේ මෙවැනි අකටයුතුකම් පිළිබඳව රැඳවියන්ගෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබෙන බව ,ද මොහිදීන්ගේ පැමිණිල්ල ලිඛිතව මහේස්ත‍්‍රාත්තුමා වෙත යොමු කරන ලෙසටද, මහේස්ත‍්‍රාත්තුමා විසින් දිනයක් ලබාදී ඇත. තව ද, මොහිදීන් හට පහර නොදෙන ලෙසට හා හිරිහැර නොකරන ලෙසට ද ගරු විනිසුරුතුමන් විසින් බන්ධනාගාර ස්ථානාධිපතිතුමන් හට නියෝග කර තිබේ. නමුත් මොහිදීන් අදාළ දිනයේ උසාවියට ඉදිරිපත් වීමට නියමිතව සිටියදී ඔහුව එම නඩුවෙන් නිදහස් කළ බවට බන්ධනාගාර නිලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. මොහිදීන් පවසන අයුරින් එම නඩුවට අදාළව එක් පැමිණිල්ලේ සාක්ෂියක් පමණක් ඉදිරිපත්ව තිබු අතර, එබැවින් එම නඩුව අවසන් වූයේ කෙසේදැයි ඔහුට තවමත් අබිරහසකි. 

මොහිදීන් කාලයක සිට අපස්මාර රෝගයෙන් පෙළෙන අතර වෛද්‍යවරුන් විසින් දින තුනකට වරක් ඖෂධ ලබා ගන්නා ලෙසට මොහිදීන් හට නිර්දේශ කර තිබේ. තවද, හදිසි අවස්ථාවකදී ලබා ගැනීමට අවශ්‍ය වන ඖෂධ වෛද්‍යවරුන් විසින් නිර් දේශ කර ඇති අතර, ඊට අමතරව ප‍්‍රතිකාරයන් ලබා ගැනීමට ඔහුව කොළඹ මහ රෝහලට ඉදිරිපත් කරන ලෙසට නිර් දේශ කර තිබුණ ද, මෙතෙක් කල් මීගමුව බන්ධනාගාරය විසින් එවැනි ප‍්‍රතිකාරයක් සඳහා යොමු කර නොමැත.

මේ අතර ප‍්‍රධාන ජේලර්වරයා වශයෙන් ජීවක නම් තැනැත්තෙක් මීගමුව බන්ධනාගාරයට අලූතෙන් පත් කරන ලදී. නව ප‍්‍රධාන ජේලර්වරයාගේ නියෝගය මත මොහිදීන් හට වෛද්‍යවරුන් විසින් නිර් දේශ කර තිබූ ඉහත සඳහන් කළ ඖෂධ ලබා දීම අත්හිටුවා ඇත. පසුදිනෙක ප‍්‍රධාන ජේලර් වරයා මොහිදීන් රඳවා සිටි කුටියට පැමිණ ”නඩුකාරයන්ගේ, අරයගේ, මෙයාගේ නියෝග මට වැඩක් නැහැ. මේක පාලනය කරන්නේ මම. දාපන් මූව එළියට” යනුවෙන් ප‍්‍රකාශ කර ඔහුව රඳවා සිටි කුටියෙන් ඉවත් කර තිබේ. තමාව කාමරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප‍්‍රධාන ජේලර්වරයාගෙන් හේතුව විමසා සිටි අවස්ථාවේදී දෙදෙනා අතර යම් කතාබහක් සිදු ඇති අතර ජීවක නමැති ප‍්‍රධාන ජේලර්වරයා විසින් ”මෙවැනි ගැටලූ නිරාකරණය කරන ආකාරය තමන් දන්නා බව පවසා” මොහිදීන්ට හට පහරදී අත පය කඩා දමන ලෙසට සමන්ත, විනය අංශයේ ප‍්‍රසන්ජිත්, සහ එදිරිසිංහ යන ජේලර්වරුන් හට නියෝග කර ඇත. අනතුරුව, ජීවකගේ නියෝගය මත සමන්ත, ප‍්‍රසන්ජිත්, සහ එදිරිසිංහ යන නිලධාරීන්  විසින් ප‍්‍රධාන ජේලර්වරයාගේ නිල කාමරය අසලදී මේසයක මොහිදීන් දිගා කරවා පොලූවලින් ඉතා අමානුෂික අන්දමින් පහර දී තිබේ. එම පහරදීම හේතුවෙන් මොහිදීන්ගේ වම් අත කැඩී ගිය අතර, දකුණු කකුල සහ ශරීරයේ විවිධ ස්ථානයන් තුවාල වී ඇත. පහරදීමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අතර ඉන් පසුව මීගමුව මූලික රෝහලට මාරු කර යවා තිබුණත්, ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් කර නොමැත.

මෙම පහරදීම පිළිබඳ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙසට ද, එය ඉදිරියට පවත්වා ගෙන නොයන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන් විසින් මොහිදීන් හට තවදුරටත් බලපෑම් කර තිබේ.

මොහිදීන් පවසන අයුරින් මීගමුව බන්ධනාගාර නිලධාරීන් ඉතා අමානුෂික අන්දමින් රැඳවියන්ට පහර දෙන අතර, රැඳවියන්ගේ වයස් භේදයකින් තොරව, ඔවුන් කුමන රෝගී තත්ත්වයක සිටිය ද, මෙම පහරදීම් සිදු වන්නේ එය තමන්ට නිල බලයෙන් හිමි වූ අයිතියක් මෙන් සිතාය.

ජීවක නමැති ප‍්‍රධාන ජේලර් වරයා මීගමුව බන්ධනාගාරයේ රාජකාරි සඳහා පැමිණීමෙන් පසුව අසනීප තත්ත්වයන් හේතුවෙන් රැඳවියන් හතරදෙනෙකු මිය ගොස් ඇති අතර, සිරකරුවන්ගේ දිනය යෙදී තිබුණ දිනදී ද අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර ලබා දීමට ප‍්‍රමාද වීම හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේදී රැඳවියෙකු මිය යන ලදී. එක් සතියක් තුළ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු මෙසේ මිය ගොස් තිබේ.

පසුගිය දිනෙක දිවුලපිටිය පොලීසියේ පහරදීම හේතුවෙන් මියගිය පුද්ගලයා ද බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දුනි නම් එම පුද්ගලයාගේ ජීවිතය රැක ගැනීමට අවස්ථාවක් තිබුණු බවට මොහිදීන් ප‍්‍රකාශ කර සිටී. එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස්ව සිටි බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, චූදිත පාර් ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරමින් සිටින බවද වාර් ථාවේ. මෙහි මූලික පියවරයන් මේ වන විට රයිට් ටු ලයිෆ් ආයතනය විසින් ඉදිරියට ගෙන යන අතර ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පරීක්ෂණ ආරම්භ කර ඇත.

වර්තමාන මානව හිමිකම් කොමිෂන් සභාව වධහිංසාවන් සම්බන්ධව විශාල මෙහෙවරක නියැලී සිටීම සතුටට කරුණකි. මානව හිමිකම් කොමිෂන් සභාව වධහිංසාවන් වැළැක්වීමේ නව ක‍්‍රමයක් ලෙස  Fast Trak ක‍්‍රමය හඳුන්වා දී ඇති අතර, එය වධහිංසාව යම්තාක් දුරට මැඩ පැවැත්වීමට සහයක් වන බව පැහැදිලි සාක්ෂි තිබේ.

සිරකරුවන් ද මනුෂ්‍යයන් වන බව බන්ධනාගාර බිත්තියේ පමණක් ලියවුණු වාක්‍යයක් බවට පත්නොවී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන සුරක්ෂිත සමාජයක් බිහි කරවීමේ සිහිනයක් අපි දකින්නෙමු.

 

ප‍්‍රසංග ප‍්‍රනාන්දු

රයිට් ටු ලයිෆ් මානවහිකම් සංව්ධානය




2018-02-02
Advertisement

Find us on Facebook