English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වසර 150ක සිට බෝඩ් ලෑල්ලට පමණක් සීමා වූ අභිමානවත් පොලිස් සේවය.

ඉකුත් 20වෙනි සිකුරාදා රාත්‍රියේදී කතරගම පොලීසිය විසින් හිසට වෙඩි තබා ඝාතනය කෙරුණු පතිරණලාගේ නිරෝෂන් ඊයේ  අවසන් ගමන් ගියේය. එම ඝාතනයට එරෙහිව විරෝධය පෑ 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 45 දෙනෙකු කතරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප කොන්දේසි කිහිපයක් මත නිදහස් කර තිබුණේ ඉකුත් 22 වෙනිදාය.

නැවත කලහකාරී ලෙස හැසිරුණහොත් ඇප අහෝසිවන බව දන්වමින්, මේ මස අවසානයේදී සහ සෑම මසකම අවසානයේ දී කතරගම පොලිස් ස්ථානයට ගොස් අත්සන් කළයුතු බවටත්, ලක්ෂ දෙකක සහතික ඇප මත එම නියෝග පනවා තිබුණේ කතරගම මහේස්ත්‍රාත් අධිකරණයයි.

ඝාතනය කෙරුණු නිරෝෂන්ගේ බිරිඳට සහ දරුවාට, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ මුදලින්, දැනට ඔවුන් ජීවත්වන කටුමැටි නිවස වෙනුවට ස්ථිර නිවාසයක් ලබාදීමට පියවර ගන්නා ලෙස පොලිස්පති නියම කර ඇති බවද මාධ්‍ය වාර් තා කර තිබුණි. නිරෝෂන්ගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණයක් කර වාර් ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර් තුමේන්තුවට පොලිස්පතිවරයා වැඩිදුරටත් නියෝග කර තිබූ අතර, පොලිස් කොමිසම විසින් එම ඝාතනය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක්ද කැඳවා තිබේ. පොලිස් කොමිසම හෙට දිනයේ රැස්වීමට නියමිත අතර එහිදී පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමට නියමිත බවද වාර් ථා වේ.

මෙයාකාර සිදුවීම් රාශියකට පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා පොලීසිය විසින් කෝඳුරු තෙල් හත්පට්ට බඳිනු අපි දුටුවෙමු. අප රටේ පොලිසිය වසර 150ක තිස්සේ මහජන මිත්‍රශීලී, අභිමානවත්, වෘත්තීයමය සේවයක් සඳහා  අසමත් වී ඇති බව තවදුරටත් කිවමනා නොවේ. අප රටේ පොලීසිය සිදුකළ පළමු හෝ අවසාන ඝාතනයද මෙය නොවන බවද, පොලීසිය මෙතැනින් මතු මෙවැනි අපරාධයන් සිදුනොකරන බවට බලාපොරොත්තු නොවිය හැකි ද නොවේ. සැබැවින්ම වසර 150ක පටන් මහජන මිත්‍රශීලී, අභිමානවත්, වෘත්තීයමය සේවයක් සැපයීම බෝඩ් ලෑල්ලට පමණක් සීමා වී තිබේ.

ලංකාවේ අපරාධ නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ ද පොලිසියේ වගකීම ලෙස දක්වා ඇත්තේ මහජන සාමය ආරක්ෂා කිරීම හා අපරාධ පරීක්ෂණය පමණි. පහර දීම, මරා දැමීම හෝ අතුරුදන් කිරීම වැනි දෑ දඩයක්කරුවෙකුගේ කාර් ය මිස අපරාධ විසඳීමේ කාර් ය නොවේ. ලෝකයේ සියලූ‍ ම ශිෂ්ට සම්පන්න නීති සම්ප්‍රදායන්ට අනුව මානුෂවාදී නීති මෙරට ස්ථාපිතව ඇතත්, පොලිසිය ඉටු කරන්නේ වෙනත් නීති විරෝධී භූමිකාවක් බව  පැහැදිලිය. එය මෙරට පොලිසියේ අපරාධ විසඳීමේ ඉතිහාසය පුරාම අප අත්දැක තිබේ. අපරාධ පරීක්ෂණ සඳහා පොලිසිය සතුව තිබිය යුතු සුදුසුකම් බොහෝය. අපරාධ සැක කටයුතු පුද්ගලයන් සොයා බැලීම, ඊට අදාළ සහ අවශ්‍ය තොරතුරු එකතු කිරිම, අපරාධ සිද්ධියට අදාළ කටඋත්තර ලබාගැනීම, සාධාරණ සැකය මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, නීතියෙන් ඉඩදෙනු ලබන කාලසීමාව තුළ හා අදාළ ස්ථානයේ රඳවා ගැනීම, එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ලබාදෙන නියෝග අනුව ඔවුන්ට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් අදාළ වන සාක්ෂි ඍජුවම හෝ නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම පොලිසියේ මූලික කටයුත්ත වේ. එයින් පරිබාහිරව  පොලිස් මනුෂ්‍ය කොට්ඨාසය විසින් සාමාන්‍ය මනුෂ්‍යය කොට්ඨාසය දඩයම් කිරිම කළ නොහැකිය. එවැනි සංකල්ප ගොඩනැගෙන්නේ නීතියේ ආධිපත්‍යය නොමැති, මුලූමනින්ම මර්දනයට ලක් වූ සමාජයකම පමණි.

2016 වසරේ ජනවාරියේදී අරක්කු බෝතලයකට ආරවුලක් ඇතිකරගෙන   සුමිත් ප්‍රසන්නට පහර දී ඉහළ මහලකින් තල්ලු කර ඝාතනය කළේද, මේ මහජන මිත්‍රශීලී  ඇඹිලිපිටිය පොලීසිය විසිනි. සුමිත්ගේ බිරිඳ ඒ වනවිට ගැබිණියක්ව සිටි අතර පොලීසිය තමන්ගේ අපරාධ වසාගන්න කළ  හැකි සියලු කූටකම් කළේය. ඉන් පසුව කොටදෙනියාවේ දැරියක දූෂණය වූ පසුව පොලීසිය විසින්  ඇගේ පියාට පළමුව චෝදනා එල්ල කෙරුණු අතර, පසුව කොන්ඩයා නම් සැකකරුවෙකු වෙත සමාජයේම වෛරය ගොඩනැගූ පොලීසිය ඔහුගේ නිවාසයද අහිමි කරන ලදී. ඉන් නොනැවතී ඔහුටත්, තවත් පුදගලයෙකුටත් පරදීම් සිදුකළ අතර ළමා මානව අයිතීන් පවා උල්ලංඝනය කරමින් පාසැල් සිසුවෙකුව අත්අඩංගුවට ගෙන ඔහුගේ අධ්‍යාපනයද කඩාකප්පල් කරන ලදී. අම්බලන්ගොඩ ව්‍යාපාරික හැලඹගේ ප්‍රේමසිරි ඝාතනයට අදාල සැකකරුගේ මිතුරෙක්ව නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන දින 11ක් රඳවාගෙන පහර දී තිබුණේද මේ පොලීසිය විසිනි. පසුගිය සතියේදී කොළඹ කොටුවේ පොලීසිය තුළ තරුණයෙකු මිය යන්නේ තවත් සැකකරුවන් 6දෙනෙක් සිටිද්දීය.

ශ්‍රී ලංකා පොලීසිය තුළ නිවැරැදි ලෙස අපරාධ විසඳීමේ පුහුණු නිලධාරීන් හිඟවීම මූලිකවම මේවාට බලපා තිබේ. අනෙක සම්පත් හිඟතාවය සහ නව තාක්ෂණය මදකම පිළිබඳ ගැටලුවය. පොලීසියද ඒ අවසරයෙන් නිල ඇඳුමෙන් අපරාධ කරමින්, දණහිසෙන් පහළට වෙනුවට හිසටම වෙඩි තබමින් සිටී. ඝාතනය කෙරුණු කතරගම ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථ  රියදුරුව සිටි නිරෝෂන්ගේ බිරිඳ චතුරිකා සඳමාලි ඉල්ලා සිටින්නේ ගෙයක් නොව තමන්ගේ මිය ගිය ස්වාමියාට යුක්තියයි. කොස්තාපල්ට මෙන්ම ඕ.අයි.සී.ටද එක සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

"රැස" වෙබ් අඩවියේ 2018.01.24  දින “ඔළුවට‍ වෙඩි තබා වන්දියට ගෙයක් දීම” මැයෙන් පළවූ ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.




2018-01-24
Advertisement

Find us on Facebook