English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බැඳුම්කර ආන්දෝලනය

දේශපාලන කරළියේ බොහෝ සිදුවීම් ගෙවී ගිය සතිය පුරා දකින්නට අහන්නට ලැබුණේය. ජනාධිපති කොමිසම නිකුත් කළ බැඳුම්කර වාර්තාව, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ ප්‍රතිචාර ජනාධිපතිවරයාගේ ධුරකාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ආදී නොයෙකුත් දේශපාලන සිදුවීම් නිසා කරළිය රත්වී තිබිණ. පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ බොහෝ දේ වේදිකාවේ ප්‍රකාශ කළහ. ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනඥයන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් බැඳුම්කර වාර්තාව රටට ප්‍රකාශ කරන ලෙසය.

ඒ සඳහා වන ක්‍රියාමාර්ගයේ පළමු පියවර වනුයේ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමය. විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පවා මුලින් සිතා සිටියේ ඉකුත් බදාදා පැවැති විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත කියාය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. බැඳුම්කර වාර්තාව පාර්ලමේන්තුවට ඉදිරිපත් කිරීම සිතන තරම් පහසුවෙන් කළ නොහැකි බව නීති අංශවල මතයයි.

බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට ලබාදී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. එය සිංහල හා දෙමළ භාෂාවට පරිවර්තනය කළ යුතුය. එය නීතිමය ගැටලු මතු නොවන ආකාරයට ඉතා පරෙස්සමෙන් කළ යුත්තකි. කලබලයෙන් එවැන්නක් කළ නොහැකි බවද නීති විශාරදයෝ පෙන්වා දෙති. ඒ අනුව බැඳුම්කර වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ අනුව දින පහ හයක කාලයක් මන්ත්‍රීවරුන්ට එම වාර්තාව අධ්‍යයනය කළ හැකිය. විවාදයට සූදානම් වීම සඳහා එය වැදගත්ය. ඒ අනුව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ බැඳුම්කර විවාදය මේ මස විසි තුන්වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගන්නා බවය.

2018 ජනවාරි 12 වන සිකුරාදා ලංකාදීප වෙබ් අඩවියේ “බැඳුම්කර ආන්දෝලනය” නමින් පළවූ ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.




2018-01-13
Advertisement

Find us on Facebook