English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුද්ගලයා කවරෙක් වුවත් නීතිය ඉහළින්!

මෙතෙක් මෙරට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිසිවක් හැදීමට පෙර මහජන අදහස් විමසීමක් සිදුකළේ නැත. එබැවින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම අගය කළයුතුය. රාජ්‍යයක් පවත්වාගෙන යාමේ අණපනත්, රෙගුලාසි හා ප්‍රතිපත්ති නියම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ය. එය රජය හා මහජනතාව අතර පවතින ගිවිසුමකි. රටේ හැමෝම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපැදිය යුතුය. එහි රටේ ජනතාවට යුක්තිය ඉටු කිරීමට බලය යොදන ආකාරය පිළිබඳව සඳහන් වේ. පුද්ගලයා කවරෙක් වුවත් ඉහළින් තියෙන්නෙ නීතියයි.

රජය හා ජනතාව අතර පවතින එකම ගිවිසුම එයයි. ඒ ගිවිසුම නිවැරැදිව සකස්කර ගත්තේ නැත්නම් හැමදාම සංශෝධනය කර කර ඉන්න වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය වෙනවා. සරළ බහුතරයෙනුත් සම්මත කරගතහැකි වගන්ති තියෙනවා. පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තට අමතරව අනුමැතිය සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. පාර්ලිමේන්තුවේ 2/3 ක් නැතිව ඉස්පිල්ලක්, පාපිල්ලක් වත් වෙනස් කරන්න බෑ. ඒ බව 1978 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මේ රටට හඳුන්වා දුන් පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැටියට සැලකෙනවා. සර්වජන ඡන්ද බලය එමඟින් අපට හිමිවුණා. මෙහි කටයුතු ආරම්භ වන්නේ 1928 දියි. මේකට මහජන සහභාගිත්වය ලැබුණද? නෑ.සේරම සැළසුම් කළේ සුදු ජාතිකයෝ. මිනිස්සු ගෙනැල්ලා රැස්වීම් තිබ්බා. ලංකාවේ මිනිස්සු ඒ වෙනකොට ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද කියල අහල තිබුණෙ නැහැ. මිනිස්සු රැස්වීම් වලට එනව. සුද්දො ඉංග්‍රීසියෙන් කතා කරනව. උඩ-පාත දන්නෙ නෑ. පෙනුමට මිනිස්සුන්ගේ අදහස් ගත්තා කියල පෙන්නුව. ඇත්තටම මිනිස්සුන්ගෙ අදහස් නෙමෙයි ගත්තෙ. රැජිනට අවශ්‍ය දේ තමයි ලබා දුන්නෙ.

1972 වනතුරු අපේ රට පාලනය වුණේ සෝල්බරි ව්‍යවස්ථාවෙන්. ඒ වෙනකොට මන්ත්‍රී සංඛ්‍යාව 157 දක්වා වැඩිවෙලා තිබුණා. 1970 බිහිවූ සමගි පෙරමුණු ආණ්ඩුවේ දෙමළ පක්ෂ පවා හිටියා. මේ සංධානය බලයට පත්වෙන්න පෙර මැතිනිය ප්‍රකාශයක් කළා අලුත් ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවට. අලුත් ව්‍යවස්ථාව ගැන මහජන අදහස් විමසීමක් කළේ නෑ. පාර්ලිමේන්තුව කාරක සභාවක් බවට පත් කරනවා කියල කිව්වා. ඒක කළා. හැබැයි පාර්ලිමේන්තුවෙදි නෙමෙයි. නව නගර ශාලාවෙදි තමයි රැස්වුණේ. ඒත් එකම එක වතාවයි. මන්ත්‍රීවරු 157 දෙනාම මේකට ආවලු. ඒකත් වාර්තාවක්. ඉන්පසු ඔවුන්ගේ අදහස් ගැනීමක් සිදුවෙලා නැහැ.

බුද්ධාගම ප්‍රධාන ආගම බවට පත්වුණේ මේ ව්‍යවස්ථාවෙන්. සිංහල රාජ්‍ය භාෂාව බවට නිල පිළිගැනීමකට ලක්වුණේ මේ ව්‍යවස්ථාවෙන්. සෙනෙට් සභාව නැති කළා. බ්‍රිතාන්‍ය කිරීටයට තිබුණු වගකීමෙන් මිදුණා. අග්‍රාමාත්‍යවරයා රටේ නායකයා බවට පත්වුණා. ආණ්ඩුකාරවරයා ජනාධිපති කළා.ලංකාවේ පළමුවන ජනරජ ව්‍යවස්ථාව මේකයි. ස්වාධීන, ස්වෛරී ආණ්ඩුවක් බවට පත්වන්නේ 1972 දියි. නන් වැදෑරුම් මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට ලක්වුණා.

මේ ව්‍යවස්ථාවෙන් පස්සෙ සමගි පෙරමුණු ආණ්ඩුවට එකතුවී සිටි දෙමළ පක්ෂ ආණ්ඩුවෙන් වෙන්වෙලා යනවා. යාපනේ කඩ-සාප්පු වහල ජනතා විරෝධය පළ කළා. හැත්තෑ දෙකේ ව්‍යවස්ථාවට එක සංශෝධනයයි කළේ. ඒක ගෙනාවේ 5/6 ක ඡන්දෙන් ආපු ජේ.ආර්. ජයවර්ධන මහත්තය.1978 ඔක්තෝබර් 04 වෙනිදා විධායක ජනාධිපති ක්‍රමය යෝජනා කළේ 1972 ජනරජ ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසයි. මැතිණිය, ඇන්.ඇම්. පෙරේරල විරුද්ධ වුණා.

ජේ.ආර්. මහත්තය විධායක ජනාධිපති වරයා ලෙස දිවුරුම් දුන්නා. 1978 ව්‍යවස්ථාවටත් මහජන අදහස් ගත්තෙ නෑ. පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ගේවත් අදහස් ගත්තේ නැහැ. 1978 ව්‍යවස්ථාවට ගෙනා සංශෝධන ගණන 19 ක්.

මාසයක් යන්න ඉස්සරවෙලා පළමු සංශෝධනය එනවා. පුළුල් කතා බහකින් ආපු එකක් නොවන නිසයි එහෙම වුණේ. හයවන සංශෝධනය බොහොම විවාදයට ලක්වූ එකක්. හැම මන්ත්‍රීවරයෙක්ම දිවුරුමක් දෙන්න ඕන රට බෙදන්නේ නැහැ කියල. මේ සංශෝධනයත් එක්ක අමිර්තලිංගම් මහත්තය අයින් වුණා. අනුර බණ්ඩාරනායක මහත්තය විපක්ෂ නායක බවට පත් වන්නේ ඉන් පස්සේ. හැත්තෑ අටේ ව්‍යවස්ථාවට සංශෝධන 19 ක් ආවත් එකක් ක්‍රියාත්මක වුණේ නෑ.

එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම මහත්තයත් එක්ක එකතු වෙලා දිනේෂ් ගුණවර්ධන මහත්තය 12 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ජනාධිපතිවරයගෙ මුක්තිය ඉවත් කළ යුතුයි කියල යෝජනා කළා. ඊට අමතරව ජනාධිපතිවරයා රට යනකොට විධායක බලය අගමැති වරයාට හෝ වෙනත් අයෙකුට පවරා යා යුතුයි කියල කීවා. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත අදාළ අමාත්‍යාංශයේ නිර්දේශ නොවීම නිසා ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නෑ.

පළාත් සභා පිහිටුවීම, දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් හැටියට පිළිගැනීම 13 වන සංශෝ‍ධනයෙන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්වන්නේ 17 වන සංශෝධනයෙන්. ඊට අමතරව කොමිෂන් සභා 07 ක් පත් කෙරෙනව. 18 වන සංශෝධනයෙන් කළේ ජනාධිපති අපේක්ෂක ධූරය සඳහා දෙවරකට වැඩි වාර ගණනක් ඉදිරිපත්වීමට හැකිවීමයි. ඒ විතරක් නෙමෙයි ස්වාධීන කොමිෂන් සභාවලට නියෝජිතයින් පත් කරන්නේ ජනාධිපති නියමයෙන්. ව්‍යවස්ථාදායක සභාව මණ්ඩලයක් බවට පත් කරන්න මෙතැනදී යෝජනා වුණා. 18 වන සංශෝධනය සමාජයේ ලොකු කතා බහකට ලක්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයට එක හේතුවක් වුණේ 18 වන සංශෝධනයයි.

19 සම්මතවීමෙන් පසුව 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින්ම අහෝසි වුණා කියලයි ප්‍රකාශ වෙන්නේ. හැබැයි එහෙම නෑ. 18 යම් යම් දේවල් තවදුරටත් ඉදිරියට ගෙනිහින් තියෙනවා. පළමු වතාවට ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා 19 වෙනි සංශෝධනයේ සඳහන් වෙනවා. ජනාධිපති ධූර කාලය වසර හයේ සිට වසර පහ දක්වා අඩු කළා. දෙවතාවකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි බව සම්මත වුණා. ජනාධිපති වරයාට එරෙහිව අපරාධ නඩු පවරන්න පුළුවන් කියලා සම්මත වුණා. මැතිවරණ කොමිෂන් සභාව හැර සියලු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකියන්න ඕන.

අලුතින් කොමිෂන් සභා දෙකක් පිහිටෙව්වා. දැන් රටේ කොමිෂන් සභා 09 ක් තියෙනවා . සීමානිර්ණ කොමිසම හා විගණන කොමිෂන් සභාව ආවේ 19 වන සංශෝධනයෙන්. සීමා නිර්ණ කොමිසම ක්‍රියාත්මකයි.විගණන කොමිසම තාම නෑ. ඒ පණත සම්මත නෑ. තමන්ගේ අමාත්‍යාංශය යටතේ සිදුවන වැරැදිවලට නිලධාරීන්ට දඩ ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. විගණන පණත පාර්ලිමේන්තුවට නොඑන්නේ ඇමතිවරුන්ගේ ප්‍රශ්නයට වඩා නිලධාරීන්ගේ ඇදිල්ලක් නිසයි. විගණන පණත ලංකාවෙ හැදුවෙ මායාදුන්නේ මහතා ප්‍රධාන කමිටුවක්

දැන් නව ව්‍යවස්ථාවක් හදාගෙන යනවා. රට වටේ ගිහින් මහජන අදහස් විමසුවා. මහජනතාවගේ යෝජනා ලබාගත් පළමු අවස්ථාව මේකයි. කලින් තිබුණේ ව්‍යවස්ථාමය අවුලක්. දැන් තියෙන්නේ පරිපාලන අවුලක්. අපේ රටේ ව්‍යවස්ථාවෙන් ආමන්ත්‍රණය කළයුතු තැන් තියෙනවා. මේ රටේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම හිසට සෙවණක් ලබා දියයුතු බවට ව්‍යවස්ථාවෙන් නියමයක් නෑ. සෑම දරුවෙකුටම අධ්‍යාපනයක් දියයුතුයි කියලා තිබුණට පාසලක් නියම කරලා නැහැ. මගේ ගෙදරට ජල සැපයුම අනිවාර්යයෙන් දියයුතුයි කියලා සඳහනක් නෑ. සමාජ ආර්ථික ගැටලු ගණනාවක් තියෙනවා. ඒවාට ව්‍යවස්ථාවෙන් ආවරණයක් ලැබිලා නෑ. මහජන අදහස් විමසීමේ කමිටුවට අවශ්‍ය මුදල් පවා දුන්නේ නෑ. අවශ්‍ය ප්‍රචාරය දුන්නෙත් නෑ. මිනිස්සු මේ වගේ කමිටුවක් තියෙන බවවත් දන්නෙ නෑ. උනන්දුවක් දක්වන සුළු පිරිසක් පමණක් ගිහින් අදහස් ලබා දුන්නා.

ඇත්තටම අළුත් ව්‍යවස්ථාවක් තාම හදල නෑ. අනු කමිටු හය යෝජනා ඉදිරිපත්කර තියෙනවා. මෙහෙයුම් කමිටුව තුළත් වාද-විවාද තියෙනවා. සාකච්ඡා යනවා. ෆෙඩරල්ද? ඒකීයද? වෙනත් දෙයක්ද? කියලා තාම කවුරුවත් දැකලා නෑ. දන්නේ නෑ. හදපු නැති ව්‍යවස්ථාවක් ගැන විවේචනය කරනවා. රටට සුදුසුම ව්‍යවස්ථාවක් ගෙනාවත් ඊට එරෙහිවීමට දතකට මැදගෙන ඉන්න පිරිසක් ඉන්නවා. මං මේ කියන්නේ දේශපාලනිකව කොයි පැත්තේවත් හිටගෙන නෙමෙයි. අවබෝධයක් ලබා ගන්නයි. ඇත්ත තත්වය තේරුම් ගන්නයි.

රට කෑලි කඩන, බෙදුම්වාදය ව්‍යාප්ත කරන, සිංහල ජනතාවට බලය අහිමි කරන, ෆෙඩරල් ක්‍රමයක් ඇති කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි ගේන්න යන්නේ කියල විවේචන කරනවා. රට කෑලිවලට කඩන්න යනවා, බෙදුම්වාදින්ට අවශ්‍ය පරිසරය හදන්න යනවා, කොටින්ට යුද්ධයෙන් දිනා ගන්න බැරිවූ දේ ප්‍රජාතන්ත්‍රවාදී හැඩයෙන් දෙන්න යනවා, බුද්ධාගමට ඇති තැන නැති කරන්න හදනවා, අනාගාමික රාජ්‍යයක් කරන්න යනවා, ඉඩම් බදු දෙන්න යනවා, ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කරන්න යනවා යනාදී අභූත අසත්‍ය චෝදනා නගනවා.

පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර කැමැත්තක් නැතිව පවතින ව්‍යවස්ථාවේ ඉස්පිල්ලක්, පාපිල්ලක්වත් වෙනස් කරන්න බැ. පාර්ලිමේන්තුවේ කාටවත් බහුතර බලයක් තියෙනවද? යූඑන්පියට තියෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන්ද? ඒකාබද්ධයට පුළුවන්ද? දෙමළ සන්ධානයට පුළුවන්ද? ජනාධිපති තුමාට පුළුවන්ද? තමන්ට වුවමනා පනතක් ගෙනත් සම්මත කර ගන්න. කාටවත් බෑ. ඒ නිසා අපේ ඔළුවේ තියෙන එක බියක් අයින්කර ගන්න පුළුවන්.

1978 දි ව්‍යවස්ථාවට ගෙනා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට හැම මැතිවරණයකදීම විපක්ෂයේ හැම අපේක්ෂකයෙක්ම පොරොන්දු දුන්නත් කළේ නෑ. ජනතා විමුක්ති පෙරමුණට මහින්ද රාජපක්ෂ දෙපාරක් ලිඛිතව පොරොන්දු දුන්නා. ඊට කලින් චන්ද්‍රිකා එක පාරක් දුන්නා.පූර්ණ සංශෝධනයක් නැහැ කියන්නේ මෙවරත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොවන බවට සැකයක් තියෙනව.

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. ඒකීය රාජ්‍යය, ශ්‍රී ලංකාවේ නාමය, පරමාධිපත්‍ය, බලය බෙදා හැරීම, විධායක ජනාධිපති ක්‍රමය මේ සියල්ල වෙනස් කරන්න 2/3 ක් විතරක් නෙමෙයි ජනමත විචාරණයකුත් අවශ්‍යයි. ජනතාවට පුළුවන් උඹලා මොනවා ගෙනාවත් අනුමත කරනවාද? නැද්ද? කියලා තීන්දු කරන්නේ අපියි කියලා කියන්න. ඒ නිසා මතක තියාගන්න මේ සම්මුතිවාදී රජය ජනමත විචාරණයකින් පරදින කිසිම දෙයක් ගේන්නේ නෑ. හේතුව පැරදුනොත් ආණ්ඩුව ගෙදර යා යුතුයි. ඉතිහාසයේ පළමු වතාවට දෙමළ පක්ෂ යම් අවධාරණය කිරීමක් කරලා තියෙනවා ඒකීය පාලනයක් යටතේ බලය බෙදා හැරීමකට එකඟයි කියලා. ඒකීය පාලනය අහෝසි කරන්න ගියොත් ගැටලු ඇතිවෙන්න පුළුවන් බව ඒ අය අත්දැකීමෙන් දන්නවා.

ඒකීය කෑල්ල වෙනස් කිරීමකට ලක්වෙයි කියලා හිතන්න අමාරුයි. පළාත් සභා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මීට වඩා සෘජු යෝජනා එන්න පුළුවන්. ඒකීය යන්න ශක්තිමත් කිරීම සඳහා මහ ඇමති අනුමැතියකින් තොරව පළාත් සභා විසුරුවා හැරීමේ ක්‍රමවේදයක් එන්නත් බැරිකමක් නෑ. බුද්ධාගමට ප්‍රමුඛතාවය දීම ගැනත් විවාද තියෙනවා. ආචාර්ය ජයන්ත වික්‍රමරත්න කියන්නේ මේක අනාගමික රාජ්‍යයක් වියයුතු බවයි. ඒ වුණාට අගරදගුරු තුමන් ඇතුළු ආගමික නායකයන් ප්‍රකාශ කරන්නේ බුද්ධාගමට මේ රටේ ප්‍රමුඛතාවය දියයුතුයි කියලයි.ඒ නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රශ්නකාරී එකක් වෙන්න ඉඩක් හෝ හේතුවක් නැහැ.

 මෙම ලිපිය දිනමිණ වෙබ් අඩවියේ “අලුත් ව්‍යවස්ථාවට චරිත සහතිකයක්” නමින් පළවූ ලිපියෙන් උපුටා ගන්නාලද්දකි.




2017-12-18
Advertisement

Find us on Facebook