English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කොමිෂන් සභාවල මන්දගාමිත්වයෙන් පොලිස් වධහිංසාව ඉහලට
ජේ.කේ රාජපක්ෂ වැලිගම පදිංචිකරුවෙකි. ඔහුගේ දියණිය ඉගෙනුම ලැබුවේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක දෙවැනි ශ්‍රේණියේය. 2013 ජුනි මස තුන් වැනි දා ඔහු සුපුරුදු පරිදි එම පාසල අසලට යන්නේ පාසල නිමවී එන තම දියණිය නිවෙසට රැගෙන යෑම සදහාය. පාසල අසල වාහන තදබදයක්ද තිබුණු අතර රාජපක්ෂ මහතා  නියමිත දිසාවෙන් පැමිණ යතුරු පැදින නවත්වන්නට සූදානම් වෙද්දීම වැරදි දිසාවෙන් ආ යතුරු පැදියක් නැවැත්වීය. ඒ පොලිසියේ දෙදෙනකි.

කොහෙද ඕයි යන්නේ? පොලිසියේ දෙදෙනා විමසද්දී මම හරි පැත්තෙන් ආවේ. සර්ලා වැරදි පැත්තෙන් ආවේ.  යැයි රාජපක්ෂ කීවේය. මුගේ කට වැඩියි වගේ. කියමින් යතුරු පැදියෙන් බැස ගස් පොලිසියේ දෙදෙනා තවත් පොලිස් නිලධාරියකුගේ ද සහාය ඇතිව රාජපක්ෂ මහතාට පහර දුන්නේය. ඒ ඔහුගේ දියණිය, දියණියගේ පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් මෙන්ම සිසුන් රැගෙන යෑමට පැමිණි සිටි විශාල පිරිසක් ඉදිරියේය. ඔහු පාරේ දණ ගස්සවා හෙල්මටය කැඩෙන තෙක් පහර දුන්නේය. ඉන් පසු ඔවුන් රාජපක්ෂව පොලිසියට රැගෙන යෑමට සූදානම් විය. හඩා වැලපෙන දියණිය දමා යෑමට නොහැකි බව රාජපක්ෂ කියද්දී පොලිසිය දියණිය සහ රාජපක්ෂ පොලිසියට රැගෙන ගියේය.

සිද්ධිය ආරංචි වී රාජපක්ෂගේ පියා පොලිසියට පැමිණ ස්ථානාධිපති හමුවිය. ඔහු මුදා හරිනවාට පහර දුන් පොලිසියේ පිරිස අකමැති වූ අතර ඔවුන් කීවේ බොරු චෝදනාවක් මත අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කරවිය යුතු බවයි. පියාගේ දැඩි ඉල්ලීම මත රාජපක්ෂ මුදා හැරියේ කොන්දේසියක් පිටය. ඒ රෝහල් ගත වුවහොත් බොරු චෝදනාවක් මත යළි අත්අඩංගුවට ගන්නා බවයි. පහර කෑමෙන් තුවාල ලබා සිටියත් ඔහු එනිසා රෝහල් ගත නොවීය. ඔහු පසු දිනම පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළේය. ඔහුට පහරදීම ඇසින් දුටු බොහෝ දෙනෙක් සාක්කි දුන්හ. ඒ අතරතුර විවිධ ප්‍රශ්න මතු විය. එදා සිට අද දක්වා ඔහු පොලිස් කොමිෂන් සභාවට කොපමණ ගියත්, කොපමණ ලිව්වත් ඇතිවූ සෙතක් නැත.  සිදුවූයේ ඔහුගේ අතේ මිටේ කීයක් හෝ වියදම් වීම පමණි.

ඒ එක් සිද්ධියකි. පසුගිය මැයි මාසයේ නිවෙසකට අත්බෝම්බයකින් දමා ගැසී යැයි  වැලිගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දස වද දී රිමාන්ඩ් කරවූ කේ ඩී ජේ සුරේෂ් නම් තරුණයාගේ සිද්ධිය ද වැලිගම පොලිසියට අදාළවමය. ඔහුගේ විමර්ශන ගොනුව ගැන යළිත් වැඩ ආරම්භ වුනත් එය ද අතරමග නතර විය. එදා සිට අද දක්වා සුරේෂ් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස් කොමිෂන් සභාවට අවස්ථා ගණනාවකදි ලිපි ලියමින් සහ ආයතනයටම ගොස් විමසීම් කළත් කිසිඳු සාධාරණයක් ඉටු වී නැත. පොලිස් කොමිසමේ ඇතැම් නිලධාරීන් දැන් සුරේෂ් හොඳින් හඳුනන නිසා ඔහුගේ දුරකතනයට හෝ ප්‍රතිචාර නොදක්වන තැනට වැටී තිබේ. කොටින්ම කියතොත් දැඩි අසාධාරණයකට ලක්වී ඇති සුරේෂ් පොලිස් කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරීන්ට දැන් වදයක් වී ඇත.

වැලිගම එච් කේ ඩී රංජිත්ලාල් නම් යුද හමුදා සාමාජිකයාට ද අත්වී තිබුණේ මෙවැනිම ඉරණමකි. ඔහු සිය ඥාති නිවසකට ගොස් එද්දී වැලිගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පහර දී කූඩුවට දමා තිබේ. ඔහුගේ වාසනාවට පොලිසියේ සිටි සැරයන්වරයකු මේ අසවලා යැයි හඳුනාගත් පසු පොලිසියෙන් පවසා ඇත්තේ වැරදීමක් වූ බවයි. රංජිත්ලාල් දින කිහිපයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අතර ඉහළ පොලිස් නිලධාරීන්ට මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස් කොමිෂන් සභාවට  පැමිණිලි කළත් කිසිඳු පළක් නොවීය. පහර දුන් පොලිස් නිලධාරීන් රුපියල් 5000ක මුදල් ඇනවුමක් එවා තිබිණි. එය බාර නොගත් රංජිත් තවමත් සාධාරණයක් ඉටු වන තුරු බලා සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව මහජනයාගෙන් ලැබෙන පැමිණිලි සහ අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින් පොලිස් නිලධාරියකුට හෝ පොලිස් සේවයට හෝ විරුද්ධව ඉදිරිපත් කරනු ලබන පැමිණිලි විභාග කර පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් මගින් සලසා ඇති පරිදි සහන සැලසිය යුතුය. 2012 අගෝස්තු 10 වැනි දා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය අනුව පොලිස් අත්අඩංගුවේ සිටිය දී කෙනකුට වද හිංසා පැමිණවීම , කෘර අමානුෂික අවමන් වන ලෙස සැලකීම හෝ තුවාල සිදුකිරීම , අධිකරණයට ව්‍යාජ නඩු ගොනු කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු විට පැමිණිල්ල ලැබී දින 60ක් ඇතුළත විමර්ශන අවසන් කළ යුතුය.

මේ පිලිබඳ සොයා බැලීමේදී තහවුරු වූයේ ඉහත පැමිණිලි කිසිවකට දින හැටක් තියා අවුරුදු ගණනක් යන තුරුත් සාධාරණයක් ඉටු වී නැති බවයි.  පොලිස් කොමිෂන් සභාවේ මන්දගාමීත්වය පොලිස් වද හිංසා වර්ධනය වීමට තදින්ම බලපා ඇති බව පෙනී යයි. ඒ මොන දේ කළත් ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවන් යනුවෙන් සිතමින් ඇතැම් පොලිස් නිලධාරීන් කටයුතු කරන නිසාය.

අපිට අපරාධ බලතල නැහැ.පොලිස් කොමිසම නිතර කියන කතාවකි. කොමිසමට අපරාධ බලතල නැති වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පැමිණිල්ලක් ලැබුණු විට යම් නීතියක් යටතේ කටයුතු කරන ලෙස පොලිසියට නිර්දේශ කළ හැකිය. වද හිංසා පැමිණවීමක් ගැන ලැබුණු විට එය විමර්ශනය කර අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙස යම් පොලිස් ප්‍රධානියකුට යොමු කළ හැකිය. ඔහු විමර්ශනය කර පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු නොකරන්නේ නම් එම විමර්ශනය වෙනත් පොලිස් නිලධාරියකුට බාර දිය හැකි අතර විමර්ශන නිසි ලෙස නොකළ නිලධාරියාට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය පොලිස් කොමිෂන් සභාවට තිබේ. නීතිය එලෙස තිබුණත් ප්‍රායෝගිකව එය සිදුවන්නේ නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වද හිංසාවලට එරෙහි කමිටුවලට 2016 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යොමු කළ වාර්තාවේද ලංකාවේ වද හිංසා සිදුවිම් ගැන සඳහන් කර තිබිණි. එම වාර්තාවට අනුව පසුගිය වසරේ පළමු මාස අට ඇතුළත පමණක්  මානව හිමිකම් කොමිෂන් සභාවට වද හිංසා ගැන ලැබී ඇති පැමිණිලි ගණන 208කි. ඒ පැමිණිලි ලැබුණු ඒවාය. පැමිණිලි නොලැබුණු සිදුවීම් තව කොතෙකුත් තිබිය හැකිය. නොදන්නා කම, නීති කටයුතු සදහා මුදල් නොමැතිකම ආදී කරුණු කාරනා නිසා එළියට නොපැමිණෙන සිදුවීම් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වද හිංසා පිටුදැකිම ගැන බොහෝ සෙයින් කටයුතු කර ඇති ආයතනයකි. වද හිංසා පිටුදැකීම ගැන ඔවුන්ගේ වෙනම ප්‍රකාශනයක් ද තිබේ. නමුත් යම් යම් හේතූන් නිසා එම කොමිසමට මෙවැනි සිදුවීම් ගැන ලැබෙන පැමිණිලි අවසානය දක්වා නොයන බවට බොහෝ දෙනෙකු කරන චෝදනාවකි.

කොමිසමේ ඇතැම් නිලධාරීන් අති විශාල කැප කිරීමක් කරමින් වැඩ කටුයුතු සිදු කරන බව සත්‍යකි. නමුත් මුළු කොමිසමම මීට වඩා ශක්තිමත්ව කටයුතු කළ යුතුව තිබේ.වද හිංසා අවම කිරීම ගැන වැඩි වැඩ කොටසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සිදු කළ හැකිය. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැකිය. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාව වද හිංසා සම්බන්ධයෙන් මීට වඩා උනන්දුවෙන් කටයුතු නොකළහොත් ඇතැම් විට දරුණු තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

 

උපුටා ගැනීම - ලංකාදීප




2017-11-16
Advertisement

Find us on Facebook