English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සාධාරණ මැතිවරණයක් අපේක්‍ෂා කරන ආණ්ඩුව ම භිෂණය වපුරයි !


මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුව සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතු බවට පුන පුනා කියා සිටින නමුත් එතුමාගේ ආණ්ඩුවේම පිරිස් ගෙවල්වලට වෙඩි තබා, පක්‍ෂ කාර්යාල විනාශකර දමා, විපක්‍ෂයේ ආධාරකරුවන් බියවද්දවමින් පළාත පුරාම භීෂණය වපුරා සාධාරණ මැතිවරණයක් අපේක්‍ෂා කරන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප‍්‍රශ්න කරයි.
 
සම්පුර්ණයෙන් ම "ආණ්ඩු බලය" පාවිච්චි කරමින් "නිදහස්ව හා සාධාරණව  "ඡන්දයක් පැවැත්වීමට ඇති "පූර්ණ අයිතිය"ට විශාල වශයෙන් බලපෑම් එල්ලකර ඇතැයි පවසන ටිල්වින් සිල්වා, මැතිවරණය වෙනුවෙන්ම පිටතින් රැගෙනවිත් සිටින ආණ්ඩු පක්‍ෂයේ මැරවර පිරිස් නිසා පොලීසියට හා මැතිවරණ නිළධාරීන්ට නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි පවසයි.

ඌවේ පළාත් සභා මැතිවරණ ප‍්‍රචාරක තත්ත්වය හා එහි පවතින ආණ්ඩුවේ භීෂණය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට එල්ලවී ඇති තර්ජන, බලපැම්  පිළිබඳව ටිල්වින් සිල්වා විසින් සිය ප‍්‍රධාන කාර්යාලයේදි මාධ්‍ය අමතා සිදුකළ සම්පුර්ණ අදහස් දැක්වීම මෙසේය ; 

"ඌව පළාත් සභා මැතිවරණය ආරම්භයේ සිටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය බලය යොදා ගනිමින් ආණ්‌ඩුව නීති විරෝධී මැතිවරණ ක්‍රියාවලියක යෙදෙනවා. ඒත් සමගම ආණ්‌ඩුව නීති විරෝධී ආකාරයෙන් ප්‍රචාරක කටයුතුවලට මගී ප්‍රවාහන බස්‌රථ පවා යොදා ගන්නවා. ඒ ආකාරයෙන් නීති කඩපු ආණ්‌ඩුව තවත් පියවරක්‌ ඉදිරියට තබමින් විපක්‌ෂයේ පක්‍ෂවල සාමාජිකයන්ට පහරදීමට කාර්යාල කඩා දැමීමට වේදිකා ගිනි තැබීමට නීති විරෝධී ගිනි අවි පාවිච්චි කරමින් වෙඩි තැබීමට පටන්ගෙන තිබෙනවා. මොණරාගලට මෙම තත්ත්වය බරපතළ ලෙස වර්ධනය වෙලා තිබෙනවා. ආණ්‌ඩුවේ බලය යොදා ගනිමින් නීති විරෝධී ආයුධ සන්නද්ධ පිරිස්‌ ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ මොණරාගල භීෂණයක්‌ ඇතිකර තිබෙනවා. පසුගිය 24 වැනිදා රාත්‍රියේ මෙම මැර පිරිස්‌ විසින් විරුද්ධ පක්‍ෂ කාර්යාල විශාල ප්‍රමාණයකට ගිනි තැබුවා. ඒ අතර ජනතා විමුක්‌ති පෙරමුණේ මැතිවරණ කාර්යාල 14 ක්‌ තිබුණා.

මෙම බලහත්කාරී බියවැද්දීම්වල බරපතළම සිද්ධිය වාර්තා වුණේ 25 වැනිදා රාත්‍රියේ. 26 දින අප පක්‌ෂ නායක අනුර දිසානායක සහෝදරයා සහභාගී වන රැස්‌වීමක්‌ බඩල්කුඹුරේදී පැවැත්වීමට සූදානම් කර තිබුණා. එය නීත්‍යනුකූල අවසර ගත්ත රැස්‌වීමක්‌. එම රැස්‌වීම සඳහා වේදිකාව ඉදිකරමින් සිටි අපේ පක්‍ෂයේ පිරිසකට එජනිසයට අයත් මැර පිරිසක්‌ විසින් පහරදීලා වෙඩිතබලා සැරසිලි කඩා බිඳ දමා වේදිකාවට ගිනි තැබුවා. ශබ්ද විකාශන යන්ත්‍රවලට යතුරුපැදිවලට පහර දුන්නා. ඇතැම් ශබ්ද විකාශන යන්ත්‍ර මැරයන් විසින් පැහැරගෙන ගියා. ඒ විතරක්‌ නෙවෙයි එදින රාත්‍රිය පුරා එම ප්‍රදේශයේ සැරි සරමින් විශාල භීෂණයක්‌ ඇතිකළා. අපේ සහෝදරවරුන්ට පොලිසියේ පැමිණිල්ලක්‌ කිරීමට හෝ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. මේ පිරිස්‌ පාලනය කිරීමට පොලිසියට හැකියාවක්‌ නැහැ. පොලිසියත් පලවා හරිමින් තමයි ඔවුන් මෙම ක්‍රියාවලියේ නිරත වෙන්නේ.

මෙවැනි වටපිටාවක්‌ තුළ මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ විපක්‌ෂයේ පක්‍ෂවලට මැතිවරණ කටයුතුවල නිරත වීමට නොහැකිවී තිබෙනවා. නීති විරෝධී ගිනි අවි රැගත් ආරක්‍ෂක අංශ භාවිතා කරන ඩිෆෙන්ඩර් රථවලින් පැමිණෙන මෙම ආණ්‌ඩුවේ මැරයන් විශාල භීතියක්‌ ඇතිකර ජනතාව බියවද්දා මැතිවරණයට බාධා කිරීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක්‌ ගෙන යනවා.

ඊට ප්‍රධාන හේතුව ආණ්‌ඩුවේ මහ ඇමැති අපේක්‍ෂකයා ඉන්නේ මොණරාගල. ඔහු මහින්ද රාජපක්‍ෂගේ අයියගේ පුතා. ඔහු ජනාධිපති බලතල ආණ්‌ඩුවේ බලතල සියල්ල පාවිච්චි කර ගනිමින් ඉන්නවා.

මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ආණ්‌ඩුවේ නීති විරෝධී කාර්යාල විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. කිරිඉබ්බන්ආර, තණමල්විල ප්‍රදේශවල විශාල ලෙස නීති විරෝධී මැතිවරණ කාර්යාල ඉදිකොට තිබෙනවා. නීති කඩමින් මගී ප්‍රවාහන බස්‌රථවල ස්‌ටිකර් ප්‍රදර්ශනය කරමින් තිබෙනවා. මැතිවරණ නීතියට අනුව එක්‌ අපේක්‍ෂකයකුට භාවිතා කළ හැක්‌කේ එක්‌ වාහනයක්‌ වුවත්, ආණ්‌ඩුවේ අපේක්‍ෂකයන් විශාල වාහන ප්‍රමාණයක්‌ පාවිච්චි කරනවා. මහ ඇමැති අපේක්‍ෂකයාත් බලතල තිබෙන කීප දෙනකුත් මේ ආකාරයට නීති කඩමින් ප්‍රචාරක කටයුතුවල නිරත වෙනවා.

ඌව පළාත් සභා මැතිවරණය ආණ්‌ඩුවට ඉතාමත් අවාසිදායකයි. ආණ්‌ඩුව ඌව පළාත් සභා මැතිවරණයට එන්නේම ජයග්‍රාහී මානසිකත්වයකින් නොවේ. පසුගිය මැතිවරණයේ දී ලක්‍ෂ දෙකහමාරක ඡන්ද ප්‍රමාණයකුත්, මන්ත්‍රී ධුර 17 කුත් ආණ්‌ඩුවට අහිමි වුණා. ඒ නිසාම ආණ්‌ඩුවට ඌව මැතිවරණය හුදකලා කළේ විශාල ජයග්‍රහණයක්‌ ලබා ගැනීමේ අරමුණින්. ආණ්‌ඩුව කල්පනා කරමින් ඉන්නවා ඉක්‌මන් ජනාධිපතිවරණයකට යන්න. ඒ නිසා මෙම ඌව මැතිවරණය ආණ්‌ඩුවට ඉතා වැදගත්. ඒ නිසාම ඌව මැතිවරණය දිනා ගැනීමට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් භීෂණයක්‌ ඇති කරමින් තිබෙනවා. ආණ්‌ඩුව පළමුව මන්ත්‍රී සංයුතිය වෙනස්‌ කරමින් බදුල්ලේ ආසන තුනක්‌ මොණරාගලට දාගත්තා. ආණ්‌ඩුවට බදුල්ල දිස්‌ත්‍රික්‌කය පිළිබඳ විශ්වාසක්‌ නොමැති නිසා, මොණරාගල ඡන්ද කොල්ලයකින් හෝ ආසන වැඩි කරගෙන පළාත් සභා පිහිටුවීමේ අරමුණක ඉන්නවා. මෙම මැතිවරණ නීති උල්ලංඝනය කරන පෙරමුණේ ඉන්නේ ශෂීන්ද්‍ර රාජපක්‌ෂයි. බඩු බෙදලා, නීති කඩලා, භීෂණය මවලා, ඡන්ද කොල්ල කන්න හදනවා.

මේ සම්බන්ධයෙන් අපි පොලිස්‌පතිවරයාට ලිතව පැමිණිලි කරනවා. මැතිවරණ කොමසාරිස්‌ට පැමිණිලි කරනවා. අප පක්‍ෂයට කරන්න පුළුවන් උපරිම ආකාරයෙන් නීත්‍යනුකූලව කටයුතු කරනවා. එමෙන්ම ආණ්‌ඩුවේ මෙම බලපෑම් හමුවේ මැතිවරණ නීතියට අනුව ප්‍රචාරක කටයුතු උපරිම ආකාරයෙන් සිදු කිරීමට උත්සාහ කරනවා.

මැතිවරණ කොමසාරිස්‌වරයා ප්‍රධාන පක්‍ෂ තුනම නීති කඩනවා කියලා කිව්වේ මොන පදනමකින්ද කියලා අපි දන්නේ නැහැ. මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ජවිපෙට ලිතව විශේෂ ස්‌තුතියක්‌ කළා. මැතිවරණ නීති ආරක්‌ෂා කිරීම පිළිබඳව. ජවිපෙ අපි කිසිම මැතිවරණ නීතියක්‌ උල්ලංඝනය කර නැහැ. එකදු නීති විරෝධී කාර්යාලයක්‌ පවත්වාගෙන යන්නේ නැහැ. නීති විරෝධී කටවුට්‌ ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මගී ප්‍රවාහන බස්‌රථ ප්‍රචාරණයට යොදා ගන්නේ නැහැ. මැතිවරණ ප්‍රචාරණයට විශාල ලෙස වාහන යොදා ගන්නේ නැහැ. බඩු බෙදන්නේ නැහැ.

මෙම මැර පිරිස්‌ ප්‍රදේශයේ අපේක්‍ෂකයන්ට පවා හඳුනාගන්න බැහැ. මොකද ඔවුන් එම ප්‍රදේශවලට පිටතින් පැමිණි ආණ්‌ඩුවේ ඉහළම බලය ලැබෙන ආණ්‌ඩුවේ ආරක්‌ෂක අංශ ඩිෆෙන්ඩර් රථ පාවිච්චි කරන, නීති විරෝධී ආයුධ පාවිච්චි කරන අයයි. එවැනි පිරිසක්‌ මෙහෙයවීමට පුළුවන් වන්නේ ශෂේන්ද්‍ර රාජපක්‌ෂට පමණයි මේ ආකාරයේ මැර බලයක්‌ පාවිච්චි කිරීම සන්ධානයේ සමහර අපේක්‍ෂකයන්ටත් අසාධාරණයක්‌ වෙලා තියෙනවා. පුද්ගලයා කවුරු වුණත් ඉතාම පැහැදිලි කාරණය වන්නේ මෙම මැරයන් පිටුපස ඉන්නේ ආණ්‌ඩුව කියන කාරණයයි. එනිසා දැන් පොලිස්‌පතිවරයා කළ යුත්තේ මොණරාගලට විශේෂ ආරක්‌ෂාවක්‌ සැපයීමයි.

දැන් ක්‍රියාත්මක වෙන්නේ මැතිවරණ දෙකක්‌ සඳහා යොදාගත් නීති දෙකක්‌ එකතු කර හදාගත් මැතිවරණ නීතියක්‌. කේවල ඡන්ද ක්‍රමයට සහ සමානුපාතික ඡන්ද ක්‍රමයට යොදාගත් මැතිවරණ නීතිය දැන් පවතින මැතිවරණ ක්‍රියාවලියට යොදා ගැනීමේ දුෂ්කරතාවයක්‌ තිබෙනවා. එනිසා කළ යුත්තේ නීති කැඩීම නොව ප්‍රායෝගිකව යොදාගත හැකි ආකාරයට මැතිවරණ නීති වෙනස්‌ කිරීමයි. ඇතැම් අවස්‌ථාවලදී එවැනි නීති වෙනස්‌ කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් දැන් ප්‍රායෝගිකව සිදු වන්නේ රාජ්‍ය බලය තිබෙන ආණ්‌ඩුවේ පක්‌ෂ සමග රාජ්‍ය බලය නොමැති විපක්‌ෂයේ පක්‌ෂවලට ඡන්ද කිරීමට සිදුවීමයි. එය හරියට සන්නද්ධ රෝම සෙබළෙකු සමග නිරායුධ වහලෙකු ඇරීනාවේ කරන සටනක්‌ වගෙයි. ප්‍රතිඵලය කාටත් පැහැදිලියි. ඒ නිසා මේ ආණ්‌ඩුව සීමාව ඉක්‌මවලා කටයුතු කරමින් තිබෙනවා. රැස්‌වීමක්‌වත් කරන්න අපිට බැරි තත්ත්වයකට රට ඇදවැටුණාම මොකද කරන්නේ. පොලිසියේ වගකීම වන්නේ මැරයන් මැඬපැවැත්වීමයි.






ඡායාරූප  -  කැෆේ සංවිධානය
-MMP



2014-08-26
Advertisement

Find us on Facebook