English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“සංහිඳියාවට සාහිත්‍ය”


රට තුළ සාමය සංහිඳියාව ගොඩ නැඟීමේදී බොහෝ විද්වතුන් අවධානය යොමුකර තිබෙන්නේ දේශපාලන බල ව්‍යුහය ප්‍රතිසංවිධායනය කෙරෙහි පමණි. නමුත් තිරසාර සාමය සඳහා සංහිඳියා පරිසරයක් ගොඩ නැංවීමේදී ඒ සඳහා සමාජයේ තවත් ව්‍යුහයන් රැසක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. කලාව, සාහිත්‍ය සහ ජනමාධ්‍ය, සංහිඳියාව ගොඩ නැංවීමේදී ඉතා ප්‍රබල විභවතාවයන් සහිත ව්‍යුහයන් ලෙස හඳුනා ගත යුතුව තිබේ. සාහිත්‍ය ගැන අවධානය යොමු කරන විට අපේ රටේ අන්තර් සංස්කෘතික සාහිත්‍ය කෙරෙහි මෙතෙක් දක්වා ඇති අවධානය ඉතා අඩුය.

රට ඇතුලේ සංහිඳියාව ඇතිවීමට නම් සාහිත්‍ය හුවමාරුවක් ඇතිවීම අනිවාර්යය. අද චීන, ජපන්, රුසියන් පොත් බහුලව සිංහලට පෙරළෙයි. ඊට විශ්ව සාහිත්‍ය යනුවෙන් ගෞරව නාමයකුත් තිබේ. නමුත් සිංහල කෘති දෙමළ භාෂාවටත්, දෙමළ කෘති සිංහල භාෂාවටත් පරිවර්ථනය සිදු වන්නේ ඉතා මන්දගාමීවය. සමස්ත සිංහල ජනතාවගේ හද ගැස්ම දෙමළ ජනතාවටත්, දෙමළ කථා කරන අයගේ හදගැස්ම සිංහල ජනතාවටත් දැනෙන්නට නම් අන්තර් සංස්කෘතික සාහිත්‍යයන් අපට අවශ්‍යය.

එක් කෙනෙක් දෙන්නෙක් ජාතිවාදී අදහසක් සමාජගත කළවිට ඒ ප්‍රවෘත්තියට අත්තටු ලැබෙනවා. මෙවැනි අය ස්වෝත්තමවාදීන් ලෙස හඳුන්විය හැකිය. එය සමස්ත ජනතාවගේම මතය නොවේ. එවන් ප්‍රකාශ තුළ යම් පටු දේශපාලන අරමුණු විය හැකිය. මේ තත්ත්වය ඇත්තේ සිංහල, දමිළ, මුස්ලිම් ටික දෙනෙක් අතරය.

ලාංකික සමාජය තුළ මේ ස්වෝත්තමවාදීන් බහුත්වවාදීන් බවට පරිවර්තනය කිරීමට සාහිත්‍යයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. සමාජය තුළ විවිධත්වය පිළිගන්නා, ඊට ගරු කරන, ඒ වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම් සහ ඒවා අගය කිරීමට ගන්නා මානසික තත්ත්වයක් වර්ධනය කරන අන්තර් සබඳතා ගොඩ නැගීම බහුත්වවාදීන් අතින් සිදුවන කටයුත්තකි.

මේ කැප කිරීම සිංහල බෞද්ධයා විතරක් නොව දෙමළ අයත්, මුස්ලිම් අයත් කළ යුතුය. මේ වෙනස්කම්වලට මූලික හේතුව ජනතාව විවිධ වාදයන්ට කොටුවී සිටීමයි. වර්ගය වර්ගවාදය යනුවෙනුත්, කුලය කුලවාදය යනුවෙනුත්, ආගම ආගම්වාදය යනුවෙනුත්, ලිංගය ස්ත්‍රී පුරුෂ වාදය යනුවෙනුත්, ප්‍රාදේශවාදය යනුවෙනුත්, පන්තිය පන්ති වාදය යනුවෙනුත්, වංශය වංශ වාදය යනුවෙනුත් බෙදාගෙන පමණක් නොව බදාගෙන සිටීමයි.

මේ වාද එකිනෙකට වෙනස්ය. මේ නිසා සමාජය තුළ භේදය ඇති වේ. පියවරින් පියවරට ගොස් ගැටුම් හට ගනී. අන්තිමේදී මේවා මරාගෙන මැරෙන තත්ත්වයන් බවට වර්ධනය වෙයි. අපේ තිස් අවුරුදු අත්දැකීම මෙය නොවේද?

දැන් අපට අවශ්‍ය ගැටුම් වෙනුවට සාමය ගොඩනගා ගැනීමය. යුද්ධය අවසන්. නමුත් සාමය ළඟා වුණේ නැත. සැබෑ සාමය තුළ තිරසාර සංවර්ධනය හා සිංහිඳියාව වර්ධනය විය යුතුය. භේද ඇති කරන වාද වෙනුවට සාමය ඇතිකළ හැකි වාදයක් සමාජය තුළ ස්ථාපිත කළ යුතුය. එම වාදය බහුත්වවාදය නමින් හඳුන්වන්න පුළුවන්.

මේ සඳහා මානව සමාජය තුළ යම් යම් නිපුණතා වර්ධනය කර ගැනීම යහපත්ය. අනෙකා තේරුම් ගැනීම හා පිළිගැනීම, කැපකිරීම හා විඳදරාගැනීම, ගරු කිරීම හා අගය කිරීම, අන්තර් සබඳතා ගොඩනගාගැනීම හා මැදිහත්වීම අවශ්‍යය. ඕනැම සමාජයක් ජන විවිධත්වයකින් සමන්විතය. මේ සමාජය තුළ සිටින බහුත්වවාදීන් සාමය සඳහා මැදිහත් වෙනවා. හඬ නගනවා. සංහිඳියාව අවශ්‍ය බව පුන පුනා කියති.

සෙසු පිරිස පටු භේද ඔස්සේ සමාජය භේද බින්න කරන්නන්ය. ඒ තුළින් ඔවුන් දේශපාලන අරමුණු ඉටුකරගන්න මාන බලති. පුහු වීරත්වයක් මවා පාති. ගිනි අවුළුවති. මෙන්න මේ අය ස්වෝත්තමවාදීන් ලෙස හඳුන් වන්න පුළුවන. ඔවුන් තමන් පමණක් උසස් යැයි සලකනවා. උද්දච්ච අහංකාරකමකින් අනූනය. ප්‍රචණ්ඩත්වයට අනුබල දෙති. මේ අය සංස්කෘතික දුගියන් හා සංස්කෘතික ආබාධිතයන්ද වෙති.

ජනතාව මේ අය වෙන් වෙන්ව හඳුනාගන්නා තෙක් අපට සංහිඳියාවට හා තිරසාර සංවර්ධනය කරා යෑම බලවත් දුෂ්කර කටයුත්තකි. විශේෂයෙන් මෙයට රජයේ මැදිහත් වීම අවශ්‍යය. රාජ්‍ය නොවන සංවිධානවලට පමණක් මේ කාර්යය තනිවම කළ නොහැක. සමාජ ක්‍රියාකාරීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මේ වැඩපිළිවෙළට දායක කරගතහොත් ඒ මඟින් මෙය සමාජ ගත කළ හැකිය.

මෙය 2017.09.27 දින දිනමිණ වෙබ් අඩවියේ විශේෂාංග කොටසේ “සංහිඳියාවට සාහිත්‍ය” නමින් පළවූ  විමලසේන නම්මුණි මහතා විසින් ලියන ලද ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.




2017-09-27
Advertisement

Find us on Facebook