English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සංහිඳියා ක්‍රියාමාර්ග පිළිබඳව හදිසියේ කටයුතු කිරීමෙන් අන්තවාදීන්ට අනවශ්‍ය වාසියක් ලැබෙන බව ජනපති මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පෙන්වා දෙයි.


ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප්‍රඥප්තීන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ ජනයාගේ යහපත වෙනුවෙන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරන බවත්, මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් වන ක්‍රියාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරිය යන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හමුවේ ප්‍රකාශ කළේය. පසුගිය 22 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී මෙම හමුව සිදුවිය.

මෙම පියවර ගැනීමේදී හදිසියේ කටයුතු කිරීමෙන් අන්තවාදී පිරිස් වෙත අනවශ්‍ය වාසියක් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවේ ඇතුළත් කරුණු සම්පූර්ණ කිරීමට වසර දෙකක කාලයක් තම රටට ලැබී ඇති බවත්, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සියැසින් දැක ගැනීමට ඉදිරි වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසත් මහ කොමසාරිස්වරයාට ආරාධනයක්ද කළේ.

මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර මෙහිදී මහ කොමසාරිස්වරයාට පැහැදිලි කළ ජනාධිපතිතුමා, මෙම සියලු දේ කළ යුත්තේ රටේ අභ්‍යන්තර දේශපාලන සංස්කෘතික සාධක පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව බව ද පෙන්වා දුන්නේය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයට මෙම සංචාරයට පෙර තමන් අත්සන් තැබූ බවත්, එහි කටයුතු සක්‍රීයව ඉදිරියට යනු ඇති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දළ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කොට ඇති බව ද සඳහන් කළේය. ආරක්ෂක හමුදා භාරයේ පැවති නැගෙනහිර පළාතේ සියලු ඉඩම් මේ වනවිට නිදහස් කොට ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, උතුරේ ඉඩම්වලින් ද සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කොට ඇති බවත්, ඉතිරිය පරිපාලන ගැටලු විසඳමින් ක්‍රමිකව ජනතාවට පැවරීමට කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කරන බව මෙහිදී සඳහන් කළ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රගතිය අත්කර ගැනීම වෙනුවෙන් යන ගමන තවත් වේගවත් වන්නේ නම් සතුටු වන බව සඳහන් කළේය. එසේම අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට ගත් පියවර අගය කළ හුසේන් කුමරු ඊට අදාළ පත්කිරීම් සිදුකිරීමේදී සියලු ජනවර්ගවලට පිළිගත හැකි ආකාරයෙන් පත්කිරීම් සිදුකරන ලෙස ද ඉල්ලා සිටියේය. එසේම මෙම කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට උපරිම සහාය දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරන බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.




2017-09-25
Advertisement

Find us on Facebook