English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සියල්ල සිල් රෙද්දෙන් වසා ගැනීම

මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ගෝලබාලයනුත් දැන් කතා කරන්නේ සිල් රෙද්ද ගැනය. ඔවුන් හදන්නේ හොරකම, දූෂණය, වංචාව යන සියල්ල සිල් රෙද්දෙන් වසා ගන්නටය. කෙසේ වෙතත් මේ රටේ ජනයා දැන් ඒ තරම් මෝඩ නැත.


සිල් රෙදි බෙදන්න නියෝග කළේ තමන් බව මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ඇත්තකි. ඒ බව මෙම නඩු තීන්දුව දුන් විනිශ්චයකාරවරුන් ද කියා තිබිණි. මේ දෙදෙනා සිදුකොට තිබුණේ තමන් එම තනතුරුවලට පත්කළ බලධාරින්ගේ වුවමනාව ඉටුකිරීම පමණක් බව අධිකරණ තීන්දුවේ සඳහන් ය. ඒ අනුව නීතිය සාධාරණව ක්‍රියාත්මක කළ හැකි වූයේ නම් පළමුවෙන් සිරගත විය යුතු වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. කෙසේ වෙතත් දැන් සිදුව තිබෙන්නේ නිලධාරීන් බිල්ලට දී දේශපාලනඥයා නිදහස්වීමේ තත්ත්වයකි.

කෙසේ වෙතත් අධිකරණය කීවේ මෙරටේ මහජන දේපළ අවභාවිතය හා දූෂණය පිටුදැකීම සඳහා මේ දෙදෙනාට දඬුවම් දීම අවශ්‍ය බවයි. එහි වැදගත්කම තිබෙන්නේ මින් ඉදිරියට මෙබඳු දේ සිදුවීම වැළැක්වීම සඳහාය. එය එසේ සිදු නොවූයේ නම් දිගින් දිගටම මෙබඳු ක්‍රියා සිදුවීමට ඉඩ තිබිණි. රටට දැන් අවශ්‍යව ඇත්තේ කුමන රජයක් යටතේවත් දුෂණයක් ඇති නොවන හා එවැන්නක් සිදු වුවහොත් දඬුවම් ලබන තත්ත්වයක් ඇති කිරීමයි. මෙම නඩු තීන්දුව වැදගත්වන්නේ ඒ නිසාය.

රාජපක්ෂ පාලනය යටතේ අපට දක්නට ලැබුණේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් අවභාවිතා වූ තත්ත්වයකි. එය අපට දකින්නට අසන්නට ලැබුණේ රාජපක්ෂ මහතා ජනාධිපති වන්නටත් පෙර සිටය. හෙල්පින් හම්බන්තොට මුදල් වංචාව එවැන්නකි. අගවිනිසුරුව සිටි සරත් එන් සිල්වා මහතා නීතිය නවා රාජපක්ෂ මහතා බේරා නොගන්නට ඒ මහතාගේ ඉරණම මෙන්ම රටේ ඉරණම ද වෙනස් වන්නට තිබිණ. සරත් එන් සිල්වා මහතා තමා කළ වරදට සමාව ඉල්ලුවේ ප්‍රසිද්ධියේය. එසේ වුවද මහජනයා සමාවදුන් බවක් පෙනෙන්නට තිබුණේ නැත.

ජනාධිපති පදවියට පත්වීමට ද රාජපක්ෂ මහතා ප්‍රභාකරන්ට කෝටි ගණනින් අල්ලස් දුන් බව හෙළිදරව් වී ඇත. එම මුදල් දුන් අයුරු හා දුන් අය ගැන පසුගිය කාලයේ පරීක්ෂණ සිදුවිය. කිසියම් හේතුවක් නිසා එම පරීක්ෂණ යටගිය බවක් පෙනෙන්නට ඇතත් සදාකාලිකව යට ගසන්නට නම් නොහැකි වනු ඇත. එසේ වුවද එහිදී ද පෙනෙන්නට තිබෙන්නේ සිද්ධියට ප්‍රධාන වගකිවයුත්තා වෙනුවට වෙනත් අය අමාරුවේ වැටෙන බවයි. මහින්ද රාජපක්ෂ මහතා දිගටම සිදුකොට තිබෙන්නේ බළලුන් ලවා කොස් ඇට බෑවීම බව පෙනී යන්නේ දිගින් දිගට හෙළිවන මෙබඳු සිදුවීම් නිසාය.

වසර දහයක් පැවැති රාජපක්ෂ පාලන සමය නීතිය යටගසා අවනීතිය රජකළ සමයක්ව පැවතිණි. එම පාලනයට සම්බන්ධ වූවන්ට හා ආවැඩූවන්ට මහජන දේපළ හිතුමතේ කොල්ල කන්නට ඉඩදී තිබිණි. ඇතැම් මැති ඇමැතිවරුන් මහජන දේපළ සලකන ලද්දේ තමන්ගේ පෞද්ගලික දේපළ ගානටය.

විමල් වීරවංශ මහතා දැන් ඇප මත සිටින්නේ තම ඥාති හිතවතුන්ට නිවාස, වාහන බෙදාදීමේ චෝදනා යටතේය. බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග ඇතුළු විශාල පිරිසකගේ චෝදනා පරීක්ෂා කර නඩු පවරා ඇත. තවත් සිදුවීම් ගණනාවක පරීක්ෂණ අවසන් වෙමින් පවතියි. මේ සියල්ලෙන් පෙනෙන්නේ එම යුගයේ මහජන දේපළ කොල්ලකෑම සාමාන්‍ය ප්‍රතිපත්තිය වී තිබූ ආකාරයයි.

රාජපක්ෂ පාලන සමයේ මැතිවරණ පැවැත්වූ ආකාරය ද මහජනයාට අමතක නැත. කඩින් කඩ මැතිවරණ තිබ්බේ රාජ්‍ය බලය එක් එක් පළාතට සම්පූර්ණයෙන් යෙදීමට හැකිවන පරිදිය. රජයේ වාහන, දේපළ, මුදල් මැතිවරණ සඳහා වියදම් කළේ සීමාවකින් තොරවය. ඒ තම බලය හදාගන්නටය. එ‍මඟින් තව තවත් මහජන මුදල් කොල්ලකන්නටය. වයඹ වැනි ඇතැම් මැතිවරණ මහජනයාට මුදලින්, සුරාවෙන්, ආහාරපානයෙන් හා අන් හැම අයුරකින්ම අල්ලස් දුන් දූෂිත මැතිවරණ බවට පත්ව තිබිණි. මැතිවරණ කොමසාරිස්වරයාට හෝ රජයේ නිලධාරීන්ට හෝ කළ හැකි යමක් නොවූ තරම්ය. සිදුවීම් ඉදිරියේ අසරණ වන්නට ඔවුනට සිදුවී තිබිණි. රජයේ ජනමාධ්‍ය මැතිවරණ කටයුතුවලට යොදාගැනීම ද උපරිම ආකාරයෙන් සිදුවිය.

මැතිවරණයට පෙර දින දෙකක් ප්‍රචාරක කටයුතු තහනම් වුව ද 2010 ජනාධිපතිවරණයේ ඡන්ද දිනයේ උදේ දක්වාම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවූයේ සම්පූර්ණ රාජ්‍ය බලය යොදාගනිමිනි. එවකට හිටපු මැතිවරණ කොමසාරිස්වරයා කීවේ තමන්ට ආතතිය හැදුණු බවකි. ඒ කතාවෙන්ම බොහෝ දේ කියැවිණි.

රාජපක්ෂ මහතාගේ ක්‍රමය වූයේ සියලු දූෂණ වංචා මැරකම් කරමින් බලය රැක ගැනීමය. එවිට සියලු අපරාධ අහෝසි කර්ම බවට පත්වන්නේය යන්න ඔවුන්ගේ විශ්වාසය වී තිබිණි. බලය රැකගැනීමට හැකිවූ කාලයේදී එය එසේම සිදුවිය. එසේ වුවද කලක් සියල්ල ඉවසා සිටි මහජනයා අවසානයේ තීරණය කළේ එම ක්‍රමයට තිත තබන්නටය. එම මහජන බලය ඉදිරියේ දණ නමන්නට රාජපක්ෂ මහතාට සිදුවීය. මහජනයා ඉල්ලා සිටියේ ඒ සමයේ සිදුවූ සියලු දූෂණ ගැන සොයා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බවයි. දැන් මහජනයා මැසිවිලි නගන‍්නේ එම බලාපොරොත්තු ඒ අයුරින් ඉටු නොවීම ගැනයි. ඒ අතර සිල් රෙදි නඩුවේ තීන්දුව මහජනයාට යම් අස්වැසිල්ලක් වනු ඇත.

 


මෙය දිනමිණ වෙබ් අඩවියේ සැප්තැම්බර් 14 දින පළවූ “කලබල වූ මහා හොරු” විශේෂාංගයෙන් උපුටා ගන්නා ලද්දකි.




2017-09-14
Advertisement

Find us on Facebook