English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ සංහාරයේ රිට් පෙත්සම සලකා බැලීම 17 වනදා...

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් කරන ලද මෙහෙයුමේදී සිරකරුවන් 27 ක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සුදේශ් නන්දිමාල් සිල්වා විසින් ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස 17 දින සිදුකිරීමට අභියාචනාධිකරණය ඊයේ (12) තීරණය කෙළේය.

එම ආරක්ෂක මෙහෙයුමේදී කළ වෙඩි තැබීම් ඇසින් දුටු එකම සාක්කිකරු ලෙස පෙත්සම්කරු වන සුදේශ් නන්දිමාල් සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙන අතර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු කටයුතු ඇමැතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

බන්ධනාගාරය තුළට පිටස්තරයන් ඇතුළුවීම වැළැක්වීමට බන්ධනාගාර බලධාරීන් අසමත් වීම හේතුවෙන් රැඳවියන් 27 ක් මියගියත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් එය ඉටු නොවූ බව සුදේශ් නන්දිමාල් සිල්වා පෙතසමේ සඳහන් කර ඇත.

එබැවින් මෙකී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සහ පවතින නීතියට අනුව පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට සහ පොලිස්පතිවරයාට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටීයේය.




2017-09-13
Advertisement

Find us on Facebook